නව ජනාධිපති සහ අගමැති දිවුරුම් දෙති

Published

ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී දිවුරුම් දෙයි.

නව ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ශ්‍රීපවන් ඉදිරියේදී යි.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තමා යළිත් වතාවක් ජනාධිපති ධුරයට තරඟ නොකරන බවයි.

නව අග්‍රාමාත්‍යවරයා

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් එම උත්සවයේදී ම දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තුන් වැනි වතාවටයි.

දිවුරුම් දීමේ අවස්ථාව නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියට රැස් වුහ.

සන්සුන් වාතාවරණයක්

සමස්තයක් වශයෙන් ගත් කළ කොළඹ නගරයේ අනෙකුත් ප්‍රදේශවල සාමකාමී සහ සන්සුන් වාතාවරණයක් පැවති බවයි අප වාර්තාකරු සරෝජ් පතිරණ පැවසුවේ.

තමන් නිදහස් චතුරශ්‍රය බලා පැමිණෙන විට ජනතාව පමණක් නොව කිසිම වීථියක පොලිස් නිලධාරියෙක් පවා දක්නට නොලැබුණු බව ඔහු පැවසුවේය.

ඔහු සඳහන් කළේ, පෙර දින රාත්‍රියේ රූපවාහිනී තිරවලට දෑස් යොමා ගෙන උනන්දුවෙන් මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටි ජනතාව සවස් යාමයේ නින්දට යාම මේ අසාමාන්‍ය නිශ්චලත්වයට ප්‍රධාන හේතුව විය හැකි බවයි.

විශේෂ තත්වයක්

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බියක්ද පැවති නමුත් එවැන්නක් සිදු නොවීම මේ මැතිවරණයේ විශේෂ තත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසු බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජනශූන්‍ය, වාහනවලින් තොර මාර්ග ඔස්සේ ගල්කිස්සේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය කරා ගමන් කිරීම අන් බොහෝ දිනවලට වඩා පහසු වූයේ වෙනත් දිනවල පවතින මාර්ග තදබදය නිසා දිගු වේලාවක් ගත වන ඒ ගමන විනාඩි තිහක් වැනි කාලයකින් නිමා වූ නිසා බව අප වාර්තාකරු සඳහන් කළේය.

එහෙත් නිදහස් චතුරශ්‍රයට ළඟා වන විට එහි පැවතියේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයක් බවයි ඔහු පැවසුවේ.

බස් රථ, මෝටර් රථ, යතුරු පැදිවල නැගි සිය ගණනක් පිරිස් කොළ සහ නිල් පැහැති කොඩි වනමින් ඒ අසල වීදි සංචාරය කළේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සවුදිය පුරමින් බවයි ඔහු කියා සිටියේ.

ඉන් අනතුරුව මහ සෙනග පීරා ගෙන නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට ඇතුළු වීමට හැකි වූයේ ඉතාමත් අපහසුවෙන් බවයි අප වාර්තාකරු සරෝජ් පතිරණ තවදුරටත් පැවසුවේ.