නාමල් සහ ජානකී ගැන අධිකරණය අද දුන් තීන්දුව: ක්‍රිෂ් ගනුදෙනුව ගැන තවත් කරුණු හෙළිවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මේ මස 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ, අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව ද නියෝගයේ සඳහන් විය.
අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම්
මෙම නඩුකරය අද (ඔක්: 06) කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්යක්ෂ අමා විජේසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී... මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙහිදී විමර්ශනයට භාජනය වී තිබෙන ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් සමාගමේ ගණකාධිකාරිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා 2012 වසරේ සැප්තැම්බර් මස අදාළ සමාගම විසින් සිදුකළ ගෙවීමක් ගැන. නිමල් පෙරේරා නමැත්තාට එම ගෙවීම සිදුකර තිබුණා. එම ගෙවීම අදාළ සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ ගෙවීමක් ලෙසත් එම සාක්ෂිකරු ප්‍රකාශ කර තිබුණා. අධ්යක්ෂ මණ්ඩලය අනුමත කිරීම නිසා එම ගෙවීම සිදුකිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුව අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරුණු බවත් සාක්ෂිකරු සිය ප්‍රකාශය තුළින් සඳහන් කළා. මෙවැනි ගෙවීමක් සිදුකළ ද නිමල් පෙරේරා නමැත්තා තම සමාගමට කිසිදු සේවාවක් සපයා නොතිබූ බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වුණා," යනුවෙන් පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය මෙසේ පැවසීය.
"ස්වාමීනි... සම්පත් බැංකුවේ සුපිරි ශාඛාවේ තිබෙන සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනයේ බැංකු ගිණුම් පරීක්ෂා කරනු ලැබුවා. එහිදී අනාවරණය වුණා, ක්‍රිෂ් සමාගම විසින් ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනයේ ගිණුමට බැර වී නොමැති බව. සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනය සැකකාර නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණත් එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙන්නේ නිමල් පෙරේරා. සැකකාර නාමල් රාජපක්ෂ එහි කිසිදු ධූරයක් දරා නෑ. කාල්ටන් සුපර් සෙවන් තරගාවලිය සඳහා ක්‍රිෂ් සමාගමෙන් අනුග්‍රහයක් ලබා දී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වුණා."
"ස්වාමීනි... මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හඳුනාගෙන තිබෙන ක්‍රිෂ් සමාගමේ හිටපු ඉන්දීය ජාතික අධ්යක්ෂවරුන් වන අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊමේල් පණිවිඩ සහ ගුවන් තැපෑලෙන් පණිවුඩ යොමු කර තිබුණා. එහෙත් ඔවුන් මේ දක්වා ඊට අවනත වී පැමිණියේ නැහැ. ඒ නිසා ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කරමින් යනවා. ඒ සඳහා ඉදිරියේදී සාක්ෂි මෙහෙයවීමටත් අපේක්ෂා කරනවා. ඊට අමතරව මෙම නඩුවේ හතර වන සැකකරු වන නාමල් රාජපක්ෂ විසින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් 2012 වසරේ දෙසැම්බර් මස 15 වන දා ක්‍රිෂ් සමාගම වෙත ලිපියක් යොමු කර තිබුණා. එහෙත් එම මුදල් රග්බි ක්‍රීඩාව සඳහා යොදවා නොමැති බව හෙළිවී තිබෙනවා. එම නිසා අදාළ ලිපිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකකාර නාමල් රාජපක්ෂගේ අත්අකුරු පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා."
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය මෙම සැකකරුවන්ට අදාළව දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්රවරයා සහතිකයක් ඉදිරිපත් කර ඇති නිසා මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා ය.
විත්තියේ කරුණු දැක්වීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ ඇප ඉල්ලීම වෙනුවෙන් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.
මෙම ප්‍රශ්නගත මුදල් ලබා දීම සිදුවී තිබෙන්නේ ගිවිසුමකට අනුව වන අතර, එසේ ලබා දුන් මුදල් අල්ලස් වශයෙන් සලකන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ ප්‍රශ්න කළේ ය.
ඉන් අනතුරුව නඩුවේ සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ක්‍රිෂ් සමාගමේ හිටපු ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරයෙකු වන අමිත් කට්ටියාර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... මගේ සේවාදායකයාට ප්‍රකාශයක් ලබා දීම සඳහා අගෝස්තු මස 18 වන දා පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබුණා. එහෙත් එම දැනුම් දීම ලැබුණේ අගෝස්තු මස 22 වන දා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2016 වසරේ ඉන්දියාවට ගොස් මගේ සේවාදායකයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහුට රටින් පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා," යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා ඔහු වෙනුවෙන් වරෙන්තු නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටියේ ය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කර නොමැති බව ය.
පසුගිය දිනක මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ ද ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.
ඒ අනුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම්වලට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 12 වන දා අධිකරණයට දනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ඉන් අනතුරුව සැකකරුවන් ලබන 16 වන දා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදින ඔවුන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේ ය.


































