ඉන්දීය A කණ්ඩායමට හිසරදයක් වූ සිනෙත් ජයවර්ධන තරගයට පෙර තිබූ මානසික පීඩනය අඩු කර ගත් හැටි

සිනෙත් ජයවර්ධන
Published
කියවීමේ කාලය: මිනිත්තු 5

දෝහාහි පැවැත්වෙන ආසියා කුසලාන 'රයිසින් ස්ටාර්ස්' තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී ඉන්දීය A කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග මීට දින කිහිපයකට පෙර පැවති තරගයේදී හයේ පහරවල් 28ක් සමගින් පන්දු 53කදී ලකුණු 204ක් රැස් කළ වෛභාව් සූර්යවංශිගේ පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන මෙම තරගය බොහෝ දෙනාගේ අවධානය දිනා තිබිණි.

පළමු කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක්

කාසියේ වාසිය දිනූ ඉන්දීය A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, වෛභාව් සූර්යවංශි සහ අභිෂේක් ෂර්මා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු වාර 08කදී ලකුණු 80ක් එක් කිරීමට සමත් වූහ.

ඉන්දීය ඉනිමේ 08 වන පන්දු වාරයේදී ජනිත් ලියනගේ, වෛභාව් සූර්යවංශිගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර, ඒ වන විට ඔහු පන්දු 27කදී ලකුණු 40ක් රැස් කර සිටියේ ය.

ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි තිලක් වර්මා දෙවන කඩුල්ල වෙනුවෙන් අභිෂේක් ෂර්මා සමග එක්ව ලකුණු 79ක සබඳතාවක් ගොඩනැඟී ය.

පන්දු 63කදී ලකුණු 78ක් රැස් කරමින් සිටි අභිෂේක් ෂර්මා දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත් වූ අතර, ඒ වන විට ඉන්දීය ඒ කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දු වාර 21.5කදී ලකුණු 159කට කඩුලු 02ක් ලෙස සටහන් විය.

ඉන්දීය A ඉනිමේ 30 වන පන්දු වාරයේ සිට 40 වන පන්දු වාරය අතර කාලයේදී තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එම පන්දු වාර 10දී ඉන්දීය පිතිකරුවන්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 40ක් පමණක් වන අතර, එහිදී කඩුලු 03ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

කෙසේ වුව ද, ෂබාස් අහමඩ් සහ තනුෂ් කෝටියාන් ඇතුළු පසුපෙළ පිතිකරුවන් එක්ව ඉන්දීය ඒ කණ්ඩායමේ අවසන් පන්දු වාර 10 තුළදී ලකුණු 81ක් රැස් කළහ. ඒ අනුව, ඔවුන් සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 08කට ලකුණු 317ක් රැස් කිරීමට සමත් වූ අතර, එහිදී ෂබාස් අහමඩ් පන්දු 48කදී නොදැවී ලකුණු 54ක් රැස් කළේ ය.

වෛභව් සූර්යවංශි පන්දුවට පහර දෙමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය ඉනිමේ 08 වන පන්දු වාරයේදී වෛභාව් සූර්යවංශිගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දීය පන්දු යවන්නන්ට අමතක නොවන තරගයක්

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලකුණු 318ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී ප්‍රහාරයක් එල්ල කළහ.

එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු වාර 21යි පන්දු 03කදී ලකුණු 174ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සිනෙත් ජයවර්ධන දැවී යන විට ඔහු පන්දු 70කදී ලකුණු 105ක් රැස් කර සිටි අතර, ඔහුගේ ඉනිමට හයේ පහරවල් 06ක් සහ හතරේ පහරවල් 10ක් ඇතුළත් විය.

සිනෙත් ජයවර්ධනගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි නිෂාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක් රැස් කළේ ය.

ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ද පන්දු 98කින් සිය ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 11ක් සහ හයේ පහරවල් 02ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 116ක් රැස් කර සිටි ලසිත් කෲස්පුල්ලේ දැවී යන විට ශ්‍රී ලංකා A ඉනිමේ ලකුණු පුවරුව දිස් වූයේ පන්දු වාර 35යි පන්දු 02කට ලකුණු 265ක් ලෙස ය.

කෲස්පුල්ලේගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක පවන් රත්නායක සහ නිෂාන් මධුෂ්ක තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක් එක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඒ, තවත් පන්දු 51ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි.

මෙම තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් දරුණු පසුබෑමකට ලක් වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කරුණක් විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව එල්ල කළ ප්‍රවේගකාරී ප්‍රහාරය හමුවේ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂතා සටහන් වූයේ, හර්ෂිත් රනා පන්දු ඕවර 07කට ලකුණු 61ක්, අර්ෂාඩ් ඛාන් පන්දු ඕවර 04කදී ලකුණු 46ක්, තනුෂ් කෝටියාන් පන්දු ඕවර 06කදී ලකුණු 48ක්, හර්ෂ් ඩුබේ පන්දු ඕවර 10කදී ලකුණු 56ක් සහ ෂහ්බාස් අහමඩ් පන්දු ඕවර 10කදී ලකුණු 60ක් වශයෙනි.

ඉන්දීය පිතිකරුවෙකු දවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සතුට සැමරූ අයුරු

'තරගයට කලින් මට පීඩනයක් තිබුණා'

ඉන්දීය A කණ්ඩායමට එරෙහිව ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට පාත්‍ර විය.

තරගයෙන් පසු අදහස් දක්වමින් සිනෙත් ජයවර්ධන පැවසුවේ, තමන් ඉන්දීය A කණ්ඩායමට එරෙහි තරගයට පෙර තරමක පීඩනයකින් සිටි බව ය.

"ඔව්, මේ තරගය මට ටිකක් පීඩනයක් ඇති කළ තරගයක් වුණා. මොක ද පසුගිය තරග තුනේදී ම මට ලකුණු රැස් කරන්න බැරි වුණා. ඒ නිසා මම මගේ ප්‍රධාන පුහුණුකරු එක්ක කතා කළා. ඔහු මගේ මානසිකත්වය හදා ගන්න මට උදව් කළා. ධනාත්මක මනසකින් පිටියට ගිය එක මට ගොඩක් උදව් වුණා.

ඔව්, මම ඒක ෆර්වීස් මහරූෆ්ටත් කිව්වා. මගේ පුහුණුකරුවන් මට උදව් කළා කියලා මම ඔහුටත් කිව්වා. ඔවුන් මට කිව්වේ මගේ ක්‍රීඩා විලාසය ගැන විශ්වාසය තියා ගන්න කියලා. අද ඒක සාර්ථක වුණා.

ඔවුන් කියලා තිබුණේ කෲස්පුල්ලේට යි මට යි සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන ආකාරයට ම පන්දුවට පහර දෙන්නත්, මූලික දේවල් නිවැරදිව කරන්නත් කියල යි.

මේක පිතිකරණයට ඉතා හොඳ තණතීරුවක් වුණා. ඉන්දීය කණ්ඩායම පිතිහරඹයේ යෙදුණු අවස්ථාවේදීත් ඒ බව පැහැදිලි වුණා. ඒ නිසා මගේ අදහස නම් මේක ඇත්තට ම ඉතා හොඳ තණතීරුවක් කියන එක යි," ඔහු කියා සිටියේ ය.

මේ අතර, ඉන්දීය A කණ්ඩායම සමග පැවති අවසන් පූර්ව තරගය නැරඹීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් මෙන් ම පකිස්ථාන සහ බංග්ලාදේශ ප්‍රේක්ෂකයෝ ද එක්ව සිටියහ.

තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට ආචාර කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයින්

ඉන්දීය A කණ්ඩායම සමග පැවති තරගයෙන් පසු අදහස් දැක්වූ ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක පවන් රත්නායක පැවසුවේ, මෙම තරගයේදී පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීම සතුටට කරුණක් බව ය.

"අද අපේ පිතිකරුවන් ඉතා හොඳින් ක්‍රීඩා කළා. මගේ අදහස නම් ලකුණු හඹා යන කණ්ඩායමට මේ තණතීරුව ඉතා හොඳ එකක් වුණා. ඒ අනුව කෲස්පුල්ලේ, සිනෙත් සහ නිෂාන් හොඳින් ක්‍රීඩා කළා. මම ගොඩක් සතුටු වෙනවා.

අපේ පිතිකරණ ඒකකය ගැන මට ඉතා සතුටු යි. තවත් තරගයක් ඉදිරියට තියෙනවා. ඒ නිසා අපි අපේ සාමාන්‍ය ක්‍රීඩා රටාව ගැන ම විශ්වාසය තියලා ඉදිරියට ක්‍රීඩා කරනවා.

දෙවැනි පවර්ප්ලේ එකේදී අපි අපේ දඟ පන්දු යවන්නන් ගැන විශ්වාසය තැබුවා. මගේ අදහස නම් රවිඳු සහ නිපුන් හොඳින් පන්දු යැවුවා.

හැම පිතිකරුවෙක් ම තමන්ගේ සාමාන්‍ය ක්‍රීඩා විලාසයෙන් ක්‍රීඩා කළා. විශේෂයෙන් සිනෙත් ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු තම ස්වභාවික ක්‍රීඩා රටාවෙන් ම පිතිහරඹයේ යෙදුණා."

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග අවසන් තරගය ක්‍රීඩා කරන්නේ කවුරුන් ද යන්න තීරණය කරන පකිස්ථාන A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර තරගය අද (නොවැ: 28) පැවැත්වීමට නියමිත ය.