රුසියාවේ වසංගත රෝග පිළිබඳ රසායනාගාරයක තාක්ෂණවේදිනියකගේ මරණයෙන් පසු 'ඇමෙරිකාව දැඩි අවධානයෙන්'

ඡායාරූප මූලාශ්‍රය, Science Artwork/Science Photo Library/Getty
- Author, පැට්‍රික් ජැක්සන්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
සයිබීරියාවේ වසංගත රෝග පර්යේෂණ මධ්‍යස්ථානයක සේවය කළ රුසියානු රසායනාගාර තාක්ෂණවේදිනියකගේ මරණය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය 'ඉතා දැඩි අවධානයකින්' පසුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම සිදුවීම හේතුවෙන් 'නියුමොනික් ප්ලේග්' (පෙනහළු ආශ්‍රිත වසංගතයක්) පැතිර යා හැකි බවට පවතින අවදානම හමුවේ වොෂින්ටනය මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසීය. කෙසේ වෙතත්, ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස බිය වීමට හේතුවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ඇයගේ මරණයට හේතුව 'හඳුනා නොගත් හේතුවක් නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වයක්' ලෙස ප්‍රකාශ කරමින් ඉර්කුට්ස්ක් හි ආණ්ඩුකාරවරයා පැවසුවේ, එම කාන්තාවගේ ජීව විද්‍යාත්මක සාම්පල තුළ ඇය සේවය කළ පර්යේෂණාගාරයට සම්බන්ධ කිසිදු 'ක්ෂුද්‍ර ජීවියෙකු' හමු වී නොමැති බවයි.
තහවුරු නොකළ වාර්තා මඟින් කියවෙන්නේ, මෙම කාන්තාව අසනීප වී ඇත්තේ රෝග කාරක බීජය අඩංගු පරීක්ෂණ නලයක් බිඳී යාමෙන් පසුව හෝ වනාන්තරයේ වෙසෙන මීයන් වැනි සතුන් අතර ස්වාභාවිකවම රෝගය පවතින ප්‍රදේශයක සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකින් පසුව බවයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
රුසියාව තුළ පෙනහළු ආශ්‍රිත වසංගතයක් පැතිරීමේ අවදානම සම්බන්ධයෙන් වොෂින්ටනය කුමක් කිරීමට බලාපොරොත්තු වන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, තමා ඒ පිළිබඳව රුසියානු රජය සමග මෙතෙක් කතා කර නොමැති බවයි.
"ඔවුන් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙනවා දැකීමට මම අකමැතියි," යැයි පැවසූ ඔහු, "නමුත් අපි උදව් කරනවා. එවැනි ගැටලුවක් ඇති ඕනෑම කෙනෙකුට අපි සැමවිටම උදව් කරනවා," යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කළේය.
රසායනාගාර තාක්ෂණවේදිනිගේ මරණයෙන් පසු, එම පර්යේෂණ ආයතනයේ වෙනත් කිසිදු සේවකයෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවක් වාර්තා වී නොමැති බව, රුසියාවේ පාරිභෝගික සහ සෞඛ්‍ය ආරක්ෂණ නිරීක්ෂණ ආයතනය උපුටා දක්වමින් ඉර්කුට්ස්ක්හි ආණ්ඩුකාර ඊගෝර් කොබ්සෙව් පැවසීය.
එම නිරීක්ෂණ ආයතනය පැවසුවේ, ජීව විද්‍යාත්මක ආරක්ෂණ කණ්ඩායමක් විසින් ඉර්කුට්ස්ක්හි පිහිටි සයිබීරියානු සහ ඈත පෙරදිග වසංගත මර්දන ආයතනය පරීක්ෂාවට ලක් කළ බවත්, එහි කිසිදු හදිසි හෝ අවදානම් තත්ත්වයක් දක්නට නොලැබුණු බවත්ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
විවිධ කටකතාවලට 'ඇහුම්කන් නොදෙන' ලෙසත්, ඒ වෙනුවට රුසියාවේ සෞඛ්‍ය ආරක්ෂණ නිරීක්ෂණ ආයතනයේ 'නිල ප්‍රකාශයන් කෙරෙහි විශ්වාසය තබන' ලෙසත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මියගිය කාන්තාව ඇසුරු කළ බවට හඳුනාගත් 200කට ආසන්න පිරිසක්, පූර්වාරක්ෂණ පියවරක් ලෙස වෛද්‍ය නිරීක්ෂණ යටතේ රඳවා සිටින බව රුසියානු මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළේය.
රුසියාවේ වාර්තා වූ වසංගත රෝගී තත්ත්වය පිළිබඳ 'අලුත්ම තොරතුරු' මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙසේ පැවසීය: "එම පර්යේෂණාගාරයේ සේවකයෙකුට රෝගය වැළඳී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම එය අවම වශයෙන් එම ආයතනය ඇතුළත හෝ පැතිර යන්නට ඇතැයි යන බියක් පවතිනවා. ඔවුන් (රුසියානු රජය) විවිධ මට්ටමින් පුද්ගලයින් නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙන්නේ ඒ නිසයි."
"මෙවැනි දෙයක් පිටතට ගියහොත් එය ඉතා වේගයෙන් පැතිර යා හැකියි. එම නිසා අපි මේ පිළිබඳව ඉතා සෝදිසියෙන් සහ දැඩි අවධානයෙන් පසුවනවා. මා සිතන්නේ නැහැ මේ ගැන අනවශ්‍ය ලෙස බිය විය යුතුයි කියා, නමුත් අප මෙයට අවධානය යොමු කළ යුතු අතර ම දිගින් දිගටම විමසිල්ලෙන් සිටිය යුතුයි. අපි දැනටමත් ඒ දේ සිදු කරමින් සිටිනවා."
'නියුමොනික් ප්ලේග්' මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ විය හැකියි'
විසි ගණන්වල අගභාගයේ පසුවූ මියගිය කාන්තාවගේ මුල් නම 'දාරියා' ලෙස රුසියානු මාධ්‍ය විසින් දක්වා තිබූ අතර, ඇය මෑතකදී මොන්ගෝලියානු සීමාවට මායිම්ව පිහිටි බුරියාතියා කලාපයේ සංචාරය කර තිබිණි.
14 වන සියවසේදී 'කළු මරණය' ලෙස හැඳින්වුණු, යුරෝපයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් බිලිගත් 'මහා වසංගතය' හෙවත් 'යෙර්සිනියා පෙස්ටිස්', මෙම ප්‍රදේශයේ වෙසෙන 'මාමට්' වැනි සතුන් අතර බහුලව දක්නට ලැබේ.
මීට වසර 100කට පමණ පෙර, එනම් 1920 ගණන්වලදී ඇති වූ මහා වසංගත තත්ත්වයකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම 'සයිබීරියාව සහ ඈත පෙරදිග වසංගත මර්දන ආයතනය' පිහිටුවනු ලැබිණි.
රෙඩින් විශ්වවිද්‍යාලයේ සෛලීය ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය සයිමන් ක්ලාක්, බීබීසී රේඩියෝ 4 හි 'පීඑම්' වැඩසටහනට ප්‍රකාශ කළේ 'යෙර්සිනියා පෙස්ටිස්' බැක්ටීරියාවේ පෙනහළු ආශ්‍රිත (නියුමොනික්) ප්‍රභේදය වැළඳී ප්‍රතිකාර නොකර සිටියහොත් එය මාරන්තික විය හැකි වුවත්, ප්‍රතිජීවක ඖෂධ මඟින් එය සුවපත් කළ හැකි බවයි.
'නියුමොනික් ප්ලේග්' මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ විය හැකියි. මේ පිළිබඳව මෙතරම් දැඩි අවධානයක් (බියක්) යොමු වීමට හේතුව ඒකයි," ඔහු පැවසීය.
නමුත් ඇත්ත වශයෙන්ම, ඕනෑම බෝවන රෝග වසංගතයක් ඇති වූ සැණින් මිනිසුන්ගේ සිතට නැගෙන්නේ... ලොක්ඩවුන් සහ කොවිඩ් වසංගතය පිළිබඳවයි. නමුත් මෙහිදී එවැනි දෙයක් වෙන්නේ නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.
"අනේ මහා වසංගතේනේ, ඕක දැන් ඉවරයි, මීට වසර සිය ගණනකට කලින්ම තුරන් වෙලා ගියා' කියලා මිනිස්සු හිතනවා. නමුත් ඒක එහෙම වෙලා නැහැ," යැයි ක්ලාක් පැවසීය.
"එය තවමත් පවතිනවා. ලෝකයේ සමහර ප්‍රදේශවල එය මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් වී තිබෙනවා. ඔවුන් ඒ පිළිබඳව පර්යේෂණ කළ යුත්තේ අන්න ඒ නිසයි."
මෙම රෝග කාරක බීජය, ජෛව අවියක් (bio-weapon) ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව පර්යේෂණ පවත්වා තිබිය හැකිදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, විද්‍යාඥයා ප්‍රකාශ කළේ එය එසේ විය හැකි බවයි.
මෙය රුසියාව තුළ සිදු වූවක් නිසා මිනිසුන්ගේ සිතිවිලි ඒ දෙසට [ජෛව අවි පිළිබඳව] යොමු වෙනවා. නමුත් මම කලින් දුන් පැහැදිලි කිරීම වඩාත් සිදුවිය හැකි දෙය ලෙස මා සිතනවා," යැයි ක්ලාක් පැවසීය.



































