හිටපු ඇමති ප්‍රියංකරට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

ප්‍රියංකර ජයරත්න විලංගු දමා රැගෙන යන අයුරු දක්වෙන ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මැයි පෙළපාළියකට සහභාගී වූ සිය ආධාරකරුවන්ට ශ්‍රී ලංකා කේටරින් සමාගමේ මුදලින් මාරවිල හෝටලයක සාදයක් පැවැත්වීමෙන් රජයට රුපියල් ලක්‍ෂ තුන හමාරකට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (සැප්: 01) වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේ ය.

මහජන නියෝජිතයන් වෙත පැවරි ඇති වගකීම් ඉටුනොකර විත්තිකරු සිය පෞද්ගලික අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා රජයේ මුදල් වැය කර ඇති බව පෙනී යන හෙයින් එවැනි වැරදි කරන මහජන නියෝජිතයන් අධෛර්යවත් කරන ආකාරයේ දඬුවම් දීමට තම අධිකරණය පසුබට නොවන බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් කියා සිටියේ ය.

ඒ අනුව, විත්තිකරුට වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේ ය.

මීට වසර 12කට පෙර කළ වරදක් සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු වූ චෝදනා දෙක සඳහා රුපියල් ලක්‍ෂ 02ක දඩ මුදල් පැනවූ විනිසුරුවරයා එම දඩ මුදල් නොගෙවුවහොත් සිරදඬුවම් කාලයට අමතරව තවත් වසරක කාලයක සිරදඩුවමක් නියම කළේ ය.

පාදක වූ සිද්ධිය කුමක් ද?

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි 2014 වසරේදී රජයට අයත් ශ්‍රී ලංකා කේටරින් සමාගමෙන් රුපියල් 330,000ක මුදලක් මරවිල 'ගම්බඩ කේටරර්ස්' නමැති පෞද්ගලික ආයතනයකට ගෙවීමට ශ්‍රී ලංකා කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කිරීම, ශ්‍රී ලංකා කේටරින් සමාගමෙන් රුපියල් 330,000 ක මුදලක් මරවිල 'ගම්බඩ කේටරර්ස්' නමැති පෞද්ගලික ආයතනයකට ගෙවීමෙන් රජයට රුපියල් 330,000 ක පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයේදී විත්තිකරු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේදී එනම් 2014 වසරේ කොළඹදී පැවති මැයි දින පෙළපාළියට ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ සිට පැමිණී ආධාරකරුවන් පිරිසකට සහ දේශපාලන කටයුතු සඳහා සහභාගී වූ ආධාරකරුවන්ට මාරවිල 'ගම්බඩ කේටර්ස්' නමැති පෞද්ගලික ආයතනයක සාදයක් පවත්වා ඇති බවත් ඒ සඳහා 'ගම්බඩ කේටර්ස්' ආයතනයට ගෙවිය යුතු රුපියල් රුපියල් 330,000ක මුදල එම ආයතනයට ගෙවන ලෙස ශ්‍රී ලංකා කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කර අදාළ මුදල් ගෙවීමට සලස්වා ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා දෙක ම පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇති බවට තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අල්ලස් පනත යටතේ ගොනු කර ඇති දූෂණය සහ වරදට පෙළඹවීම යන චෝදනා දෙකට ම වරදකරු බවට තීරණය කළේ ය.

ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලීමක්

ඒ අවස්ථාවේදී පැමිණීලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් විත්තිකරු වරදකරු කෙරුණු අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දැක්වෙන 'දූෂණය' නමැති චෝදනාව සදහා වසර 10කට නොඅඩු සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක් දක්වා වූ දඩයක් නියම කිරීමට හැකියාව ඇතැයි කියා සිටියේ ය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින් වයෝවෘද්ධ වියේ පසුවන තම සේවාදායකයාගේ භාර්යාව ද රෝගී තත්ත්වයෙන් පසුවන්නේ යැයි සඳහන් කළේ ය.

තම සේවාදායකයාගේ දරුවන් ද විදේශ රටවල ජීවත්වන බවත්, තම සේවාදායකයාගේ දෑස් ජංගම දුරකතනයවත් බැලීමට නොහැකි වන අයුරින් රෝගී වී ඇති බවත් කී ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඔහු පත්ව සිටින තත්ත්වය සලකා තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේ ය.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහජන නියෝජිතයෙකු වන විත්තිකරුට විශාල වගකීම් ප්‍රමාණයක් පැවරී ඇති බවත්, විත්තිකරු වෙත පැවරී ඇති එම වගකීම් විත්තිකරු නිසි ලෙස ඉටුකර නොමැති බවත්, තම පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා මහජන භාරය විත්තිකරු වැය කර ඇති බව පෙනී යන බවත් විනිසුරුවරයා තීන්දුව දෙමින් සඳහන් කළේ ය.

එවැනි ආකාරයේ වැරදි කරන අනෙකුත් මහජන නියෝජිතයන් ද අධෛර්යවත් කරන ආකාරයේ දඬුවම් දීමට මෙම උසාවිය පසුබට නොවන බවත් පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කළේ ය.