තරුණ පෙනුමක් ලබා ගැනීමට ඔබ ආහාරයට ගත යුත්තේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, iStock / Getty Images Plus
- Author, මෙලිසා හොගන්බූම්
- Role, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
සම යනු ශරීරයේ විශාලතම ඉන්ද්රිය වන අතර එය අපගේ ජීවිත කාලය පුරා ම පැවතිය යුතුය. අපට තරුණ පෙනුමක් ලබා දීමට අමතරව, හොඳින් රැකබලා ගත් සමක් අපගේ සමස්ත සෞඛ්‍යයට සක්‍රීයව ප්‍රයෝජනවත් වේ.
නමුත් අපගේ ශරීරය සහ බාහිර ලෝකය අතර පවතින බාධකය ලෙස, අපගේ සම බොහෝ හානිවලට නිරාවරණය වේ. වායු දූෂණය, ඕසෝන් ස්ථරය සහ වෙනස්වන දේශගුණය ඇතුළු බොහෝ පාරිසරික සාධක සම වියපත් වීමට දායක වන බව පාරිසරික වෛද්‍ය විද්‍යාව සඳහා වූ ලයිබ්නිස් පර්යේෂණ ආයතනයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්ය ජීන් කෘට්මන් පවසයි.
"දශක ගණනාවක් පුරා අපි හිතුවේ පාරජම්බුල කිරණ (UV) පාරිසරික වශයෙන් ඇතිවන සම වියපත්වීමට බලපාන ප්‍රධාන හේතුව බව, මේක නිවැරදි නැහැ කියන එක අපි දැන් දන්නවා" කෘට්මන් පවසයි.
පාරජම්බුල කිරණ යනු සූර්යයාගෙන් ලැබෙන ශක්ති විශේෂයකි.
"ස්වාභාවික හිරු එළිය තුළ ඇති අනෙකුත් තරංග ආයාමයන් වියපත්වීමට දායක වෙන්න පුළුවන්, උදාහරණයක් ලෙස, දෘශ්‍ය ආලෝකය සහ අධෝරක්ත කිරණ." උෂ්ණත්වය වැඩිවීම පවා මේ ක්‍රියාවලියට දායක විය හැකි බව ඔහු පවසයි.
වයසට යාම තවත් සාධකයකි. අපි වයසට යනවිට, සමට එහි ව්‍යුහය ලබා දෙන සහ එය ස්ථිරව තබා ගැනීමට උපකාරී වන ප්‍රෝටීනය වන කොලජන් ක්‍රමයෙන් අපට අහිමි වේ.
ඔබේ සම වඩා සෞඛ්‍යය සම්පන්නව තබා ගැනීමට උපකාරී වන අප බොහෝ දෙනෙකු විසින් නොසලකා හරින සාධකයක් වන්නේ අප ලබා ගන්නා ආහාරයි. සෞඛ්‍ය සම්පන්න මේදවල සිට පැසවන ලද ආහාර දක්වා වූ ආහාර නිරෝගී සමකට උදව් විය හැක.
1. වර්ණවත් පලතුරු සහ එළවළු
අපගේ සම නිරෝගීව තබා ගැනීම සඳහා ශාක පදනම් කරගත් ආහාර බහුල වේලක් වැදගත් බවට සිදු කළ පර්යේෂණ රැසක් ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු නිසා, පරිසර දුෂණයෙන් හා හිරු එළියෙන් සමට වන හානිවලින් ආරක්ෂා වීමට වර්ණවත් පලතුරු සහ එළවළු ආහාරයට ගැනීම උපකාරි වේ.
කැරට්, බෙල්පෙපර් සහ තක්කාලි ලුටීන්, ලයිකොපීන්, බීටා-කැරටින් ඇතුළු කැරටනොයිඩ් වලින් පොහොසත් ය. "ඒවා මේද පටක වල ගබඩා වී තිබෙන නිසා පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරනවා," ජෙනා හි ෆ්රෙඩ්රික් ෂිලර් විශ්වවිද්‍යාලයේ ආහාර රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෝල්කර් බෝම් පවසයි.
සන්ක්‍රීම් වැදගත් වන අතරම, බෝම් පවසන්නේ මිනිසුන් එය සෑම දිනකම ආලේප කරනවා වෙනුවට වැඩි වේලාවක් එළිමහනේ රැඳී සිටින විට පමණක් ආලේප කිරීමට පෙළඹෙන බවයි. කැරටනොයිඩ් බහුල ආහාර නිතිපතා පරිභෝජනය "වසර පුරාම සූර්යයාගේ පාරජම්බුල (UV) කිරණවලින්, SPF 2–3 කට සමාන ස්ථාවර ආරක්ෂාවක්" එමඟින් සපයන බව ඔහු පවසයි.
තක්කාලි හෝ කැරට්වලට ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද කුඩා ප්‍රමාණයක් එකතු කිරීමෙන් ශරීරයට මෙම ප්‍රතිඔක්සිකාරක අවශෝෂණය කර ගැනීම පහසු කිරීමට උපකාරී වේ.
බීටා-කැරටින් ද විටමින් A බවට පරිවර්තනය කළ හැකි අතර එය සමේ සෛල වර්ධනයට සහ අපගේ සම ආසාදන වලින් ආරක්ෂා කිරීමට වැදගත් වේ.
කැරටනොයිඩ්වලට සමේ සෛල වලට හයුලරොනික් අම්ලය නිපදවීමට උපකාරී විය හැක. මෙම අණුව සමේ තද බව සහ නම්‍යතාවය පවත්වා ගැනීමට උපකාරී වන අතර මොයිස්චරයිසර් සහ "වියපත් වීම වැළැක්වීමේ" ක්‍රීම් රැසක දක්නට ලැබේ.
කොලජන් වැඩි කිරීමට ද එම වර්ණක උපකාරී විය හැකිය. සුළු පරිමාණ අධ්‍යයනයකදී යෝජනා කෙරුණේ මාස දහයක් දිනපතා කැරටනොයිඩ් අතිරේකයක් ලබා ගත් කාන්තාවන්ගේ සමේ කොලජන් සහ ඉලාස්ටින්වල දියුණුවක් පෙන්නුම් කළ අතර, එය කොලජන් අඩුවීම වැළැක්වීමට උපකාරී විය හැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවසාන වශයෙන්, වර්ණවත් පලතුරු සහ එළවළු බහුලව ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇති සමක "දිදුලන බව" ඇති කරන බව සොයාගෙන ඇත.
ප්රතිලාභ ලබා ගැනීම සඳහා, අපි මෙම ආහාර නිරන්තරයෙන් අනුභව කළ යුතු බව කෘට්මන් පවසයි.
"පාරිසරික බලපෑම්වලට එරෙහිව ආරක්ෂාවීමට ඔබ කුමන ප්‍රතිඔක්සිකාරකයක් ආහාරයට ගනු ලැබුවද, සාමාන්‍යයෙන් මැනිය හැකි බලපෑමක් ඇති වීමට සති අටේ සිට දහයක් දක්වා කාලයක් ගත වනවා."
අඹ, අප වයසට යන විට අපගේ සම තරුණ පෙනුමෙන් තබා ගන්නා බව සොයා ගෙන ඇත.
කැලිෆෝනියා ඩේවිස් විශ්වවිද්‍යාලයේ විවියන් ෆැම් විසින් මගපෙන්වන ලද ආර්තවහරණයෙන් පසු කාන්තාවන් පිළිබඳ සිදු කළ අධ්‍යනයකදී සහභාගිවන්නන් සති 16 ක් තුළ සතියකට අවස්ථා 04කදී අඹ ග්‍රෑම් 85 (අවුන්ස 2.9) ක් අනුභව කළහ. මෙය දැනට පවතින සම රැළිවිමේ ප්‍රමාණය මෙන්ම අලුතින් සම රැළිවීම අඩු කරන බව පර්යේෂකයෝ සොයා ගත්හ.
තවත් පර්යේෂණ අවශ්‍ය නමුත් මෙහි ඇති වාසිදායක බලපෑම් සඳහා කැරටනොයිඩ මෙන්ම ප්‍රතිඔක්සිකාරකයන් වන ෆ්ලේවනොයිඩ සහ මැන්ගිෆෙරින් හේතු විය හැකි බව පර්යේෂකයෝ අනුමාන කළහ.
පුදුමයට කරුණක් නම්, දිනකට අඹ ග්‍රෑම් 250 (අවුන්ස 8.8) ක් පමණ ආහාරයට ගැනීමෙන් සම රැළිවීම වැඩි වන බව අධ්‍යයනයෙන් සොයා ගැනිණි. පර්යේෂණයේ සම - කර්තෘවරුන්ගෙන් අයෙකු වන කැලිෆෝනියා ඩේවිස් විශ්වවිද්‍යාලයේ පෝෂණ මහාචාර්ය රොබට් හැක්මන් පවසන්නේ එලෙස සිදු වන්නේ ඇයිදැයි පැහැදිලි නොමැති නමුත් එය අඹ වල පවතින ඉහළ ස්වාභාවික සීනි අන්තර්ගතය නිසා විය හැකි බවයි.
"අපේ යෝජනාව තමයි ඒ සීනි සමෙහි අණු වලට යම් හානියක් සිදු කරන බව," හැක්මන් පවසයි. අධ්‍යයනය සුළු වුවද, තවමත් ප්‍රකාශයට පත් කර නොමැති පසු විපරම් පර්යේෂණ ප්‍රතිඵල තහවුරු කළ බව ඔහු පවසයි.
අඹ සහ සිට්රස් පලතුරු විටමින් C වලින් ද පොහොසත් ය. මෙම විටමින් කොලජන් නිපදවීමට අපට උපකාරී වන අතර හිරු එළියෙන් සිදුවන හානියෙන් අපගේ සම ආරක්ෂා කළ හැකි ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරයි.
අධ්‍යයනවලින් යෝජනා කරන්නේ විටමින් C සමේ සජලනය වැඩිදියුණු කිරීමට සහ වර්ණක අඩු කිරීමට උපකාරී විය හැකි බවයි. මේ හේතුව නිසා, විටමින් C සම රැකගැනීමේ නිෂ්පාදනවල සහ අතිරේකයක් ලෙස බහුලව භාවිතා වන බව කෘට්මන් පවසයි.
2. සෞඛ්‍යට හිතකර මේද
ඇට වර්ග බහුලව ආහාරයට ගැනීම අපගේ සමට ප්‍රයෝජනවත් විය හැකිය.
අහඹු ලෙස කණ්ඩායම් වෙන් කර සිදු කළ කුඩා අධ්‍යයනයකින් හෙළි වූයේ සති 16 ක් පුරා ආමන්ඩ් සුළු ආහාරයක් ලෙස ආහාරයට ගත් අයට, වෙනත් සුළු ආහාරයක් ගත් අයට සාපේක්ෂව මුහුණේ රැලි වැටීම් පෙනෙන්නට තිබීම අඩු බවයි.
ඇට වර්ගවල බහුලව අඩංගු විටමින් Eවලට, සෛල හානිවලින් සහ වියපත්වීමෙන් සම ආරක්ෂා කළ හැකිය. මෙම විටමින් ඌනතාවය සමේ සෞඛ්‍යයට බලපෑ හැකි අතර, තුවාල සුව වීම මන්දගාමී විය හැකිය. ආමන්ඩ්, හේසල්නට්, පයින් ඇට සහ විවිධ ඇට වර්ග වලින් ගන්නා තෙල් වර්ග ගුණාත්මක මූලාශ්‍ර වේ.
ඇට වර්ග වල ඔමේගා-6 මේද අම්ල ද අඩංගු වන අතර එයට සමේ ආරක්ෂක ස්ථරය ශක්තිමත් කර සම වඩාත් තෙතමනයෙන් යුතුව තබා ගත හැක.
අපගේ සමට සුදුසු බව දන්නා තවත් සෞඛ්‍ය සම්පන්න මේද වර්ගයක් වන්නේ තෙල් සහිත මාළු සහ ඇල්ගී වල දක්නට ලැබෙන ඔමේගා -3 වේ.
ඔමේගා-3 බහුල මාළු අතර සැමන්, සාඩින් සහ මැකරල් ඇතුළත් වන අතර කුඩා අධ්‍යයනවලින් පෙනී යන්නේ ඒවාට හිරු එළියට සම දක්වන සංවේදීතාව අඩු කළ හැකි බැවින් හිරු එළියෙන් සිදුවන හානිවලින් අපව ආරක්ෂා කිරීමට උපකාරී විය හැකි බවය. මේද සහිත මාළු ශරීරයේ තිබෙන කොලජන් ආරක්ෂා කිරීමට සහ ප්‍රදාහය අඩු කිරීමට උපකාරී වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
3. අපගේ ආහාර ජීරණ පද්ධතියට හිතකර ආහාර
අපි නැවුම් එළවළු, ඇට වර්ග වලින් පොහොසත් විවිධ ආහාරවලින් සමන්විත දෑ ආහාරයට ගන්නා විට, අපගේ ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ට වාසි සැලසෙයි. අපගේ සමට ද එය වාසියකි.
එයට හේතුව අපගේ ආහාර මාර්ගයේ සෞඛ්‍යයමත් බව සහ සම සංකීර්ණ ලෙස සම්බන්ධ වී ඇති නිසා ය. පර්යේෂකයන් මෙම සම්බන්ධතාවය "ආහාර ජීරණ පද්ධතිය සහ සම අතර ඇති සහ සම්බන්ධය" ලෙස හඳුන්වයි.
අප විවිධ වර්ගයේ ශාකමය ආහාර ගන්නා විට අපගේ ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ප්‍රදාහ නාශක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති සංයෝග පිට කරයි. මේවා අපගේ සමට ද බලපෑම් එල්ල කරන බව හැක්මන් පවසයි.
ආහාර මාර්ගයේ සිටින සෞඛ්‍ය සම්පන්න ක්ෂුද්රජීවයකට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහය වීම මගින් සමේ තත්ත්වයන් ද වැඩිදියුණු කළ හැකිය.
මෙම ප්රතිලාභ ලබා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ ශාකමය ආහාර පුළුල් පරාසයක් ආහාරයට ගැනීමයි. ඊට පලතුරු සහ එළවළු, ධාන්‍ය වර්ග, රනිල කුලයට අයත් බෝග, නිවුඩ්ඩ සහිත ධාන්‍ය, ඖෂධ පැළෑටි සහ කුළුබඩු ඇතුළත් වේ.
මෙය ආතතිය අඩු කිරීමට, නින්ද වැඩි දියුණු කිරීමට, කැසීම සහ වේදනාත්මක වියළි පොතු සහිත සමකට හේතුවන සොරයිසිස් වැනි සමේ රෝග තත්ත්වයන්ගෙන් අපව ආරක්ෂා කරයි.
ගෝවා, කිම්චි, කොම්බුචා හෝ යෝගට් වැනි පැසවීමට ලක් කළ ආහාර අපගේ ආහාර මාර්ගයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් පෝෂණය කිරීම සඳහා ද විශේෂයෙන් වාසි සහගත වේ.
ඔබට කිසිවිටෙකත් සදාකාලිකව වයස අවුරුදු 30 ක පෙනුමක් නොතිබෙනු ඇත. නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමෙන් ඉදිරි වසර කිහිපයේදී ඔබේ සම නීරෝගීව තබා ගැනීමට ඔබට හැකිවනු ඇත. සන්ස්ක්‍රීන් භාවිතා කිරීම ද වැදගත් වේ.


































