නව අගවිනිසුරු ශ්‍රීපවන් දිවුරුම් දෙයි

Published

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

1977 දී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් නව අගවිනිසුරුවරයා, රජයේ සේවකයකු ලෙසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට බැඳෙන්නේ 1979 දී.

ඉන් අනතුරුව 2002 වසරේදී අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසින් පත්වීම් ලබන නව අගවිනිසුරුවරයා, 2008 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙසින් පත් කොට තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ටතම විනිසුරුවරයා වන නව අගවිනිසුරු කේ ශ්‍රීපවන්, 2013 දී දින කිහිපයක් අගවිනිසුරු පදවියේත් වැඩ බැලීය.

ජනවාරි 08 වැනි දින පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 09 වැනි දින නිදහස් චතුරශ්‍රයේදී ජනපති පදවියේ දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රීපවන් ඉදිරියේයි.

කනගසබාපති ශ්‍රීපවන්, ශ්‍රී ලංකාවේ අගවිනිසුරු පදවියට පත් කෙරුණ තුන් වෙනි දෙමළ ජාතිකයායි.

ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරු පදවිය හෙබැ වූ ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකළ දෝෂාභියෝග ක්‍රියාදාමය නීතිවිරෝධී බව තීරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පුරප්පාඩු නොවූ තනතුරකට 44 වැනි අගවිනිසුරුවරයා ලෙස මොහාන් පීරිස් පත්කිරීම ද නීතිවිරෝධී බව නිවේදනය කොට තිබේ.