ක්‍රිෂ් නඩුවට අදාළ නාමල් රාජපක්ෂගේ ඇමුණුමක් අස්ථානගත වී ඇතැයි අධිකරණයට දන්වයි: විනිසුරුවරිය දුන් නියෝගය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාර දී තිබේ දැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ජනවාරි මස 18 වන දා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (නොවැ. 16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කළේ ය.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මෙම නියෝගය නිකුත් කළා ය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
සිතාසි භාරදීම ගැන අධිකරණයෙන් විමසීමක්
එහිදී මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙන ඉන්දියානු ජාතිකයින් දෙදෙනාට සිතාසි භාර දී තිබේදැයි පැමිණිල්ලෙන් ප්‍රශ්න කළා ය.
ඊට ප්‍රතිචාර දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:
" ස්වාමීනි.. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කරලා තිබෙන ඉන්දියානු ජාතිකයින් දෙදෙනාට අධිකරණය විසින් නිකුත් කළ සිතාසිය අධිකරණ අමාත්‍යංශය හරහා විදේශ කටයුතු අමාත්‍යංශයට භාර දීම සිදු වුණා. ඉන්පසුව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එම සිතාසි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාර දී තිබෙනවා.
"ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ගැන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රතිචාරයක් ලැබී නැහැ. එම සිතාසියේ සඳහන් වන්නේ අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙසයි. නමුත් අද දින දක්වා එම සිතාසිය භාර දී ඇති බවට තොරතුරු ලැබී නොමැති නිසා අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට යළි සිතාසි නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා."
එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අමතමින් මෙලෙස පැවසුවා ය:
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"නැවත සිතාසි නිකුත් කළහොත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ චක්‍රලේඛ සහ අධිකරණ අමාත්‍යංශයේ මාර්ගෝපදේශ අනුව නඩු විභාගය මාස තුන හතරකින් පමණ කල් දැමීමට සිදුවෙනවා. වෙනත් ක්‍රමවේදයකින් මෙම සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවීමට හැකියාවක් නැද්ද?"
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: "ස්වාමීනී... මුල් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සාක්ෂිකරුවන් සමග සම්බන්ධතා පවත්වා තිබෙනවා. නමුත් දැන් ඔවුන් සම්බන්ධ කර ගත නොහැකි බව තමයි ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මෙම සිතාසි සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ඉන්දියානු තානාපති කාර්යාලයෙන් විමසා දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා."
එම අවස්ථාවේදී මහාධිකරණය විනිසුරුවරිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන්, "මෙම සොයා බැලීම සිදුකිරීමේ වගකීම භාර ගන්නේ කවුදැයි?" ප්‍රශ්න කළා ය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සොයා බැලීම සිදුකරන බව ය.
ඒ අනුව, සාක්ෂිකරුවන් දෙදෙනා වෙත නිකුත් කළ එම සිතාසි සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස මහාධිකරණ විනිසුරුවරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කළා ය.
අල්ලස් කොමිසමට අවශ්‍ය වූ නඩු ගොනුවේ ලේඛනය
ඉන් අනතුරුව තවදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා:
"ස්වාමීනී... මෙම නඩු ගොනුවේ අන්තර්ගත ලේඛනයක් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අවශ්‍ය වී තිබෙන බව එම කොමිසම දැනුම් දී තිබෙනවා. එම ලේඛනය මෙම විත්තිකාර නාමල් රාජපක්ෂ විසින් ලියන ලද්දක් ද? යන්න තහවුරු කිරීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ අනුව අදාළ ලේඛනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසමේ ගයාන් අබේරත්න නමැති නිලධාරියාට භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් මා ඉල්ලා සිටිනවා."
එම අවස්ථාවේදී නඩු ගොනුව පරීක්ෂා කළ විනිසුරුවරිය, "මෙම නඩු ගොනුවට අදාළ විමර්ශන සිදු කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට නිකුත් කළ හැකියි. මේ සම්බන්ධයෙන් මහේස්ත්රාත්තුමා නියෝගයක් ලබා දී තිබෙනවා ද?" යනුවෙන් ප්‍රශ්න කළා ය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: "ඔව්. ස්වාමීනී... එම නියෝගයේ පිටපත මා අධිකරණයට ඉදිරිපත් කරනවා."
එම නියෝගය පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරිය: "මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. දැන් මේ අධිකරණය රෙජිස්ට්‍රාර්වරිය කටයුතු කළ යුත්තේ මගේ නියෝගය අනුව ද? එසේත් නැත්නම් මහේස්ත්රාත්වරයාගේ නියෝගය අනුව ද? යනුවෙන් විමසුවා ය.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහේස්ත්රාත්වරයාගේ නියෝගය නොසලකා හැරීමට මෙම අධිකරණයට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතර ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසීය: "ස්වාමීනි... මේ ඉල්ලා සිටින ලේඛනය ඉතා ම වැදගත් ලේඛනයක්. එහි ඇමුණුමක් තිබුණා. නමුත් දැන් පැමිණිල්ල කියනවා එවැනි ඇමුණුමක් නැහැ කියල. ඒ නිසා මෙම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන අවස්ථාවට විත්තියේ නීතිඥවරයෙකුටත් ඊට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. මොක ද මේ ඇමුණුම නඩු ගොනුවේ තිබෙනවා ද? කියලා බැලිය යුතුයි."
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය අද දින සේප්පුවේ පවතින මෙම නඩුවේ ගොනුව විවෘත කර විමර්ශන කටයුතු සඳහා අල්ලස් කොමිසම විසින් ඉල්ලා සිටින ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම අවස්ථාවට විත්තියේ නීතිඥවරයෙකුට සහභාගි වීමට අවසර දෙන ලෙසත් එහි රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා ය.
ඉන් අනතුරුව සිතාසි භාර දීමේ කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම නඩුකරය ජනවාරි මස 18 වන දා කැඳවන ලෙස නියෝග කළා ය.
එදින විත්තිකරු රිමාන්ඩ් භාරයේ පසු වුවහොත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ය.
එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම නඩුකරය කඩිනමින් විභාග කිරීමට කලින් පැමිණිල්ල තුළ උනන්දුවක් තිබුණත් එම උනන්දුව දැන් හීන වී තිබෙන ආකාරයක් දකින්නට තිබෙන බව ය.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.


































