අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනා මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Johnston Fernando | Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (සැප්: 04) අත්අඩංගුවට ගනු ලැබී ය.
ඒ, රජයට පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතුසහගත වාසියක් සිදුකර "දූෂණය" නම් වරද සිදුකිරීම හා ඒ සඳහා "ආධාර අනුබල දීම" යන චෝදනාව මත ය.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිල දී ගැනීමේදී, නිසි ප්‍රමිතීන් යටතේ අවම මිල ගණන් ඉදිරිපත් කරන ලද ආයතනයෙන් මිල දී නොගෙන, ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගම නම් ආයතනයෙන් මිල දී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50ක පාඩුවක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මෙහිදි බාහිර පාර්ශ්වයකට අයුතුසහගත වාසියක් සිදුකර "දූෂණය" නම් වරද සිදුකිරීම හා ඒ සඳහා "ආධාර අනුබල දීම" යන චෝදනාව මත හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගමේ හිමිකරු පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සතොස ආයතනයට අයත් දේපළ අවභාවිත කළ බවටත් චෝදනා
හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 2026 වසරේ ජනවාරි මාසයේදී ද අත්අඩංගුවට පත්විය.
ඒ, ඔහුගේ බාල පුත් ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු ද සමග ය.
මොවුන් අත්අඩංගුවට ගැනුණේ, සතොස ආයතනයට අයත් දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව ය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයට අයත් ලොරියක් ඔවුන්ට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා භාවිත කිරීම තුළින් රජයේ දේපළ අවභාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැරිණි.
ඊට අමතරව දැන දැන ම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා නීති විරෝධී ලෙස එතනෝල් බලපත්‍ර ලබා ගැනීම, බදු ගෙවීම පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශන පැවැත්වේ.
2015 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.
































