මියන්මාර ජන සංහාර නඩුවේ තීන්දුව ලෝකයට දෙන පණිවුඩය කුමක් ද?



ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන විනිසුරු ඉවාසාවා යුජි, මයික්‍රොෆෝන දෙකක් සකස් කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණයේ සභාපති යූජි ඉවාසාවා ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Published
කියවීමේ කාලය: මිනිත්තු 6

මියන්මාර හමුදාව විසින් එරට මුස්ලිම් රෝහින්ජා සුළුතර ප්‍රජාවේ දහස් ගණනක් ඝාතනය කර වසර නවයකට පසු, එමගින් ජන සංහාරයක් සිදු කර ඇති බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය ඓතිහාසික තීන්දුවක් මගින් නිගමනය කර තිබේ.

ලොව පුරා රටවල් නියෝජනය කරන විනිසුරුවරුන් 15 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් මෙම තීන්දුව, ජාත්‍යන්තර අධිකරණයකදී රාජ්‍යයක් ජන සංහාර අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාව සනිටුහන් කරන අතර, ගාසා යුද්ධය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොනු කර ඇති නඩුව වැනි වෙනත් ජන සංහාර නඩු සඳහා ද මෙය බලපෑම් එල්ල කළ හැකිය.

ජන සංහාරක අභිප්‍රාය

නාසින් කළ සමූලඝාතනයට ප්‍රතිචාරයක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී ජන සංහාර වැළැක්වීම සහ ඒ සඳහා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියට අත්සන් තැබූ අතර, එය 1951 දී බලාත්මක විය. එමඟින් ජන සංහාරය අපරාධයක් බවට පත් කෙරිණි. දෙවන ලෝක යුද්ධ සමයේදී යුදෙව්වන් මිලියන හයක් සහ වෙනත් සුළුතර ජන කණ්ඩායම්වල මිලියන ගණනක් ඝාතනය කෙරිණි.

ජන සංහාරය යනු "ජාතික, ජනවාර්ගික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමේ චේතනාවෙන් සිදු කරන ක්‍රියාවන්" ලෙස අර්ථ දැක්වෙන අතර, එය මනුෂ්‍යත්වයට එරෙහි බරපතළම අපරාධය ලෙස පුළුල්ව සැලකේ.

එහෙත් වරදකරු බවට තීරණය කිරීම සඳහා, ජන සංහාරක අභිප්‍රායක් පැවති බවට ඔප්පු කෙරෙන ඉහළ ප්‍රමිතියක සාක්ෂි විනිසුරුවරුන්ට අවශ්‍ය වේ. විත්තිකරුවන්ගේ ක්‍රියාකලාප නාසීන්ගේ ක්‍රියාකලාප මෙන් පැහැදිලිව ම ජන සංහාරක ස්වරූපයක් නොගන්නා අවස්ථාවලදී එය ඔප්පු කිරීම අතිශය දුෂ්කර ය.

මේ දක්වා ජාත්‍යන්තර අධිකරණවලදී ජන සංහාර සම්බන්ධයෙන් සාර්ථකව නඩු පවරා ඇත්තේ පුද්ගලයන්ට එරෙහිව පමණි. 1994 දී රුවන්ඩාවේ ටුට්සි සුළුතර ප්‍රජාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමූලඝාතනය කිරීමට සම්බන්ධ වූවන් සහ 1995 දී ස්‍රෙබ්‍රෙනිකා හිදී බොස්නියානු මුස්ලිම් පිරිමින් සහ පිරිමි ළමුන් දහස් ගණනක් සැලසුම් සහගතව ඝාතනය කිරීමට සම්බන්ධ වූවන් මීට ඇතුළත් වේ.

ඔවුන් වරදකරුවන් කරනු ලැබුවේ විශේෂයෙන් පිහිටුවන ලද විනිශ්චය සභාවලදීය.

ස්‍රෙබ්‍රෙනිකා සමූලඝාතනයේදී පුද්ගලයන් ජන සංහාර සිදු කර ඇති බවට තීරණය වුවද, වසර 14 ක් පුරා පැවති නඩු විභාගයකින් පසුව ජාත්‍යන්තර අධිකරණය නිගමනය කළේ සර්බියානු රාජ්‍යයට ජන සංහාරක චේතනාවක් තිබූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. කෙසේ වෙතත්, එම ඝාතන වැළැක්වීමට සර්බියාව අපොහොසත් වූ බව අධිකරණය සඳහන් කළේය.

ජාත්‍යන්තර අධිකරණයට තීන්දු ලබා දිය හැක්කේ රාජ්‍යයන්ට එරෙහිව පමණක් වන අතර පුද්ගලයන්ට එරෙහිව තීන්දු දිය නොහැක.

1948 ජන සංහාර සම්මුතිය උල්ලංඝනය කළ බවට තීරණය වූ පළමු රාජ්‍යය මියන්මාරයයි.

1948 ජන සංහාර  සම්මුතිය උල්ලංඝනය කළ බවට තීරණය වූ පළමු රාජ්‍යය මියන්මාරයයි.

'විනාශ කිරීමේ අභිප්‍රාය'

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2017 වසරේදී මියන්මාර හමුදාව විසින් දියත් කරන ලද ම්ලේච්ඡ මර්දනය හේතුවෙන් රෝහින්ජා වැසියන් 10,000ක් මිය ගිය බව ජාත්‍යන්තර අධිකරණය සොයා ගත්තේය. තවත් 700,000කට අධික පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ.

ඉන් වසර දෙකකට පසු, ගැම්බියාව විසින් ජාත්‍යන්තර අධිකරණය හමුවේ මියන්මාරයට එරෙහිව නඩුවක් ගොනු කළේ, සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම, ලිංගික හිංසනයන් සිදු කිරීම මෙන්ම ගම්මාන විනාශ කිරීම මගින් මියන්මාරය ජන සංහාරයක් සිදු කරන බවට චෝදනා කරමිනි. මියන්මාරය මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මියන්මාරය සැමවිටම තර්ක කළේ තම හමුදා ක්‍රියාමාර්ග රෝහින්ජා සටන්කාමීන් ඉලක්ක කර ගත් ඒවා බවයි. මෙම වසර මුලදී රජයේ නියෝජිතයෙකු අධිකරණයට පැවසුවේ "උතුරු රඛයින් ප්‍රාන්තයේ ත්‍රස්තවාදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටීමට මියන්මාරය බැඳී නොසිටි" බවයි.

2017 අගෝස්තු මාසය දක්වා වූ කාලය තුළ රෝහින්ජා සටන්කාමී කණ්ඩායමක් වන 'අර්සා' විසින් ප්‍රහාර එල්ල කළ බව විනිසුරු ඉවසාවා පිළිගත්තද, රෝහින්ජා සිවිල් වැසියන් බංග්ලාදේශයට පලා යාමට උත්සාහ කරද්දී මියන්මාර ආරක්ෂක අංශ විසින් "දහස් ගණනක් ඝාතනය කළ" බව ඔහු පැවසීය.

මියන්මාරයේ ක්‍රියාවන්හි පරිමාණය සහ ස්වභාවය උතුරු රඛයින් ප්‍රාන්තයේ රෝහින්ජා ජනගහනයෙන් "සැලකිය යුතු කොටසක් විනාශ කිරීමේ චේතනාවක ලක්ෂණ පෙන්නුම් කරන" බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මළ සිරුරු පුළුස්සා දැමීමෙන් හෝ වෙනත් ආකාරවලින් බැහැර කිරීමෙන් මියන්මාරය "පුළුල් ලෙස සාක්ෂි විනාශ කිරීමක" නිරත වී ඇති බවත්, ජන සංහාර වැරදි සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට, නඩු පැවරීමට සහ දඬුවම් කිරීමට අපොහොසත් වී ඇති බවත් විනිසුරු ඉවසාවා තීන්දු කළේය.

රාජ්‍යයක "ආයතන මගින් හෝ රාජ්‍යයට වගකිව යුතු පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින්" ජන සංහාර හෝ වෙනත් ක්‍රියාවන් සිදු කරන්නේ නම්, ඒ සඳහා රාජ්‍යය වගකිව යුතු බවට අධිකරණය පිළිගන්නා බව ඔහු පැවසීය. පුද්ගලයන් අපරාධමය වගකීමකට මුහුණ දෙන අතරතුර, රාජ්‍යයන් බැඳීම්වලට මුහුණ දෙන බව ඔහු සඳහන් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර බීබීසී නිව්ස්ඩේ වැඩසටහනට අදහස් දක්වමින් රෝහින්ජා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනී යස්මින් උල්ලා මෙය "රෝහින්ජා ජනතාවට ඓතිහාසික දිනයක්" ලෙස හැඳින්වූවාය.

සිය නිවෙස්වලින් පලා යාමට බල කෙරුණු පිරිස අතර ඇය සහ ඇගේ පවුලේ අය ද වූ අතර, කැනඩාවේ පදිංචියට යාමට පෙර ඇය තායිලන්තයේ "කිසිදු නීතිමය තත්ත්වයකින් තොරව" හැදී වැඩුණාය.

කෙසේ වෙතත්, "එමඟින් සැබවින්ම ජීවිත වෙනස් වන තුරු යුක්තිය ඉටු වූවා යැයි කිව නොහැකි" බවට අනතුරු අඟවන ඇය, තම ජනතාවට "ආරක්ෂිතව, ස්වේච්ඡාවෙන් සහ ගෞරවාන්විතව නැවත සිය නිවෙස් බලා යාම" සඳහා වන්දි ගෙවීමට සහ රෝහින්ජා අයිතිවාසිකම් යළි ස්ථාපිත කිරීමට මියන්මාරය වගකිව යුතු බවට ඉල්ලා සිටියාය.

ජාත්‍යන්තර අධිකරණය අපරාධ අධිකරණයක් නොවන අතර එහි තීන්දු බලාත්මක කිරීමේ බලතල සීමිතය. හමුදා නිලධාරීන් සිරගත කිරීමට ඊට නොහැකි අතර, සිය තීන්දු ක්‍රියාත්මක කරවීම සඳහා එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ දේශපාලන පීඩනය මත රඳා පවතී.

2017 වසරේදී, රකයින් ප්‍රාන්තයේ පිහිටි ගවුඩු තාර් යා (Gawdu Thar Ya) මුස්ලිම් ගම්මානය ගිනිගෙන දැවී ගිය අතර එය අඟුරු වූ ලී කැබලි සහ අළු ගොඩක් බවට පත් විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 වසරේදී, රකයින් ප්‍රාන්තයේ පිහිටි ගවුඩු තාර් යා (Gawdu Thar Ya) මුස්ලිම් ගම්මානය ගිනිගෙන දැවී ගිය අතර එය අඟුරු වූ ලී කැබලි සහ අළු ගොඩක් බවට පත් විය.

ප්‍රබල සාක්ෂි

ජාත්‍යන්තර අධිකරණය හමුවේ ජන සංහාර සම්බන්ධ නඩු විභාගයට ගැනීම දුර්ලභ වන අතර, මෙම තීන්දුව ඉදිරියේදී ලබාදෙන තීන්දු සඳහා පූර්වාදර්ශයක් විය හැකි ය.

'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ මාරියා එලේනා විග්නෝලි පැවසුවේ මෙය "ලොව පුරා සිටින ජන සංහාර සහ වෙනත් බරපතළ අපරාධවලට ගොදුරු වූවන්ට යුක්තිය පසිඳලීම සඳහා වන ඔවුන්ගේ ගමනට වැදගත් පූර්වාදර්ශයක් සපයන" බවයි.

එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය තුළ ජන සංහාරක චේතනාව ඔප්පු කළ හැකි ආකාරය මෙම නඩුව මගින් පෙන්නුම් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නීතිඥ ඔලිවර් වින්ඩ්රිජ් BBC පුවත් සේවයට පැවසුවේ, ජන සංහාරක අභිප්‍රායක් පැවති බවට වන සාක්ෂි, පැහැදිලි ලිඛිත නියෝගයක් හෝ ප්‍රකාශිත ප්‍රතිපත්තියක් මත නොව, බොහෝ දුරට පරිවේෂණීය සාක්ෂි මත පදනම් වූ අවස්ථාවක පවා රාජ්‍යයක් වගකිව යුතු බවට මෙම තීන්දුවෙන් පෙන්නුම් කරන බව ය.

"ප්‍රමාණවත් තරම් ප්‍රබල සාක්ෂි තිබේ නම්, දැනට පවතින නීතිමය සාක්ෂි ප්‍රමිතිය සපුරාලිය හැකි බව මෙයින් පැහැදිලි වෙනවා," යැයි ඔහු පැවසීය.

එපමණක් නොව, තම රටේ පුරවැසියන්ට සෘජු හානියක් සිදු නොවූවද ගැම්බියාව මෙම නඩුව අධිකරණය හමුවට ගෙන ආවේය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ, ජන සංහාර සම්මුතියට පාර්ශ්වකරුවෙකු වන ඕනෑම රාජ්‍යයකට තවත් සාමාජික රාජ්‍යයකට එරෙහිව නඩු පැවරීමට ඉඩ සලසන එම සම්මුතියේ ප්‍රතිපාදනයකි.

2023 වසරේ අගභාගයේදී, ගාසා යුද්ධය අතරතුර ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව නඩුවක් ගොනු කළේ ද මෙම නීතිමය විධිවිධානය යටතේ ය. එහිදී දකුණු අප්‍රිකාව චෝදනා කළේ, "ගාසා හි පලස්තීනුවන් විනාශ කිරීමේ" අරමුණින් ඊශ්‍රායලය ක්‍රියා කළ බව ය.

මෙම චෝදනා ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් තමන් සිදු කළ හමුදා මෙහෙයුම් පිළිබඳ "පක්ෂග්‍රාහී සහ අසත්‍ය ප්‍රකාශ" මත පදනම් වූ, "කිසිදු පදනමක් නොමැති" නඩුවක් ලෙස ඊශ්‍රායලය එය හඳුන්වා දී තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේදී ලබා දුන් අතුරු තීන්දුවකදී, ගාසා හි ජන සංහාරක ක්‍රියාවන් වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සියලු පියවර ගත යුතු බවට ජාත්‍යන්තර අධිකරණය නියෝග කළ නමුත්, එහි හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙස නියෝග කිරීමෙන් වැළකී සිටියේය.

එහි ජන සංහාරයක් සිදුවී ඇත්ද නැද්ද යන්න පිළිබඳව අධිකරණය තවමත් අවසන් නිගමනයකට එළඹ නැත.

"ගැම්බියාව පරාජය වූවා නම්, දකුණු අප්‍රිකාවේ නඩුව ද ප්‍රායෝගිකව අවසන් වීමට ඉඩ තිබුණා," ගැම්බියාව නියෝජනය කරන නීති කණ්ඩායමේ සාමාජිකයෙකු වන පිලිප් සෑන්ඩ්ස් පැවසීය.

නමුත් අද ලබා දුන් තීන්දුවෙන් අදහස් වන්නේ "ඒ සඳහා තවමත් දොරටුවක් විවෘතව පවතින බවයි," ඔහු අධිකරණ පරිශ්‍රයෙන් පිටත සිට බීබීසී World At One වැඩසටහනට පැවසීය.

"ඒකෙන් අදහස් වෙන්නේ ගාසා තීරයේ ජන සංහාරයක් සිදු වූ බවට ජාත්‍යන්තර අධිකරණය තීන්දු කරයි කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් වන්නේ සාක්ෂි ගැන ප්‍රමිතිය ඉතා පැහැදිලිව නිර්වචනය කරලා තියෙනවා කියන එක. ඒ ප්‍රමිතිය සපුරාලන එක දැන් ඊළඟ නඩුවේ සහ වෙනත් නඩුවල පාර්ශ්වයන්ට භාර වෙනවා කියන එක."

කෙසේ වෙතත්, "සෑම නඩුවක්ම තීරණය වන්නේ එයට ආවේණික වූ කරුණු මත බවට ඉතා ප්‍රබල පණිවිඩයක් ලබාදීමට" අධිකරණය විශේෂ උත්සාහයක් ගත් බව සෑන්ඩ්ස් අවධාරණය කළේය.