දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරු නිලධාරියෙකුට වසර 16ක සිර දඬුවමක්: ප්‍රජා අයිතියත් අහෝසි යි

Tax
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

වාර්ෂික බදු මුදල් අඩුවෙන් අයකිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරුකරුවෙකුට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලදී.

අදාළ රාජ්‍ය සේවකයාගේ ප්‍රජා අයිතිය ද වසර 07ක කාලයකට අහෝසි කිරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් මිහාල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නියම කළේ, ඒ බව මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ය.

මහජනතාවගෙන් බදු මුදල් අය කර ගැනීමේ ප්‍රධානතම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන බවත්, බදු මුදල් නොගෙවූ අවස්ථාවකදී එම ආයතනයෙන් ජනතාවට අත්විඳීමට සිදුවන අහිතකර ප්‍රතිඵල අනුව විත්තිකරුට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැති බවත් පෙන්වා දෙමින් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේ ය.

වසර 15කට පෙර ගොනු කළ නඩුවක්

වසර 15ක කාලයකට පෙර සිදුවූ මෙම අල්ලස් සිද්ධියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කෙරිණි.

මෙලෙස දඬුවම් නියම වූයේ, දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර කාර්යාලයේ තක්සේරුකරුවෙකු වශයෙන් රාජකාරී කළ පුද්ගලයෙකුට ය.

2011 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර කාර්යාලයේ තක්සේරුකරුවෙකු වශයෙන් රාජකාරී කරමින් සිටියදී අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් වාර්ෂිකව අයකළ යුතු බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 04ක මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් 3,75,000ක මුදල් අල්ලස් වශයෙන් ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබිණි.

අල්ලස් මුදල් ඉල්ලීස සම්බන්ධයෙන් විත්තිකරු සමග ම තවත් කාන්තාවකට එරෙහිව ද අල්ලස් කොමිසම චෝදනා නගා තිබූ අතර නඩුව කැඳවූ මුල් අවස්ථාවේදී ම ඇය අදාළ චෝදනාවට වරද පිළිගැනීම නිසා 2019 වසරේදී ඇයට දඬුවම් නියම කෙරුණු අතර විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් ඔහුට එරෙහිව දීර්ඝ කාලයක් පුරා නඩුව විභාග කෙරිණි.

රෝගී තත්ත්වය සහ වයෝවෘද්ධභාවය සලකා දුන් සහනය

විත්තිකරුට එරෙහි එක් චෝදනාවකට වසර 04 බැගින් චෝදනා 4ක් සඳහා වසර 16ක සිරඳඩුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්ත්වයන් සහ වයෝවෘද්ධ භාවය සැලකිල්ලට ගෙන එම දඬුවම් කාලය වසර 04ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට නියම කළේ ය.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊට අමතරව, විත්තිකරුට නියම කළ රුපියල් 3,75,000ක සහ රුපියල් 20,000ක දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 14ක ලිහිල් වැඩසහිත සිරදඬුවමකට ද ඔහු යටත් කළේ ය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුගේ දඬුවම් අඩුකර ගැනීම සඳහා කරුණු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේ ය.

ඒ අනුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් වසර 40ක කාලයක් පුරා රාජ්‍ය සේවකයෙකු වශයෙන් රාජකාරී කළ තම සේවාදායකයා මේ වන විට වයෝවෘද්ධ වියේ පසුවන අතර, රෝගාබාධ රැසකින් පීඩා විඳින හෙයින් සිය සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේ ය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් විත්තිකරු රාජකාරී කර ඇත්තේ මහ ජනතාවගෙන් රජයට ලැබිය යුතු ආදායම් අය කර ගැනීමේ ප්‍රධානතම ආයතනයේ නිලධාරීයෙකු වශයෙන් බවත්, අල්ලස් ගැනීම මේ වන විට සමාජයේ පිළිලයක් වී ඇති බවත් අපේ රට මේ තත්ත්වයට ඇඳ වැටී ඇත්තේ රාජ්‍ය සේවකයින් මේ ආකාරයෙන් අල්ලස් ගැනීම නිසා බවත් පෙන්වා දුන්නේ ය.

එහෙයින් අල්ලස් ගැනීමට සිතා සිටින අනෙකුත් රාජ්‍ය සේවකයින්ට ද පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුට දැඩි දඬුවම් දෙන්නැයි ඉල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් අල්ලස් පනතේ ප්‍රතිපාදන යටතේ විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් මුදල් දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමට ද නියම කරන්නැයි ඉල්ලා සිටියේ ය.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැති බව අවධාරණය කරමින් අදාළ දඬුවම් නියම කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේ ය.