ජෙෆ්රි එප්ස්ටීන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට 'ඉඟි'

Billionaire Jeffrey Epstein in Cambridge, MA on 9/8/04. Epstein is connected with several prominent people including politicians, actors and academics. Epstein was convicted of having sex with an underaged woman. (Photo by Rick Friedman/Rick Friedman Photography/Corbis via Getty Images)
    • Author, ටොම් මැක්ආතර්
    • Role, බීබීසී ප්‍රවෘත්ති
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

මෙම ලිපියේ සියදිවි නසාගැනීම් පිළිබඳ කම්පනයට පත් විය හැකි තොරතුරු ඇතුළත් වේ.

ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටීන් බන්ධනාගාරයේදී මිය ගියේ සියදිවි නසා ගැනීමකින් නොවන බවත් එය ඝාතනයක් බවත් විශ්වාස කරන බව අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු පවසා තිබේ.

නිව්යෝර්ක් නගරයේ වෛද්‍ය පරීක්ෂකවරයාගේ ලිපිගොනුව සමාලෝචනය කිරීමෙන් පසු බීබීසී නිව්ස්නයිට් වෙත අදහස් දක්වමින් මහාචාර්ය මයිකල් ෆ්‍රීමන් පැවසුවේ, එප්ස්ටීන් පිටුපසින් ගෙළ සිරකර මරා දමා ඇති බව ය.

2019දී ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණයෙන් පසු මෘත ශරීර පරීක්ෂණය සිදු කළ වෛද්‍ය පරීක්ෂකවරයා, ඔහුට සිදුවී තිබූ තුවාල සියදිවි නසා ගැනීමකට අනුකූල බවත්, එය ඝාතනයක් වූයේ නම් සාමාන්‍යයෙන් දක්නට ලැබිය යුතු තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සහ කිරීමේදී ඇති වන තුවාල පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් නිගමනය කළේ ය.

ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී එප්ස්ටීන් 2019 අගෝස්තු 10 වන දින නිව් යෝර්ක් බන්ධනාගාරය තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

එප්ස්ටීන්ගේ මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේ ප්‍රධාන වෛද්‍ය පරීක්ෂකවරිය වූ වෛද්‍ය බාබරා සැම්ප්සන්, එප්ස්ටීන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බව තීරණය කළ අතර, ඇය මීට පෙර මෙසේ පැවසුවා ය: "මිස්ටර් එප්ස්ටීන්ගේ මරණයට හේතුව සහ ආකාරය පිළිබඳ අපගේ තීරණය පිටුපස මම ස්ථිරව සිටිනවා."

මිනසෝටාහි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සිද්ධිය ඇතුළුව, එක්සත් ජනපදයේ පොලිස් භාරයේ සිටියදී සිදුවන මරණ සම්බන්ධ නඩුවලදී, නීතිපතිවරුන් වෙනුවෙන් මරණයට හේතුව තීරණය කිරීමේ විශේෂඥයෙකු ලෙස ෆ්‍රීමන් කටයුතු කර ඇත.

සඳුදා සවස ලන්ඩනයේදී ඔහුගේ සොයාගැනීම් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු සිය පර්යේෂණ සහ නිව් යෝර්ක් නගරයේ වෛද්‍ය පරීක්ෂකවරයාගේ ලිපිගොනු ප්‍රකාශයට පත් කළේ ය.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මළ සිරුර නොදුටු ෆ්‍රීමන්, තම සහෝදරයා ඝාතනය කර ඇති බවට සැමවිට ම තර්ක කළ එප්ස්ටීන්ගේ සහෝදරයා වන මාර්ක් එප්ස්ටීන් ඔහුට ලබා දුන් පරීක්ෂක වාර්තාවේ ලිපිගොනු සහ ඡායාරූප මත පදනම්ව ඔහුගේ නිගමනවලට එළඹියේ ය.

ෆ්‍රීමන් පැවසුවේ, ඔහුගේ විශ්ලේෂණය ස්වාධීන බවත් මාර්ක් එප්ස්ටීන් විසින් ඔහුට මුදල් ගෙවා නොමැති බවත්ය. ඔහුගේ පර්යේෂණය සම-සමාලෝචනය කර නොමැත.

එප්ස්ටීන්ට පහරදීමක් සිදුවූ බවට ඉඟි කරන ලක්ෂණ කිහිපයක් ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු බීබීසීයට පැවසීය. ඒ අතර, එප්ස්ටීන්ගේ වම් උරහිසේ ඇති වූ ගැඹුරු රුධිර වහනයක් සහ මුහුණට පහර දීමකින් ඇති විය හැකි තුවාල ද තිබෙන බව ඔහු සඳහන් කළේ ය.

ෆ්‍රීමන් පැවසුවේ, සාක්ෂිවලට අනුව එප්ස්ටීන්ගේ ගෙළට තොණ්ඩුවක් වැනි දෙයක් යොදා හිර කිරීමකට ලක් කර ඇති බවට වැඩි ඉඩක් පවතින බවත් අනතුරුව, ඔහුගේ සිරුර තට්ටු ඇඳේ ඉහළ කොටසෙන් එල්ලා තැබීමට ද එම තොණ්ඩුවම භාවිත කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් ය.

එප්ස්ටීන්ගේ ගෙළේතොණ්ඩුවේ සලකුණට ඉහළින් නියපොතු සලකුණු තිබූ බවක් පෙනෙන්නට තිබූ බව ඔහු පැවසීය. එය "විශේෂයෙන් පිටුපසින් සිට ගෙළ සිර කිරීමකට ලක් කිරීමක් සහ එම අවස්ථාවේදී ගොදුර බවට පත් වූ පුද්ගලයා ගෙළ වටා තිබූ තොණ්ඩුව ඉවත් කිරීමට උත්සහ කිරීමක් සමග ගැළපෙන ලක්ෂණයක්" බව ද ඔහු සඳහන් කළේය.

"තුවාල සහ සිරුර සොයාගත් ආකාරය එකිනෙකට ගැළපෙන්නේ නැහැ. එවිට ඉතිරි වන්නේ එක ම පැහැදිලි කිරීමක් පමණයි. ඒ ඔහුගේ මරණය ඝාතනයක ප්‍රතිඵලයක් බවයි," යැයි ඔහු පැවසීය.

එවකට මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා, එප්ස්ටීන්ගේ සිරුරේ තිබූ තුවාල ඝාතනයකදී ගෙළ සිර කිරීමකට වඩා, එල්ලී සියදිවි නසා ගැනීමකට වඩාත් ගැළපෙන බවත්, එය එවැනි මරණයක් බවට ඉඟි කරන බවත් අධිකරණ දෙපාර්තමේන්තුවේ පොලිස්පති කාර්යාලයට පැවසීය. එමෙන් ම, ගෙළ සිර කිරීමකට ලක් වූ පුද්ගලයන්ගේ සිරුරුවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන, තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සහ කිරීමේදී ඇතිවන තුවාල පිළිබඳ කිසිදු සාක්ෂියක් නොතිබූ බව ද ඔහු සඳහන් කළේ ය.

එප්ස්ටයින්ගේ ඡායාරූප එකතුවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, එප්ස්ටීන් ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී ඔහුගේ සිර මැදිරිය තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී

අත්අඩංගුවේ සිටියදී එල්ලී මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකදී, සිරුර පහළට ගැනීමට පෙර එහි ඡායාරූපයක් ලබාගෙන තිබිය යුතු බව තමන් අපේක්ෂා කරන බව ෆ්‍රීමන් පැවසීය.

එප්ස්ටීන් බන්ධනාගාරයේ සිටි කාලය සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයට අනුව, එප්ස්ටීන් සොයාගත් බන්ධනාගාර නිලධාරියා වහා ම සහය සඳහා තවත් නිලධාරියෙකු කැඳවා තිබේ. අනතුරුව, ඔවුන් එප්ස්ටීන්ගේ සිරුර බිමට පහත් කර ඔහුගේ පණ යළි ලබා ගැනීමට උත්සහ කර තිබේ.

අධිකරණ දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව, එප්ස්ටීන් මියගොස් ඇත්තේ සියදිවි නසා ගැනීමේ අවදානමක් හේතුවෙන් කෙටි කාලයක් නිරීක්ෂණයට ලක් කර මාසයකට පසුව ය.

සාක්ෂි පිළිබඳ ඔහුගේ අර්ථ නිරූපණය නිවැරදි නම් එප්ස්ටයින් ඝාතනය කළේ, කවුරුන්දැයි ඇසූ විට, ෆ්‍රීමන් පැවසුවේ ඔහුට "කිසි ම අදහසක් නොමැති" බවයි.

"ඒ සම්බන්ධයෙන් මට කිසිදු අදහසක් නැහැ. මා සිදු කර ඇති කිසිදු විමර්ශනයක කොටසක් ලෙස එය සැලකෙන්නේ නැහැ," යැයි ඔහු පැවසීය.

තමන්ගේ අදහස් කුමන්ත්‍රණ න්‍යායන්ට නැඹුරු වී තිබේදැයි විමසමින් අභියෝග කළ විට, ෆ්‍රීමන් මෙසේ පැවසීය: "මගේ වචන පමණක් විශ්වාස කරන්න එපා, ඒ පිළිබඳව හැමෝට ම සොයා බලා තමන්ගේ ම නිගමනයකට එළඹීමට ඉඩ දෙන්න යැයි කීමට මට හැකියාව තිබෙනවා."

"මා ගෙළ සිර කිරීමක් සිදුවූ බවට පෙනෙන දෙයක් නිරීක්ෂණය කර, මෙය ගෙළ සිර කිරීමක් මිස එල්ලී සියදිවි නසා ගැනීමක් විය නොහැකි බව පවසන නිසා මා තවමත් කුමන්ත්‍රණ න්‍යායවාදියෙකු ලෙස ඔබ සිතනවා නම්, මා වැරදී ඇත්තේ කොතැනදැයි පෙන්වා දෙන්න," යැයි ඔහු පැවසීය.

"ඒ සඳහා මම සම්පූර්ණයෙන් ම විවෘතයි. මම ශාස්ත්‍රීය පසුබිමක් ඇති අයෙක්. කරුණු මත පදනම්ව ඉදිරිපත් කරන විවිධ අදහස් සහ න්‍යායන්ට සවන් දීමට මම කැමැත්තෙන් සිටිනවා," යැයි ඔහු පැවසීය.

2008 දී බාලවයස්කාර දැරියක ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට එප්ස්ටීන් වරදකරු වූ අතර, ඒ සඳහා ඔහු ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි කරන ලදී. අභියාචනා නඩුවක ප්‍රතිඵලයක් ලෙස ඔහු බරපතළ සිර දඬුවමකින් ගැලවිණි.

ඉන් වසර 11කට පසු, බාලවයස්කාර දැරියන් යොදාගනිමින් ලිංගික ජාවාරම් ජාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එප්ස්ටීන්ට චෝදනා එල්ල විය. 2019 වසරේදී නඩු විභාගයක් පැවැත්වෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු, නිව් යෝර්ක් නගරයේ පිහිටි මෙට්‍රොපොලිටන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේදී මියගොස් සිටියදී සොයා ගැනිණි.