නේපාල-ටිබෙට් දේශසීමාවේ ක්ෂණික ගංවතුරක් ඇති වුණේ ඇයි? විද්‍යාඥයින් පවසන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, පවන් රාජ් පෞඩෙල්
- Role, බීබීසී නේපාලි සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
බදාදා නේපාල - ටිබෙට් දේශසීමාවේ ගංවතුර ඇති වන විට, කේෂව් ප්‍රසාද් බරාල් සිටියේ ඔහුගේ සමග නිවසේ ය.
"විශාල මඩ පාරක් අපි හිටපු දිහාවට වේගයෙන් ගහගෙන ආවා," මේ වනවිට නේපාලයේ කුඩා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින 68 හැවිරිදි ඔහු පැවසුවේ ය. ජල ධාරාව නිවස තුළට කඩා වැදුණු අවස්ථාවේදී ඔහු තම බිරිඳගේ අත අල්ලා ගැනීමට උත්සහ කළ නමුත් ඇය "ගසාගෙන ගියා" ය.
"මගේ බිරිඳ තාම මඩ යට කොහේ හරි ඇති," ඔහු තවදුරටත් පැවසීය. "ඇය යන්න ගිහින්."
මෙම හිමාල දේශය "විශාල පරිමාණයේ අලාභයක්" සිදුව ඇති බව අපේක්ෂා කරයි. අවම වශයෙන් පුද්ගලයින් 177 දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 500 දෙනෙකු පමණ ඇතුළුව තවත් 800 දෙනෙක් අතුරුදන්ව සිටිති.
චීනයේ රාජ්‍ය මාධ්‍ය වන CCTV අනුව චීනයේ ගයිරොන්ග් ප්‍රාන්තයේ විදේශිකයන් 260 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 558 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැත.
නේපාල බලධාරීන් පළමුව විශ්වාස කළේ, දේශසීමාව ආසන්නයේ හට ගත් මැග්නිටියුඩ් 4.4ක භූ කම්පනයක් මෙම ව්‍යසනයට හේතු වන්නට ඇති බවයි.
නමුත් භූ කම්පන සිදුවීම "වෙනුවට ග්ලැසියර කඩා වැටීමක් සහ සුන්බුන් ගලායාමක් වූ" එය "පසුව පහළ ප්‍රදේශයට විනාශකාරී බලපෑම් ඇති කළේ ය," යනුවෙන් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බ්‍රහස්පතින්දා පැවසීය.
එය නේපාලයේ ජල විද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට පෙර බීබීසී වෙත පැවසූ නිරීක්ෂණ සමග පුළුල් ලෙස ගැළපේ. එම දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනය කරන ලද ඡායාරූපවලින් පෙනී යන්නේ මහා පරිමාණයේ අයිස් ස්කන්ධයක්, ඇතැම් විට ග්ලැසියරයකින් කැඩී ආ, දේශසීමාවේ ටිබෙට් කොටසේ කඳු බෑවුමකින් කඩා වැටී පාෂාණ හා රොන් මඩ සමග පහළට ගලා යන ආකාරයයි.
නේපාල බලධාරීන් විශ්වාස කරන්නේ, මෙම කඩා වැටීමෙන් ප්‍රබල සුන්බුන් ප්‍රවාහයක් ජනනය කරමින් විශාල ජල පරිමාවක් මුදා හැර ඇති බවයි. එක් ප්රමුඛ න්‍යායක් වන්නේ එම සුන්බුන් ලෙන්ඩේ ගඟ තාවකාලිකව අවහිර කර ස්වාභාවික වේල්ලක් නිර්මාණය කළ බවයි. එක් රැස් වූ ජලය අනතුරුව වේල්ල කැඩී යාමට හේතුවීමෙන් විනාශකාරී ජල පහරක් පහළට යොමු කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් අනතුරු අගවන්නේ එවැනි අවහිරතාවක් පිළිබඳව ඇති සාක්ෂි සීමිත බවයි.
නේපාලයේ ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ ආපදා අධ්‍යයන විශේෂඥ බසන්තා රාජ් අධිකාරි බීබීසී නේපාලි සේවය වෙත පැවසුවේ, ගංවතුර පැමිණීමට පෙර ලෙන්ඩේ ගඟේ ජල මට්ටම පහත වැටීමක් පිළිබඳ වාර්තා වී නොමැති බවත් සහ සාමාන්‍යයෙන් ගංගාවක් ඉහළින් අවහිර වී ඇත්නම් එය අපේක්ෂා කළ හැකි බවත් ය.
ඒ වෙනුවට, ග්ලැසියර කඩා වැටීමෙන් ඇති වූ අයිස් සහ පාෂාණ කඩා වැටීම හදිසියේ බලපෑ ගංවතුර තත්ත්වයට ඍජුව ම හේතු වන්නට ඇති බව ඔහු පැවසීය.
"දෙවන සහ තුන්වන රැලි" ඇතිවීමේ අවදානම පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවීය.
"අපි තාමත් දන්නේ නැහැ," ඔහු පැවසුවේ, තත්ත්වය නිරීක්ෂණය කරන චීනයේ සිටින තම සගයින් සමග ඔහු සම්බන්ධ වී සිටින බවයි. "මේ මොහොතේ අධික වර්ෂාපතනයක් නැහැ, නමුත් නාය යාම් තවමත් සිදුවෙන්න පුළුවන්"
ග්ලැසියර පිළිබඳ ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ නවතම සාක්ෂි පෙන්වා දෙන පරිදි, 'ග්ලැසියර විලක් පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය මූලික හේතුව වීමේ අවස්ථාව අඩු බවයි. අයිස් බාධකයක්, ගල් හෝ රොන්මඩ බිඳ වැටීමෙන් පසු ග්ලැසියර විලක ගබඩා වී ඇති ජලය හදිසියේ මුදා හැරුණු විට මෙම සංසිද්ධිය සිදුවේ.
දේශගුණික විපර්යාස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බදාදා සිදුවූ ග්ලැසියරය කඩා වැටීමට හේතුව කුමක් ද යන්න පැහැදිලි නොමැති නමුත් දේශගුණික විපර්යාස ඊට බලපෑමක් සිදු කළා විය හැක.
ස්කොට්ලන්තයේ ඩන්ඩී විශ්වවිද්‍යාලයේ ග්ලැසියර පිළිබඳ විද්‍යාඥයෙකු වන සයිමන් කුක් පැවසුවේ, මෑත වසරවලදී හිමාලය, ස්විට්සර්ලන්තය සහ ඉතාලියේ ඩොලමයිට්ස් වැනි කලාපවල ද මෙවැනි ම සිදුවීම් හට ගෙන ඇති බවයි.
ඔහුගේ දැක්ම අනුව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඇතැම් කඳු බෑවුම් එකට තබා ගැනීමට උපකාරී වන ස්ථිර හිම තට්ටු (පර්මාෆ්‍රොස්ට්) දියවීමට සහ දුර්වලවීමට හේතු විය හැක.
මෙය "මෙම උස් කඳු පරිසර අස්ථාවර කරයි", තවත් නායයාම්, සුන්බුන් ගලායාම, ග්ලැසියර දියවන ජලය, විල් පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුර සහ ග්ලැසියර කඩා වැටීම්වලට මූලික වන බව කුක් තවදුරටත් පැවසුවේ ය.
දේශගුණික විපර්යාසවල බලපෑම් වැඩි වශයෙන් ප්රත්යක්ෂ වන බවට අධිකාරි එකඟ විය. "අපි මෙම වෙනස්කම් නිරීක්ෂණය කරමින් තමයි ඉන්නේ, නමුත් මෙය නිශ්චිත දිනයක සිදුවෙයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ.''
පසුගිය දශක තුන තුළ නේපාලයේ අයිස් පරිමාවෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති අතර, 2011-2020 කාලසීමාව තුළ එහි ග්ලැසියර පෙර කාලසීමාවට වඩා 65%ක වේගයකින් දිය වී ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2023දී ප්‍රකාශ කළේය.
මෙම කලාපය මෙතරම් අවදානම් ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විශේෂඥයින් පවසන්නේ, භූගෝලීය පිහිටීම නිසා නේපාල-චීන දේශසීමා කලාපය ස්වභාවික උපද්‍රවවලට විශේෂයෙන් ගොදුරු වන බවයි.
මෙම ප්‍රදේශය ලෝකයේ උස ම කඳු, විස්තීර්ණ ග්ලැසියර, හිම බිම් සහ බෑවුම්, අස්ථායී බෑවුම්වලින් සමන්විත වේ. ටිබෙට් සානුවෙන් ගලා යන ගංගා නේපාලයේ ජනාකීර්ණ ප්‍රදේශවලට ළඟා වීමට පෙර ගැඹුරු නිම්න හරහා වේගයෙන් බැස යයි.
විද්‍යාඥයින් පවසන්නේ, මෙය කඳු කඩා වැටීමේ උවදුරු සඳහා කොන්දේසි නිර්මාණය කරන බව සහ එහිදී එක් සිදුවීමක් තවත් සිදුවීමකට හේතු විය හැකි බවය.
මෝසම් තත්ත්වයන් හමුවේ කඳු කඩා වැටීමෙන් සිදුවන විනාශකාරී අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවත්, අධික වර්ෂාපතනය බෑවුම් අස්ථාවර කරන අතර ග්ලැසියර, හිම බිම් සහ ගංගා පද්ධති සමග සංකීර්ණ ආකාරවලින් අන්තර්ක්‍රියාකාරී වන බව ඔවුන් පවසයි.
මෙවැනි ව්‍යවසන වළක්වා ගත හැකි ද?
නායයාම්, හිම කඳු කඩා වැටීම් සහ ග්ලැසියර කඩා වැටීම් වැනි උවදුරු සම්පූර්ණයෙන් ම වළක්වා ගත නොහැකි නමුත් ඒවායේ බලපෑම් අඩු කළ හැකි බව විශේෂඥයෝ පවසති.
අවදානමට ලක්විය හැකි නිම්නවල සහ ග්ලැසියර විල් වටා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය ඉහළ යමින් ඇත.
මේවාට වෙනස් වන තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි අතර ඉවත් කිරීම් සඳහා සැලකිව යුතු කාලයක් ලබා දිය හැකිය.
පර්යේෂකයින් තර්ක කරන්නේ, නේපාලයට බලපෑම් එල්ල කිරීමට පෙර බොහෝ උවදුරු හට ගන්නේ ටිබෙටයේ දූරස්ථ ප්‍රදේශවලින් බැවින් වඩා හොඳ දේශසීමා සහයෝගීතාවක් අත්‍යවශ්‍ය බවයි.
"එය ආරම්භ වූයේ නේපාලයේ නම්, අපට එය මෙතැන සිට දැකගත හැකිව තිබුණා. නමුත් මෙවැනි සිදුවීම්වලදී රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ පද්ධතිය ශක්තිමත් කිරීම අවශ්‍යයි," යනුවෙන් පැවසූ අධිකාරි මෙවැනි වේගයෙන් වර්ධනය වන ආපදා සඳහා දැනට පවතින දේශසීමා හරහා තොරතුරු හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
දිගු කාලීනව, විශේෂඥයින් පවසන්නේ නිරාවරණය වීම අවම කර ගැනීම වඩාත් ඵලදායී ආරක්ෂක පියවර විය හැකි බවයි.
"ඉහළ අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගැනීමෙන් ගංගා ඉවුරුවල පිහිටි ජනාවාස ද වෙනත් ස්ථානවලට රැගෙන යන්න පුලුවන්," ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ථාකුරි පැවසීය පැවසුවේ ය.

































