නේපාල-චීන දේශසීමාවේ විනාශකාරී ගංවතුර සහ නායයාම් නැවත නැවතත් සිදුවන්නේ ඇයි?

බදාදා ත්‍රිශූලි ගඟේ ගංවතුර හේතුවෙන් නුවාකොට්හි බිදූර් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය

ඡායාරූප මූලාශ්‍රය, RSS

ඡායාරූප ශීර්ෂ වැකිය, බදාදා ත්‍රිශූලි ගඟේ ගංවතුර හේතුවෙන් නුවාකොට්හි බිදූර් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය
    • Author, පවන් රාජ් පෞඩෙල්
    • Role, බීබීසී නේපාලි සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

නේපාල-චීන දේශසීමාව ආශ්‍රිත හිමාලය කලාපයේ භූගෝලීය ව්‍යුහය, ග්ලැසියර විල්වල පිහිටීමේ නිරන්තර වෙනස්වීම් සහ වැසි සමයේ ඇති වන අධික වර්ෂාපතනය හේතුවෙන් හදිසි ආපදා නැවත නැවතත් සිදුවන බව විශේෂඥයෝ පවසති.

බදාදා උදෑසන රසුවා ප්‍රදේශයේ භෝටෙකෝෂි/ත්‍රිශූලි ගංගාවල ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් රසුවා, නුවාකොට්, ධාඩිං, ගෝර්කා සහ චිත්වාන් දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී තිබේ.

ටිබෙට් කලාපයේ ග්ලැසියර විල් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති අතර නේපාල දෙසට ඇති තියුණු බෑවුම්වල ජනාවාස රැසක් පවතින බැවින්, ග්ලැසියර විල් පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුර සහ හිම කඳු කඩාවැටීම් හේතුවෙන් මෙම කලාපය වරින් වර ආපදාවලට ලක්ව ඇත.

"අතීත අත්දැකීම් ද ඇතුළුව සමස්තයක් ලෙස මෙය සලකා බැලුවොත්, හිමාලයේ ඉහළ කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස කලාපයේ සිදුව ඇති සමස්ත වෙනස්කම් මීට හේතු සාධක ලෙස සැලකිය හැකි යි," ජාතික ආපදා අවදානම් අවම කිරීම හා කළමනාකරණ අධිකාරියේ විධායක ප්‍රධානී ධර්මරාජ් උප්‍රේති බීබීසී වෙත පැවසීය.

හේතුව

පසුගිය වසරේ මෙන් ම මෙවරත් ත්‍රිශූලි ගංවතුර නේපාල භූමියෙන් නොව ටිබෙට් ප්‍රදේශයෙන් ආරම්භ වූ බව පෙනී යන බව නිලධාරීහු පවසති. එම ගංවතුර බදාදා (අගෝ: 26) උදෑසන නේපාල භූමියට ඇතුළු වී තිබිණි.

ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයෙකු සහ ජලවිද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක බිභූති පොඛරෙල් පැවසුවේ, මෙම සිදුවීමට හේතු වූ සැබෑ කරුණ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බව යි. "අපි තවමත් තොරතුරු අවබෝධ කර ගනිමින් සිටිනවා. සිදුවූයේ මෙය යි කියලා දැන් ම කියන්න බැහැ," ඔහු පැවසීය.

ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුල්චොක් ඉංජිනේරු අධ්‍යයන ආයතනයේ ආපදා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බසන්තා අධිකාරි මේ වන විට චීනයේ සිචුවාන් ප්‍රදේශයේ සිටින අතර, එහි සිට මෙම සිදුවීම නිරීක්ෂණය කරමින් සිටී.

"මෙම සිදුවීමේ ලක්ෂණ අනුව මෙය හිම කඳු කඩා වැටීමක් විය හැකි බව පෙනී යන අතර, ජලය සම්පූර්ණයෙන් ම බැස නොගිය බැවින් අවදානම තවදුරටත් පවතින බවට වාර්තා තිබෙනවා. නිශ්චිතව ම තහවුරු කර ගැනීම සඳහා චන්ද්‍රිකා විශ්ලේෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටීම හැර වෙනත් විකල්පයක් නැහැ."

"අතීතයේදී, ග්ලැසියර විල් පිටාර ගැලීමෙන් ඇති වන ජලගැලීම් සහ හිම කඳු කඩා වැටීම් වැනි සිදුවීම් මෙවැනි ගංවතුර තත්ත්වයන්ට හේතු විදිහට දැක තිබෙනවා," යැයි ඔහු පැවසීය.

දේශසීමා ප්‍රදේශවල මෙවැනි සිදුවීම් නැවත නැවතත් සිදුවන්නේ ඇයි?

बाढी

ඡායාරූප මූලාශ්‍රය, RSS

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නේපාලය සහ චීනය අතර උතුරු දේශසීමාවේ ආධිපත්‍යය දරන්නේ උස් හිමාල කඳු වැටිය යි. දේශසීමාවෙන් එපිට ටිබෙට් සානුව පිහිටා ඇති අතර, හිමාලය කලාපයේ ඇති ග්ලැසියර, ඒවායෙන් සෑදී ඇති ග්ලැසියර විල් සහ නේපාල පාර්ශ්වයේ ජල මාර්ග ස්වාභාවික ආපදා අවදානම් තවදුරටත් සංකීර්ණ කරන බව විශේෂඥයෝ පවසති.

විශේෂයෙන් ම මෝසම් සමයේදී, අධික වර්ෂාපතනය, ග්ලැසියරවල සිදුවන වෙනස්කම් සහ හිම කඳු කඩාවැටීම් එක්ව කෙටි කාලයක් තුළ විශාල ජල ප්‍රමාණයක් හා සුන්බුන් පහත් බිම් ප්‍රදේශ වෙත ගෙන එයි.

පසුගිය වසරේ ද රසුවා කලාපයේ ඇති වූ ගංවතුර හේතුවෙන් ජීවිත හා දේපළවලට විශාල හානි සිදු විය.

"ග්ලැසියර විල් පිටාර ගැලීම සහ හිම කඳු කඩාවැටීම් නේපාල-චීන (විශේෂයෙන් ටිබෙට්) දේශසීමා කලාපයේ පවතින දේශගුණික හා භූ විද්‍යාත්මක අවදානම් අතරට අයත් වෙනවා," යැයි ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය සුදීප් ථකූරි පැවසීය.

"නේපාලය පැත්තේ තියුණු බෑවුම් සහිත භූමි ප්‍රදේශවල ජනාවාස, මාර්ග, පාලම්, ජලවිදුලි ව්‍යාපෘති සහ අනෙකුත් යටිතල පහසුකම් පිහිටා ඇති නිසා, ටිබෙට් ප්‍රදේශයේ සිදුවන හිම කඳු කඩාවැටීම් හෝ ග්ලැසියර විල් පිටාර ගැලීම වරින් වර නේපාලය පැත්තේ තියෙන පහත් බිම් ප්‍රදේශවලට හානි සිදු කරන බව දක්නට ලැබෙනවා."

"මෙවැනි සිදුවීම් අතීතයේදී බොහෝ වාර ගණනක් දක්නට ලැබී තිබෙනවා."

ග්ලැසියර විල් පිටාර ගැලීම සහ හිම කඳු කඩා වැටීම

විශේෂඥයන්ට අනුව, ග්ලැසියර විල් පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුර සහ හිම කඳු කඩාවැටීම් උස් කඳුකර ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවන ස්වාභාවික ක්‍රියාවලීන් වේ.

"උස් හිමාලය කලාපයේ ග්ලැසියර ජලයෙන් පිරී ඇති විල් රැසක් තිබෙනවා. එම විල්වලට අඛණ්ඩව ජලය ගලා එන බැවින්, විලේ ජලය රඳවාගෙන සිටින ස්වාභාවික බැම්මට දරාගත හැකි ප්‍රමාණයට වඩා ජලය එකතු වුවහොත් එය බිඳී යා හැකි යි," යැයි ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ථාකුරි පැවසීය. "එසේ ම, විලකට හිම කඳු කඩා වැටීමෙන් පවා විලේ ජලය පිටතට ගලා යා හැකි යි. එවැනි සිදුවීමක් අපි ග්ලැසියර විලක් පිපිරී යාමක් ලෙසත් හඳුන්වනවා."

"සමහර අවස්ථාවල භූමිකම්පා ද විලකට බලපෑ හැකි අතර, ඇතැම් විට අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් විලේ බැම්ම මත පීඩනය වැඩි වී එය බිඳී යා හැකි යි. මෙවැනි ඕනෑ ම හේතුවක් නිසා විලක් කැඩී ගියහොත්, අපි එය ග්ලැසියර විලක් පිපිරී යාමක් ලෙස හඳුන්වනවා."

විශේෂඥයන්ට අනුව, ග්ලැසියර විල් පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුර සහ හිම කඳු කඩාවැටීම් උස් කඳුකර ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවන ස්වාභාවික ක්‍රියාවලීන් වේ.

"උස් හිමාලය කලාපයේ ග්ලැසියර ජලයෙන් පිරී ඇති විල් රැසක් තිබෙනවා. එම විල්වලට අඛණ්ඩව ජලය ගලා එන බැවින්, විලේ ජලය රඳවාගෙන සිටින ස්වාභාවික බැම්මට දරාගත හැකි ප්‍රමාණයට වඩා ජලය එකතු වුවහොත් එය බිඳී යා හැකි යි," යැයි ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ථකූරි පැවසීය. "එසේ ම, විලකට හිම කඳු කඩාවැටීමක් සිදුවීමෙන් පවා විලේ ජලය පිටතට ගලා යා හැකි යි. එවැනි සිදුවීමුත් අපි ග්ලැසියර විලක් පිපිරී යාමක් ලෙස හඳුන්වනවා."

"සමහර අවස්ථාවල භූමිකම්පා ද විලකට බලපෑ හැකි අතර, ඇතැම් විට අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් විලේ බැම්ම මත පීඩනය වැඩි වී එය බිඳී යා හැකි යි. මෙවැනි ඕනෑ ම හේතුවක් නිසා විලක් කැඩී ගියහොත්, අපි එය ග්ලැසියර විලක් පිපිරී යාමක් ලෙස හඳුන්වනවා."

පූර්ව සිදුවීම්

बाढीबाट क्षतिग्रस्त मितेरी पुल

ඡායාරූප මූලාශ්‍රය, Department of Customs

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ ඇති වූ ගංවතුර හේතුවෙන් චීන දේශසීමාවේ පිහිටි මිතේරි පාලමට හානි සිදු විය

ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ථකූරි, හිමාලය කලාපයේ ග්ලැසියර විල් පිටාර ගැලීම සහ හිම කඳු කඩාවැටීම් වැනි කුඩා පරිමාණයේ ඍතුමය සිදුවීම් අසාමාන්‍ය දෙයක් ලෙස නොසලක යි. කෙසේ වෙතත්, බදාදා ඇති වූ ගංවතුර දුර්ලභ සිදුවීමක් යැයි ඔහු පවසයි.

"අප මේ වන විට දැක ඇති මෙම සිදුවීමට අදාළ සියලු ම වීඩියෝවලින් පෙනී යන්නේ, මෙය විශාල පරිමාණයේ සිදුවීමක් බව යි. (සාමාන්‍ය තත්ත්වයට සාපේක්ෂව0 ගංගාවේ ජල මට්ටම මීටර් 15-20කින් පමණ ඉහළ ගොස් ඇති බව පෙනෙනවා."

රසුවාහි සිටින බීබීසී වාර්තාකරු ශක්තිමායා තමාං, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රදේශයේ වැඩිහිටියන් කිහිප දෙනෙකු සමග කතා කළා ය.

"එම අවස්ථාවේදී ඔවුන් කිව්වේ මීට පෙර මෙතරම් විශාල පරිමාණයේ සිදුවීමක් තමන් කිසි දා දැක නොතිබූ බව යි," ඇය පවසයි.

පසුගිය වසරේ රසුවා ප්‍රදේශයට බලපෑ දැඩි ගංවතුර හේතුවෙන් ජීවිත හා දේපළවලට විශාල හානි සිදු විය. එම අවස්ථාවේදී ලෙන්ඩේ ගංගාවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි ග්ලැසියර විලක් එකවර පිටාර ගැලීමෙන් මෙම තත්ත්වය ඇති වූ බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.

රජයේ වාර්තාවලට අනුව, ක්ෂණික ගංවතුර පහළට ගලා යාමේදී එය අවට තිබූ ගල්, මඩ සහ වැලි ද සමග ගලා ආ ගංවතුරක් බවට පත්වීමෙන් භෝටේ කෝෂි ගඟේ ඉවුරු සහ මාර්ග, පාලම්, විදුලි බලාගාර හා ජනාවාස ඇතුළු යටිතල පහසුකම්වලට විශාල හානි සිදු විය.

2024 වසරේ සොලුඛුම්බු දිස්ත්‍රික්කයේ ඛුම්බු පාසංලමු ග්‍රාමීය මහ නගර සභා බල ප්‍රදේශයට අයත් තාමේ ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරකින් නිවාස විශාල ගණනකට ද හානි සිදු විය.

එසේ ම, 2073 බික්‍රම් සම්බත් වර්ෂයේ (ක්‍රි.ව. 2016) කෝදාරි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර ද ඉතා විශාල ගංවතුරක් ලෙස සැලකේ. ටිබෙට් ප්‍රදේශයේ ග්ලැසියර විලක් පිටාර ගැලීමෙන් පසු ඇති වූ එම ගංවතුර හේතුවෙන් කෝදාරි සහ තාතෝපානි ප්‍රදේශවල ගොඩනැගිලි, අරනිකෝ මහා මාර්ගය සහ ඉහළ භෝටේ කෝෂි ජලවිදුලි ව්‍යාපෘතියට විශාල හානි සිදු විය.

එය වළක්වා ගත හැකි ද?

ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ථකූරි පවසන්නේ, මෙවැනි කාලගුණික සංසිද්ධි වළක්වා ගත නොහැකි වුව ද, පූර්වාරක්ෂක පියවර ගැනීමෙන් ජීවිත හා දේපළවලට සිදුවන හානි අවම කර ගත හැකි බව ය.

"පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති භාවිත කෙරෙනවා. ග්ලැසියර සහ ඒ අවට ස්ථාපනය කර ඇති එවැනි පද්ධති මගින් විලේ ජල මට්ටම සහ එහි බැම්මේ තත්ත්වය පිළිබඳ තත් කාලීන තොරතුරු ලබා දෙනවා," ඔහු පැවසීය. "මෙවැනි සිදුවීම් පිළිබඳව කල්තියා තොරතුරු ලබාගත හැකි නම්, ජීවිත හානි අවම කර ගන්න පුළුවන්."

එසේ ම, පුල්චෝක් කැම්පස්හි නිලධාරීන් පවසන්නේ, 'පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය' ප්‍රයෝජනවත් විය හැකි නමුත්, ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නා සිදුවීම් සම්බන්ධයෙන් රජයේ මට්ටමින් චීනය සමග සම්බන්ධීකරණය වැඩි කළ යුතු බව ය.

"(ගංවතුර) නේපාලයෙන් ආරම්භ වූවා නම්, අපට එය මෙතැන සිට නිරීක්ෂණය කළ හැකිව තිබුණා. නමුත් දැන් අප දකිමින් සිටින ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර තොරතුරු හුවමාරු පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. එය මේ වන විට සිදුවන බවක් පෙනෙන්නට නැහැ."

"එවැනි සිදුවීම් ඇති වන ප්‍රදේශවල මිනිස් ජනාවාස නැහැ. මිනිසුන් හරහා තොරතුරු හුවමාරු කර ගැනීම අපහසු නිසා, චන්ද්‍රිකා මධ්‍යස්ථාන ස්ථාපනය කර ඒවා හරහා තත්ත්වය නිරීක්ෂණය කළ යුතු යි," නිලධාරියා පැවසීය. "එසේ නොවුණහොත්, දේශසීමාවට පහළින් අපේ ජනාවාස පිහිටා ඇති බැවින් වැඩි ම හානිය අපට සිදුවේවි."

එවැනි පද්ධති නේපාලයේ ඇතැම් ගංගා ද්‍රෝණිවල ස්ථාපනය කර තිබුණ ද, හිමාලය කලාපයේ ඒවා භාවිත කිරීම තවමත් ආරම්භක අදියරේ පවතින බව විශේෂඥයෝ පවසති.

"මීට අමතරව, අවදානම් ප්‍රදේශ හඳුනාගෙන ගංගා ඉවුරු ආශ්‍රිත ජනාවාසවල ඉන්න ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කරන්න පුළුවන්," ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ ථකූරි පැවසීය. "ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට වඩාත් ඵලදායී පියවර වන්නේ අවදානම් ප්‍රදේශවල ජනාවාස ඉදිකිරීමෙන් වැළකී සිටීම යි."