'ක්ලීන් ශ්‍රී ලංකා' කසළ අර්බුදයට විසඳුම් සොයන්න යන්නේ කොහොම ද?


SRI LANKA-SOCIETY-ENVIRONMENT
Workers remove garbage to clean a lake on the outskirts of Colombo on October 11, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

කුණු කඳු නාය ගොස් ජීවිත හා දේපළ අහිමි වූ අතීතයක් හිමි ශ්‍රී ලංකාව තුළ කසළ කළමනාකරණය කිරීමේ නව ව්‍යාපෘතියක් හඳුන්වා දීමට වත්මන් රජය කටයුතු කර තිබේ.

කොළඹ නගරයේ කසළ එක්රැස් කිරීමේ ක්‍රියාවලිය නිසි කළමනාකරණයකින් තොරව අකාර්යක්ෂමව සිදුවන බවට දැඩි විවේචන එල්ල වන පසුබිමක මෙන් ම, අවිධිමත් ලෙස බැහැර කරන කසළ හා පොලිතින් හේතුවෙන් කෙටි වර්ෂාවකදී පවා නගරයේ කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ජලගැලීම් ඇති වීමේ අර්බුදයක් පවතින අවස්ථාවක මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීමට නියමිත ය.

'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ලෙස නම් කර ඇති මෙම වැඩසටහන හරහා නිවෙස්වලදී ම අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කිරීම මගින් කසළ එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා අවසන් බැහැර කිරීම සඳහා දරනු ලබන මූල්‍ය හා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය 2027 සිට 2029 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, 'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව එකී ව්‍යාපෘතිය අනෙකුත් පළාත්වලට ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍යවලින් 50% - 60%ක ප්‍රමාණයක් ජෛව හායනය වන කාබනික ද්‍රව්‍යවලින් සමන්විත වන බවත්, එම කසළ නිවෙස්වලදී ම කොම්පෝස්ට් බවට පත් කිරීම මගින් කසළ එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා අවසන් බැහැර කිරීම සඳහා දරනු ලබන මූල්‍ය හා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැකි බවත් හඳුනාගනු ලැබ ඇත.

එබැවින්, කසළ ජනනයේ සිට අවසන් බැහැර කිරීම දක්වා ආවරණය වන පරිදි තිරසර විසඳුමක් වශයෙන් 2027-2029 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත 'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය යටතේ, එහි එක් සංරචකයක් ලෙස ගෘහස්ථව ජනනය වන දිරන කසළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සියලු ම පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි එම ආයතන විසින් තෝරා ගත් වීදි කොටස් කාබනික කසළ එකතු කිරීමේ සේවාවන් සැපයීමෙන් තොර කලාප බවට පත් කිරීම සඳහා අදාළ නිවාස ඒකක වෙත ගෘහස්ථ කොම්පෝස්ට් බඳුන් ලබා දී, දිරන කසළ එම නිවාස පරිශ්‍ර තුළ ම කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම එමගින් සිදු කෙරෙනු ඇත. කසළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය භෞතික පහසුකම (කොම්පෝස්ට් බඳුන), දැනුම හා තාක්ෂණික මග පෙන්වීම, සියලු ම පළාත් පාලන ආයතනවල අධීක්ෂණය සහ ගෘහස්ථ මට්ටමේ අඛණ්ඩ භාවිතය එක ම ක්‍රියාකාරී පද්ධතියක් තුළ සම්බන්ධ කිරීමට මෙම මැදිහත් වීම මගින් අපේක්ෂා කෙරේ.

කසළ
ඡායාරූප ශීර්ෂ වැකිය, 'පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය තෝරාගත් පළාත් පාලන ආයතන 100ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ

ඒ අනුව, 'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව එකී ව්‍යාපෘතිය අනෙකුත් පළාත්වලට ව්‍යාප්ත කිරීමටත්, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය තෝරාගත් පළාත් පාලන ආයතන 100ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර ව්‍යාපෘතිය යනු කුමක් ද?

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රජය හඳුන්වා දීමට සූදානම් වන මෙම ජාතික වැඩපිළිවෙළ සම්බන්ධව බීබීසී සිංහල තවදුරටත් කරුණු සොයා බැලීය.

සිය පරිපාලන ප්‍රදේශයේ කසළවල වගකීම පළාත් පාලන ආයතනවලට පැවරී ඇති අතර, ජාතික මට්ටමින් ඊට එහා ගිය මැදිහත් වීමක් සඳහා 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ අධ්‍යක්ෂ, පරිසර ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න බීබීසී සිංහල වෙත පැවසීය.

එමෙන් ම කසළ බැහැර කිරීම පිළිබඳව ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක් වේ.

"අපද්‍රව්‍ය කළමනාකරණය (Waste Management) ගැන දැන් ලංකාවේ අයගේ අදහස ගත්තොත්, ඔවුන් හිතන්නේ මෙය පළාත් පාලන ආයතනයේ වැඩක් කියලයි. අනෙක් අතට ඇතැමුන් තැනින් තැන ගිහින් නීති විරෝධී ලෙස කුණු බැහැර කරනවා. 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනේ ඉලක්කය වන්නේ අන්න ඒ චර්යාවේ සිට මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමයි. අපි ජනනය කරන අපද්‍රව්‍ය ගැන වගකීමක් අපටත් තිබෙනවා. වගකීමෙන් ඒවා නිවැරදි ආකාරයට බැහැර කිරීමට මෙන්ම අපද්‍රව්‍ය ජනනය අඩු කර ගැනීමටත් අපි කටයුතු කළ යුතුයි," යනුවෙන් ඔහු සඳහන් කළේය.

දිරන කසළවලින් නිවසේදී ම කොම්පෝස්ට්

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ව්‍යාපෘතිය සැලසුම් කිරීමට තාක්ෂණික කණ්ඩායම් පත් කර ඇති අතර ජාතික වශයෙන් සහ පළාත් වශයෙන් කසළ කළමනාකරණය නිවැරදි ආකාරයට සිදු කිරීම පිළිබඳව සැලසුම් සකස් කරමින් පවතින බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

"දිරන කසළ කොම්පෝස්ට් බවට පත් කිරීම, ඉතිරි වන දේවල් අවසන් බැහැර කිරීමට යොමු කිරීම සහ තවත් කොටසක් අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවන බලාගාර (Waste-to-Energy Power Plants) වෙත යොමු කිරීම ආදී වශයෙන් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය ආවරණය වන පරිදි තාක්ෂණික විසඳුමක් සැලසුම් කරමින් පවතිනවා. ඒ වගේම කසළ ජනනය වන ප්‍රමාණය අඩු කිරීමටත් මෙම සැලැස්මට ඇතුළත්," යැයි ඔහු පැවසීය.

මෙම ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ගෘහ ආශ්‍රිත දිරන කසළවලින් කොම්පෝස්ට් සැකසීමට අවශ්‍ය උපකරණ මෙන් ම සහය ලබා දීමටත්, එය අධීක්ෂණය කිරීමටත් පියවර ගන්නා බව ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න බීබීසී සිංහල වෙත පැවසීය.

"උදාහරණයක් ලෙස අපි එක් මාර්ගයක තිබෙන නිවාසවලට කොම්පෝස්ට් බඳුන් ලබා දෙනවා යැයි සිතමු. එවිට දිරන කසළ (Organic Waste) එකතු කිරීම සඳහා අපට ඒ මාර්ගයට යාමට අවශ්‍ය වන්නේ නැහැ. එමඟින් කසළ එකතු කිරීමට වැය වන පිරිවැය අඩු වන අතර ම අපට කළමනාකරණය කිරීමට සිදු වන කසළ ප්‍රමාණය ද අඩු වෙනවා."

නිවාස ආශ්‍රිතව කොම්පෝස්ට් සැකසීමට අවශ්‍ය බඳුන් හා උපකරණ ලබා දීමේදී ඊට අවශ්‍ය ඉඩකඩ පිළිබඳව ද සලකා බලන බවත්, වැඩි ඉඩකඩක් සහිත නිවාස සඳහා කොම්පෝස්ට් සකසන ස්ථානයක් සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් සපයන බවත් සඳහන් වේ.

නොදිරන කසළවලින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාවක්

මෙම වැඩසටහනින් නිවසේ සකස් කරනු ලබන කොම්පෝස්ට් පොහොර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය අවස්ථාව ලබා දී ගෙවතු වගාවට යොදා ගැනීමට සැලසුමක් පවතී.

එමෙන් ම, මෙය සමගාමීව කසළ මධ්‍යස්ථාන සකස් කර නොදිරන කසළ භාර ගැනීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ගෙවීමක් ද සිදු කරනු ලබන බව අධ්‍යක්ෂවරයා පැවසීය.

"රිසෝස් කලෙක්ටින් සෙන්ටර් කියලා සෙන්ටර්ස් හදන්න බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනයකට එකක් හෝ දෙකක්. ඒ තැන්වලට පුළුවන් දිරනේ නැති කසළ, පොලිතින්, ප්ලාස්ටික් වගේ ඒවා භාරගන්න තැනක් ඒක. ඒකට ගමකින් ම අඩු ආදායම් ලාභී වගේ කෙනෙක් තෝරගෙන පුහුණුවක් දීලා දාන්න අදහසක් තියෙනවා. එතනට දිරන්නේ නැති අපද්‍රව්‍ය භාර දුන්නා ම ඒකට ගෙවීමක් කරනවා."

කොම්පෝස්ට් පොහොර නිවසේ සැකසීමේ දී ඇති වන ගැටලු සම්බන්ධව එම මධ්‍යස්ථානය හරහා අවශ්‍ය උපදෙස් ලබා දීමට මෙන් ම කොම්පෝස්ට් විකිණීමට අවශ්‍ය සම්බන්ධීකරණයද ඒ හරහා සිදු කිරීමට සැලසුම් කර ඇත.

වසර තුනට පසුව ව්‍යාපෘතියට සිදුවන්නේ කුමක් ද?

ක්ලීන් ශ්‍රී ලංකා පිවිතුරු පුරවර 2027 වසරේ ආරම්භ වී 2029 දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලයේ දී කසළ කළමණාකරනයට අවශ්‍ය යන්ත්‍ර මිලට ගැනීම, ඉඩම් ලබා ගැනීම සහ අවශ්‍ය ස්ථාන ගොඩනැංවීම සිදුකරනු ලබයි.

එමෙන් ම, පළාත් පාලනය ආයතන තුළ කසළ කළමණාකරන වගකීම නිසි බලධාරියෙකු හට භාර කර ව්‍යාපෘති කාලයෙන් පසුව මෙම වැඩසටහන නිවැරදිව ඉදිරියට කරගෙන යාම අදාළ ආයතනවලට පවරනු ලබන බව ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ, පරිසර ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න සඳහන් කළේය.

"ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ වෙනම ම ඒකකයක් හැදෙනවා ක්ලීන් ශ්‍රී ලංකා පිවිතුරු පුරවර ව්‍යාපෘතියට. ඒ යුනිට් එකෙන් මේ ව්‍යාපෘතිය අවුරුදු තුනකට කළාට පස්සේ මේක හරි විදිහකට හෑන්ඩ් ඕවර් වෙන්න ඕන ඒ වගකීම් ටික ඒ ආයතනවලට."

"පළාත් පාලන ආයතනවලට ටිකක් යනවා. ඒ වගේ අවසන් බැහැර කිරීමට ට්‍ර්ට්මන්ට් ප්ලාන්ට් හැදුවා ම ඒවා සමහර වෙලාවට ඔතෝරටි එකක් වෙන්න පුළුවන්. එතකොට පළාත් පාලන ආයතනවලට තියෙන්නේ ට්‍රන්ස්පෝර්ට් කරන එක විතරයි. එහෙම මිකැනිසම් එකක් හැදෙනවා නමුත් තවම ඒක අවසන් වෙලා නැහැ," යැයි ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න කියා සිටියේය.

වසර 2035 වන විට මෙරට කසළ ජනනය පුරෝකතනය කිරීමට ද තාක්ෂණික කමිටුව උපදෙස් දී ඇති බවත් ඒ අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම් වන බව ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ, පරිසර ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න වැඩිදුරටත් කියා සිටියේය.