'මෙට්‍රො බස් සේවාව අඩාළ කරන්න පෞද්ගලික බස් සේවකයින්ගේ කුමන්ත්‍රණයක්' තිබේ ද? පොලිසියෙන් විමර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, Police
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
කොළඹට පැමිණෙන මොටර් රථ ප්‍රමාණය අවම කර රථ වාහන තදය අඩු කිරීම සඳහා රජය ආරම්භ කළ මෙට්‍රො බස්වලට හානි කිරීම් කඩාකප්පල්කාරී ක්‍රියා ලෙස පෙනී යන බව පොලිසිය පවසයි.
අතුරුගිරිය, හෝමාගම, මාකුඹුර, බොරැල්ල, පිළියන්දල ඇතුළු ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තා වී තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ, මේ වන විට මෙට්‍රෝ බස්වලට හානි සිදුකිරීමේ සිදුවීම් 6ක් පමණ වාර්තා වී ඇති බව ය.
"මේක මේ කීප දෙනෙක් විසින් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදුකරන බවට අපිට මේ සිදුවීම් දාමය තුළ අපිට පොලීසිය හැටියට නිරීක්ෂණය වන කාරණාවක්."
පොදු දේපළ පනත යටතේ විමර්ශන
මෙට්‍රො බස්වලට හානි කිරීමේ සිද්ධි පිළිබඳව පූර්ණ විමර්ශනයක් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් දී ඇතැයි, නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
"විශේෂයෙන් ම කියනවා නම්, මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා පැහැදිලිව ම උපදෙස් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේ ම මේවා රාජ්‍ය දේපළ, එතකොට මේ රාජ්‍ය දේපළවලට තමයි මේ... මේ අලාභහානි සිද්ධ කරන්නේ. එතකොට පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අලාභ තක්සේරු කරලා, ඒ සම්බන්ධයෙනුත් පූර්ණ විමර්ශනයක් කරන්න සහ ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා විශේෂයෙන් පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත්වීම යටතේ දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ කරනවා."
"දැන් අපිට තවත් සිද්ධියක් වාර්තා වෙනවා, අද උදේ හතරට පමණ කැස්බෑව ප්‍රදේශයේදී, පිළියන්දල පොලිස් වසමට අයත් ප්‍රදේශයේදී, ඒත් හිතාමතා ම පුද්ගලික බස් රථයක් විසින් මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක් කරලා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් පිළියන්දල ස්ථානාධිපති දැන් දැනුම් දුන්නා පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. විශේෂයෙන් ම මේක දැනගත යුතු කාරණාවක් තමයි, ඒ... ඒ වගේ ම බොරැල්ල ප්‍රදේශයේදීත් මේ වගේ අනතුරක් දවස් දෙකකට විතර ඉදිරියේ සිද්ධ කරලා මෙට්‍රො බස් රථයක් අනතුරට පත් කරනවා.
තවත් අපිට සිද්ධියක් වාර්තා වෙනවා, කොල්ලුපිටිය... පෙරේදා දිනයේ කොල්ලුපිටිය මෙට්‍රො බස් රථ ගාල් කරන්න දෙන්නේ නැහැ. එතන ඉන්න පුද්ගලික බස් රථ... පුද්ගලික බස් රථ රියැදුරන් විසින්. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මට වාර්තා කරපුවා ම, කොල්ලුපිටිය රථවාහන ස්ථානාධිපති එම ස්ථානය නිරීක්ෂණය කරලා, ඒ සම්බන්ධයෙන් ඒ කරුණු අනාවරණය කරගෙන, දැන් CMC (කොළඹ මහා නගර සභාව) එකත් එක්ක කතා කරලා මෙට්‍රො බස් රථවලට වෙන ම ස්ථානයක් ඒ සම්බන්ධයෙන් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා.
මේකෙන් පැහැදිලිව පේන කාරණාවක් තමයි, මේ සිදුවීම් දාමය ගත්තොත් එහෙම, ඇත්ත වශයෙන් ම මහජනතාවට සේවයක් කිරීම සඳහා, අපේ කොළඹ රථවාහන තදබදය අඩු කිරීම සඳහා, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ගමන් කිරීම සඳහා, මේ සුඛෝපභෝගී බස් සේවාව මගින් විශාල සහනයක් මහජනතාවට ලැබුණා. මම කිව්වා වගේ ගොඩක් අය දැන් එන්නේ තමන්ගේ පුද්ගලික වාහනය පැත්තක... නවතලා... ඒ කියන්නේ තමන් ගමන් කරන ස්ථානයේ නවත්තලා, ඒ තියෙන සුදුසු පාකින් (parking) එකට දාලා තමයි එන්නේ. ඒක නිසා අපි කොළඹ රථවාහන තදබදයත් අඩු වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Police
මෙට්‍රො බස් සේවාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව පහසු කිරීම සඳහා, රජය විසින් අප්‍රේල් 21 වන දා මෙට්‍රො බස් රථ 10ක්, කොළඹ සහ කොළඹ අවට තදාසන්න මාර්ගවල ධාවනය සඳහා යොදවනු ලැබිණි.
ඉන් අනතුරුව, සැප්තැම්බර් 29 වෙනිදා, තවත් බස් රථය 112ක් මෙට්‍රො බස් සේවාවට එක්කරමින් ගමන් මාර්ග 7ක මෙට්‍රො බස් සේවා ආරම්භ කෙරිණි.
"විශේෂයෙන් ම කියන්න ඕනේ, මේ බස් රථ යෙදවීම තුළින් පොදු මහ ජනතාවට විශාල සහනයක් ලැබිලා තියෙනවා. අපි නිරීක්ෂණය කරපු කාරණයක් තමයි, දැන් බොහෝ ජනතාව දැන් මාකුඹුර ගත්තොත් එහෙම, මාකුඹුරට ඇවිල්ලා තමන්ගේ පුද්ගලික වාහනය ඒ තියෙන පාකින් (parking) එකේ නවත්තලා, ඒ ආකාරයට ම අනිත් තැන්වල, කඩවත වෙන්න පුළුවන් ඒක, කහතුඩුව වෙන්න පුළුවන්, ඒ තැන්වල නවත්තලා, මේ... සුදුසු තැන්වල නවත්තලා මේ බස් රථ මගින් කොළඹට එන්න පටන් අරන් තියෙනවා.
ඒක නිසා විශේෂයෙන් ම අපි රථවාහන පොලීසිය හැටියට දකින්නේ විශේෂයෙන්ම, කොළඹ රථවාහන තදබදය අඩු කිරීමටත් මේක... මේ බස් රථ සේවාව පිටුවහලක් වෙනවා. ඊට අමතරව විශේෂයෙන් ම, විශේෂ අවශ්‍යතා තිබ්බ... අපේ ජනතාව, පුද්ගලයින්ටත් මේ බස් රථවල ගමන් කිරීමේ පහසුව තියෙනවා. ඒක නිසා මහජනතාවට සුඛෝපභෝගී බස් සේවාවක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ බස් රථ 122 කොළඹ සහ කොළඹ අවට බස් මාර්ග 7ක ක්‍රියාත්මක වෙනවා," නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
මාකුඹුර - කොටුව, මාකුඹුර - කඩවත, ඒකල - බත්තරමුල්ල, කහතුඩුව - කොටුව, පානදුර - දෙමටගොඩ, කඩුවෙල... මිලේනියම් - කොටුව, කොල්ලුපිටිය - වටරවුම් මාර්ගය ආශ්‍රිතව මෙම බස් සේවා ක්‍රියාත්මක වේ.
අලාභහානි කිරීමේ සිද්ධි මොනවා ද?
විශේෂයෙන්ම ගත්තොත් එහෙම, අපි පහුගිය දවස්වල නිරීක්ෂණය කරා දැන් ඊයේ වෙනවා සිදුවීම් දෙකක්. එකක් උදේ හතරට පමණ අතුරුගිරිය මිලේනියම් සිටි (Millennium City) අසලදී, පුද්ගලික බස් රථයක් හිතාමතා ම පිටුපසට අරගෙන මෙට්‍රෝ බස් රථයකට ඝට්ටනය කරනවා. විශේෂයෙන් ම ගත්තොත් එහෙම, මෙම රියැදුරු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී ඔහුට පී.ටී. (PT)... පොදු ප්‍රවාහන බලපත්‍රයක් නැහැ. මෙම රියදුරු ම විසින් මෙම බස් රථය පෙරේදා, ඒත් උදේ හතරට පමණ රාජගිරියේදී මෙට්‍රො බස් රථයක් අනතුරට පත් කරලා ඒකට අලාභහානි කරනවා. මේක හිතාමතා කරන බව මේ කාරණා අනුව පෙනී යනවා."
විශේෂයෙන් ම මේ... මේ වාහන... බස් රථ අයිතිකරුවන්, පොදු ප්‍රවාහන බලපත්‍රයක් නැති කෙනෙකුට තමයි මේක ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන් ම 2019... 2019 අංක 18 දරන මෝටර් වාහන පනතේ තියෙන ප්‍රතිපාදන අනුව, විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ, ඒ පනතේ 128 (ආ) සහ 128 (ඈ) වගන්තිය යටතේ පොදු ප්‍රවාහන බස් රථයක් එලවනවා නම් අනිවාර්යයෙන් ම 2015 එක යි... එකේ ඉඳන් අමාත්‍යතුමා රෙගුලාසි පනවලා තියෙනවා අනිවාර්යයෙන්ම ඒකෙනා පොදු ප්‍රවාහන බලපත්‍රයක් ලබාගත යුතු යි කියන කාරණාව. ඒක නිසා මේ වාහන අයිතිකරුවනුත් ඒ බව දැන දැන උල්ලංඝනය කරමින් මේ පොදු ප්‍රවාහන බලපත්‍රයක් නැති, නුපුහුණු, මගී ජනතාව ප්‍රවාහනය කිරීමට සුදුසු නැති රියැදුරන්ට දීලා තියෙනවා. විශේෂයෙන් ම මේක අපි දකින කාරණාවක් තමයි ඊයෙත් අනතුරක් සිද්ධ කරනවා, ඒත් මෙට්‍රෝ බස් රථයකට. ඒ වගේ ම රාජගිරිය ප්‍රදේශයේදීත් පෙරේදා සිද්ධ කරනවා. ඒක නිසා මේක හිතාමතා ම කරන බවක් දැන් අපි පොලීසියෙන් මේක... මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා."
"ඒ ආකාරයට ම, ඊයේ පාන්දර 3.15ට මාකුඹුරේ වාහන ගාල් කරන ස්ථානයේදී, මෙට්‍රෝ බස් රථයකට අලාභහානි සිදු කරනවා. රියැදුරා නෙමෙයි කොන්දොස්තර බස් රථය පිටුපසට අරගෙන ඒකත් හිතාමතා ම, ඒ කියන්නේ හිතාමතා ම කරපු බවක් තමයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. මේ රියැදුරට බස් රථ ධාවනය සඳහා සහ කිසි ම වාහනයක් ධාවනය සඳහා ලයිසන් (license) එකක් නැහැ. ඉතින් මෙවැනි කෙනෙකුට තමයි මේ වාහන අයිතිකරුවනුත් මේ වාහන භාර දීලා තියෙන්නේ."
එම අනතුරට සම්බන්ධ රියැදුරා හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ රථවාහන අංශයේ නිලධාරීන් බීමත්ව සිටී දැයි පරීක්ෂාවට ලක් කිරීමේදී මොහු බීමත්ව සිටින බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කළේ ය.
"අතුරුගිරිය සහ හෝමාගම බස් රථ එලවපු රියැදුරන් සහ ඒවාට අනුබල දීම සම්බන්ධයෙන්, පොදු ප්‍රවාහන බලපත්‍රයක් නොමැති අයෙකුට ලබා දීම සම්බන්ධයෙන්, රියැදුරු බලපත්‍රයක් නැති කෙනෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන්, ඒ අයිතිකරුවනුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දැනුවත් කරලා තියෙනවා."
මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක දිගින් දිගට ම මේක වෙන්න දෙන්න බැහැ. පොලීසිය විශේෂයෙන් ම අපරාධ නීතිය සහ ඊට අනුශාංගිකව නීතිය යටතේ සහ මෝටර් වාහන පනතේ තියෙන නීතිමය තත්ත්වයන් යටතේ මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා. විශේෂයෙන් ම පොලිස්පතිතුමා මේ බස් රථ ගමන් ගන්නා මාර්ගවල, ඒ බස් රූට්ස් (bus routes) හතේ, අයිති ඒ මාර්ගවල ගමන් ගන්නා මාර්ගවල ස්ථානාධිපතිවරුන්ට සහ දිස්ත්‍රික් භාර නිලධාරීන්ට, කොට්ඨාස භාර නිලධාරීන්ට, විශේෂයෙන් ම මාර්ගෝපදේශයක් දැන් නිකුත් කරන්න සූදානම් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වහා ම පියවර ගන්න සහ රථවාහන නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වෙන්න, සහ මාර්ග බාධකවලින් ඉඳන් සුපරීක්ෂාකාරී වෙන්න, සහ මේ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගන්න, සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ කරනවා නම්, මේ පොදු ප්‍රවාහන සේවය අඩාල කරන්න යම්කිසි කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව මේක කුමන්ත්රණකාරී ක්‍රියාවක් සිද්ධ කරනවා නම්, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා."
'චෝදනා සම්පූර්ණයෙන් බැහැර කරනවා'
පෞද්ගලික බස් හිමියන්ට සහ සේවකයින්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් අදහස් විමසීමක් කළේ ය.
ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේ ය.
"පොලිසිය නිකන් හඳෙන් බැහැලා වගේ කතා කරනවා. නමුත් මෙට්‍රො බස් එකට හිතාමතා අපේ බස් සේවක මහත්තුරු කවුරුවත් හිතාමතා හානි කරන්නේ නැහැ."
"ඒක සම්පූර්ණයෙන් ම බැහැර කරනවා. එහෙම සිද්ධාන්තයක් වෙන්නේ නැහැ. කවදාවත් එහෙම අපේ බස් රථ හිමිකරුවන්, මම දන්නේ නැහැ සේවක මහත්තුරුන්ගේ පැත්තෙන්. විශේෂයෙන් ම කියන්න ඕනේ, එහෙම කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට යම් අවහිරයක් වෙනවා නම්, ඒ කියන්නේ බස් රථය ධාවනය කරන්න බැරි වෙනකොට ගැටලු ඇති වෙනවා මහාමාර්ගයේ."
"ඉතින් මහා මාර්ගයේ සිදුවුණ ගැටලුවලට වග කියන්න ඕනේ අපේ නියාමනයක් යටතේ සිදු වෙන්න ඕනේ. මෙට්‍රො කියන්නෙත්, ඒගොල්ලෝ 13 වන සංශෝධනය අනුව මෙට්‍රො කියන්නෙත් ජාතික ගමනාගමන මණ්ඩලයේ ඒ අධීක්ෂණය යටතේ තමයි ඒගොල්ලෝ දුවන්න ඕනේ."
"ඉතින් ඒගොල්ලෝ නීතිය උල්ලංඝනය කරලා අපිට කියනවා, අපේ මේ බස් රථවලට 'මේක හිතාමතා කරන සාපරාධී ක්‍රියාවක්' කියලා. නමුත් ඉස්සෙල්ල ම කියන්න ඕනේ, ඒ මෙට්‍රො සමාගම, ආණ්ඩුව නීතිය උල්ලංඝනය කරලා... ඒවා හරියට ක්‍රියාත්මක වුණා නම් මේ කිසිවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මාර්ගයේ ඔය වගේ අනතුරු, ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ."
ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ, බස් රථ අතර තරගයක් නිර්මාණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ය.
"අවුරුදු ගණනාවක් මේ මිනිස්සු අපේ බස් රථ හිමිකරුවනුත්, සේවක මහත්තුරුත් ජීවත් වෙන්න ඕනේ කියන එක ආණ්ඩුවත් හැමෝමත් හිතන්න ඕනේ. ඒ මිනිස්සුත් මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ දරුවෝ, අඹුදරුවෝ ඉන්නවා, ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ."
"එතකොට මේ තරගය ඇති කරේ, බස් එකේ තරගය ඇති කරේ කවුද? තරගය ඇති කරේ මෙට්‍රො එක. එතකොට මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ 87/2008 තියෙනවා, ලංගම තියෙනවා නම් ලංගමට අනුකූලව අනිවාර්යයෙන් ම ඒගොල්ලෝ කාලසටහනකට අනුයුක්ත වෙලා තමයි බස් රථ ධාවනය කරන්න ඕනේ. බස් එකක් ඕවර්ලැප් (overlap) වුණා ම ලොකු ගැටලුවක්."
"ඒ වගේ ම දැන් මම මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්නා ආණ්ඩුකාරතුමාට. ආණ්ඩුකාරතුමාගේ ආණ්ඩුකාර ලේකම් යවලා තියෙනවා මධ්‍යම බස් සභාවට. මොක ද නීත්‍යනුකූලව මේ බස් සියල්ල ම ටෙන්ඩර් ක්‍රමවේදයකින් තමයි බස් බලපත්‍ර ගන්න ඕනේ. රටේ නීතියක් තියෙනවා නේ. රටේ නීතිය කාටත්, ඇමතිටත්, ජනාධිපතිටත් කාටත් පොදුයි. දැන් නීතිය ආරක්ෂා කරන්නනේ මේ ආණ්ඩුව ආවේ. එතකොට රටේ නීතිය පොදුයි කාටත්."
"දැන් මේ පොලිසිය හඳෙන් බැහැලා වගේ කතා කරනවා."
'ආණ්ඩුව නීතිය උල්ලංඝනය කරලා'
"අපේ ආදායම අඩු වෙලා නැහැ. පාරේ ගැටෙනවා. ඕක තමයි කතන්දරය. මම හැම එක්කෙනාට ම කිව්වා මෙට්‍රෝ බස් එකක් ගැන කියන එක හිතින්, මොළෙන්, හදවතින් අයින් කරන්න. මේ මෙට්‍රො නෙවෙයි, මෙට්‍රො කියලා ඇවිල්ලා මේ... ඔය ඒ.සී. (AC) එකක් දාලා, පාට දාලා, ආණ්ඩුවේ සල්ලි... ජනතාවගේ සල්ලිවලින් බස් එකක් දාලා දුවවනවා.
නමුත් මම කිව්වේ ඔය බස් එකේ කතන්දරේ තියෙන්නේ ඕක අපේ බස්, අපේ ජනතාවගේ බස් ඕවා. ජනතාවගේ සල්ලිවලින් අරන් තියෙන බස්. ඉතින් ඒ ගැන හිතන්න එපා කියලා මම අපේ බස් හිමිකරුවන්ට උපදෙස් දුන්නා, බස් සේවක මහත්තුරුන්ට උපදෙස් දුන්නා ඒ ගැන හිතන්න එපා. ලංගම බස් එකක් ධාවනය කරනවා කියලා හිතා ගන්න කියලා."
"ආදායම සත පහකින්වත් අඩු වෙලා නැහැ. නමුත් මෙතන වෙලා තියෙන්නේ, තරගකාරී ධාවනයට යොමු වෙලා... යොමු කිරීමක් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි කතන්දරේ මුළු ලංකාවේ ම. මෙට්‍රො බස් කතන්දරේ නෙවෙයි, ලංකාව පුරා ම ඔය කතන්දරේ තමයි තියෙන්නේ. බස් රථවල අනතුරු සිදු වෙන්නේ ඕක තමයි හේතුව. බස් රථ තව එකක් පරයා තව එකක් දුවනවා. ඕකට ඉංග්‍රීසියෙන් කියනවා, 'බස් ඕවර්ලැප් වෙනවා' කියලා."
"ඉතින් ඕකට මම 87/2008 අපි එකොළොස් වෙනි වගන්තියට අපේ සංගමයෙන් ඒකට තීන්දුවක් අරන් තියෙනවා. ඉතින් මේක ආණ්ඩුවත් උල්ලංඝනය කරලා තියෙනවා. හැමදෙයක් ම උල්ලංඝනය කරලා තියෙනවා. පොලිසියත් බොරුවට ප්‍රකාශ කරනවා මේ දේවල්වලට කියලා. ඉතින් කරුණාකරලා මමත් කියන්නේ, යම්කිසි දෙයක් රටක නීතියක් තියෙනවා නම් නීතිය හරියාකාරව ක්‍රියාත්මක විය යුතුයි."



































