ප්‍රසිද්ධියේ සමාව ගැනීම ඇතුළු ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන්ගෙන් දැඩි නිර්දේශ මාලාවක්: 'ප්‍රතිචාර දැක්වීමට දුන් අවස්ථාව රජය භාර ගත්තේ නෑ'

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී මානුෂීය සේවකයින්ට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් තීරණාත්මක පියවර දෙකක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) නිර්දේශ කර තිබේ.

ඒ අනුව, ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙසත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණයෙන් ම වෙන් වූ ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් වහා ම පිහිටුවන ලෙසත් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති අතර, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ජාත්‍යන්තර ප්‍රජාවට යෝජනා කර ඇත.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජය වෙත යොමු කර තිබූ අතර, ඒ පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක්ද ලබා දී තිබුණු අතර, එහෙත් වාර්තාව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත් ඒ සඳහා කිසිදු පිළිතුරක් ලැබී නොතිබූ බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේ සහ ඉන්පසුව මානුෂීය සේවකයින්ට, වෛද්‍ය පහසුකම්වලට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර මෙන් ම ඒවාට වගවීමක් නොමැතිකම පිළිබඳව මෙම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කෙරේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ වෙනත් යාන්ත්‍රණ විසින් දශකයකට වැඩි කාලයක් පුරා සිදු කරන ලද විමර්ශන සහ වාර්තා පදනම් කර ගනිමින් මෙම කෙටි වාර්තාව සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී මානුෂීය සේවකයින්ට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර, සියලු ම පාර්ශව මානුෂීය ආධාර සීමා කිරීම හා ප්‍රතික්ෂේප කිරීම මෙන් ම එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට රජය අඛණ්ඩව අපොහොසත් වීම පිළිබඳ තත්ත්වය මෙමගින් ඉදිරිපත් කර තිබේ.

2006 අගෝස්තු මාසයේදී මුතූර්හිදී 'ඇක්ෂන් කොන්ට්‍රේ ලා ෆේම්' (Action Contre la Faim) ආයතනයේ සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම — එවකට ලොව පුරා මානුෂීය සේවකයින්ට එල්ල වූ දරුණුතම තනි ප්‍රහාරය — ඇතුළු සුවිශේෂී සිදුවීම් මාලාවක් මෙන් ම, ගැටුමේ අවසන් වසර කිහිපය තුළ මානුෂීය සේවකයින්ට, රෝහල්වලට සහ සහන මෙහෙයුම්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව මෙහිදී විශ්ලේෂණය කර ඇත.

දිවි ගලවා ගත් පුද්ගලයින් සහ මානුෂීය සේවකයින් සමග ඍජුව සම්බන්ධ වී ලබා ගත් තොරතුරු ඇසුරෙන්, වරදකරුවන්ට දඬුවම් නොලැබීම නිසා ඔවුන්ගේ ජීවිතවලට අද දක්වා ම එල්ල වී ඇති දිගුකාලීන බලපෑම මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එමෙන් ම, එම තත්ත්වය වෙනස් කිරීමට බලය ඇති පාර්ශව වෙත ඉදිරිපත් කරන නිර්දේශ ද මෙහි ඇතුළත් වේ.

ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇති නිර්දේශ

පිළිගැනීම සහ වන්දි ලබා දීම

• රාජ්‍ය වගකීම පිළිගැනීම සහ සමාව අයැදීම: සන්නද්ධ ගැටුම අතරතුර සහ ඉන්පසුව රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම ද ඇතුළුව මානුෂීය හා වෛද්‍ය සේවකයින්ට, පහසුකම්වලට සහ මෙහෙයුම්වලට ප්‍රහාර එල්ල වූ බවත්, මානුෂීය ආධාර සීමා කර ප්‍රතික්ෂේප කළ බවත් පිළිගෙන රාජ්‍යය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීම.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

• වන්දි සහ සහන ලබා දීම: ඝාතනයට ලක් වූ හෝ අතුරුදන් වූ සහන සේවකයින්ගේ පවුල්වලට සහ දිවි ගලවා ගත් සගයන්ට මූල්‍ය වන්දි පමණක් නොව, සිදුවූ දේ පිළිගැනීම, අනුස්මරණය, මනෝ-සමාජීය සහාය සහ අතුරුදන් වූවන් සොයා ගැනීම ඇතුළත් ඵලදායී වන්දි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු ය.

විමර්ශන, නඩු පැවරීම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ

• ස්වාධීන විමර්ශන සහ අණ දෙන නිලධාරීන්ගේ වගකීම: මානුෂීය සේවකයින්ට එල්ල වූ ප්‍රහාර සහ ආධාර සීමා කිරීම් පිළිබඳව කඩිනම් හා ස්වාධීන විමර්ශන පවත්වා, අණ දෙන නිලධාරීන් ද ඇතුළුව වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. එමෙන් ම මෙම ක්‍රියාවන් යම් සැලසුම්සහගත රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුව සිදු වූයේ ද යන්න ද සොයා බැලිය යුතු ය.

• ස්වාධීන අභිචෝදක කාර්යාලයක් සහ විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්: නීතිපති දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණයෙන් ම ස්වාධීන වූ මහජන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම කඩිනම් කළ යුතු ය. පසුගිය දශක කිහිපයේ සිදු වූ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් විභාග කිරීමට ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

• නීති සංශෝධනය සහ ජාත්‍යන්තර සම්මුතීන්ට එක්වීම: යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ක්‍රමානුකූල බලහත්කාර අතුරුදන් කිරීම් දේශීය නීතියට ඇතුළත් කළ යුතු අතර, ඒවාට කාලාවරෝධී සීමාවන් අදාළ නොවන බව තහවුරු කළ යුතු ය. තව ද, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට සහ ජිනීවා සම්මුතීන්හි අතිරේක සන්ධානයන්ට ශ්‍රී ලංකාව එක් විය යුතු ය.

ආරක්ෂාව සහ සහයෝගීතාව

• ආරක්ෂක අංශ පරීක්ෂාව (Vetting): බරපතළ උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ඇති පුද්ගලයින් සේවයෙන් ඉවත් කිරීමට පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු අතර, ඔවුන් රජයේ, ආරක්ෂක අංශවල හෝ රාජ්‍ය තාන්ත්‍රික ඉහළ තනතුරුවලට පත් නොකළ යුතු ය.

• වින්දිතයින්, සාක්ෂිකරුවන් සහ මානුෂීය සේවකයින් ආරක්ෂා කිරීම: සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ස්වාධීන වන පරිදි අදාළ පනත සංශෝධනය කළ යුතු ය. වින්දිතයින්, මානව හිමිකම් ආරක්ෂකයින් සහ මාධ්‍යවේදීන් නිරීක්ෂණය කිරීම හා හිරිහැර කිරීම වහාම නතර කරන ලෙස ආරක්ෂක සහ බුද්ධි අංශවලට නියෝග කළ යුතු ය.

• OHCHR සමග පූර්ණ සහයෝගීතාව: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වගවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට සහ අදාළ ස්ථාන හා වාර්තා පරීක්ෂා කිරීමට පූර්ණ අවසරය ලබා දිය යුතු ය.

මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර ප්‍රජාවට සහ සාමාජික රටවල් වෙත ඉදිරිපත් කර ඇති නිර්දේශ

• ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම: මානව හිමිකම් කවුන්සිලය හරහා ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගතිය අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු අතර, ප්‍රමාණවත් ප්‍රගතියක් නොමැති නම් වගවීම තහවුරු කිරීමට තවදුරටත් ජාත්‍යන්තර පියවර ගැනීම පිළිබඳව සලකා බැලිය යුතු ය.

• ජාතික අධිකරණ හරහා නඩු පැවරීම: විශ්ව අධිකරණ බලය (Universal Jurisdiction) සහ බාහිර දේශසීමා අධිකරණ බලය යටතේ, ශ්‍රී ලංකාව තුළ ඕනෑම පාර්ශ්වයක් විසින් සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට එරෙහිව සාමාජික රටවල ජාතික අධිකරණ හරහා විමර්ශන පැවැත්වීමට සහ නඩු පැවරීමට සහයෝගය දැක්විය යුතු ය.

• ඉලක්කගත සම්බාධක පැනවීම: මානුෂීය ක්‍රියාකාරකම්වලට බලපාන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කළ බවට විශ්වසනීය චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වත්කම් තහනම් කිරීම (asset freezes) සහ සංචාරක තහනම් (travel bans) වැනි ඉලක්කගත සම්බාධක පැනවීම පිළිබඳව සොයා බැලිය යුතු ය.

• සාම සාධක මෙහෙයුම් සඳහා දැඩි පරීක්ෂාවන්: එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්, ද්විපාර්ශ්වික හමුදා හුවමාරු සහ පුහුණු වැඩසටහන් සඳහා තෝරා ගනු ලබන ශ්‍රී ලංකා හමුදා සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි මානව හිමිකම් පරීක්ෂාවන් සිදු කළ යුතු ය.

• පූර්වාදර්ශයක් වීම වැළැක්වීම සහ සිවිල් සමාජයට සහය දීම: ශ්‍රී ලංකාවේ සිදුවීම් ලොව වෙනත් ගැටුම්වලදී පූර්වාදර්ශයක් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම ගෝලීය මට්ටමින් ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුය. එමෙන්ම, ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට (OSLap), දිවි ගලවා ගත් පුද්ගලයින්ට සහ සිවිල් සමාජ සංවිධානවලට අඛණ්ඩව සහාය ලබා දිය යුතු ය.

'ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් පවතින දණ්ඩමුක්තිය අවසන් කළ යුතු යි': ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

ශ්‍රී ලංකාවේ වසර 25ක සන්නද්ධ ගැටුම අතරතුර ජාත්‍යන්තර නීතිය යටතේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට දශක ගණනාවක් පුරා බලයට පත් වූ රජයන් අපොහොසත් වී ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ මානුෂීය ක්‍රියාකාරකම්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව නිකුත් කළ නවතම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, ළමුන් ද ඇතුළුව 583 දෙනෙකුට වැඩි පිරිසකගේ අස්ථි කොටස් හමු වූ චෙම්මනි වැනි සමූහ මිනීවළවල් තවදුරටත් හඳුනා ගනිමින් තිබියදී පවා, ලක්ෂ සංඛ්‍යාත වින්දිතයින්ට සත්‍යය, යුක්තිය සහ වන්දි තවමත් අහිමි වී ඇති බව ය.

ජාත්‍යන්තර නීතිය නොසලකා හරිමින් ලොව පුරා ගැටුම්වලදී මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් දැඩි ලෙස ප්‍රහාරයට ලක්වන අවස්ථාවක මෙම වාර්තාව නිකුත් වීම ඉතා කාලෝචිත බව එම සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකා ස්මෘති සිං අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ මානුෂීය සේවාවන්ට එල්ල වූ ප්‍රහාර සහ ඒවාට දඬුවම් නොලැබීම වර්තමාන ගෝලීය ගැටුම්වලදී සිදුවන එවැනි ම අපරාධවලට පූර්වාදර්ශයක් වී ඇති බව පෙන්වා දෙන ඇය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අඛණ්ඩ ජාත්‍යන්තර අධීක්ෂණයක් පවත්වා ගැනීමේ දැඩි අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම වාර්තාව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් දකුණු ආසියානු අධ්‍යක්ෂිකා ස්මෘති සිං මෙසේ පැවසුවා ය:

"ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිය යටතේ සිදු වූ අපරාධ විසඳීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවත්, ලක්ෂ සංඛ්‍යාත වින්දිතයින්ට සත්‍යය, යුක්තිය සහ වන්දි තවමත් ඉටු වී නොමැති බවත් මෙම වාර්තාව මගින් පැහැදිලිව පෙන්වා දෙයි. 2009 වසරේදී අවසන් වූ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට සහ වගවීම තහවුරු කිරීමට බලයට පත් වූ කිසිදු ශ්‍රී ලංකා රජයකට අවශ්‍යතාවක් නොතිබූ බව එහි සොයාගැනීම්වලින් පිළිබිඹු වේ."

ශ්‍රී ලංකාවේ තත්ත්වය වර්තමාන ලෝක ගැටුම් කෙරෙහි බලපා ඇති ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ස්මෘති සිං මෙසේ ද පැවසුවාය:

"මෙම වාර්තාව සහ යුක්තිය, සත්‍යය සහ වන්දි ලබා දීමට ශ්‍රී ලංකා රජය දශක ගණනාවක් පුරා අපොහොසත් වීම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අඛණ්ඩ ජාත්‍යන්තර අධීක්ෂණයක ඇති පැහැදිලි අවශ්‍යතාව අවධාරණය කරයි," යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.