ඔක්තෝබර් 7 එල්ල වූ 'දරුණුතම ප්‍රහාරයෙන්' වසර තුනකට පසු ආරක්ෂාවේ දුර්වලතා ගැන ඊශ්‍රායල් වැසියෝ වගවීම ඉල්ලති

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ලුසී විලියම්සන්
- Role, මැදපෙරදිග වාර්තාකරු
- වාර්තාකරණය, ජෙරුසලම සහ ක්ෆාර් ආසා සිට
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 10
බදාදා දිනයේ ගාසා තීරය ආශ්‍රිත ඊශ්‍රායල දේශසීමාවට ඉහළින් අහස එළිය වන්නට පටන් ගනිද්දී, 'ක්ෆාර් ආසා'හි (Kfar Aza) වැසියෝ නිහඬව ම එම කිබුට්ස් (kibbutz) ජනාවාසය මධ්‍යයේ පිහිටි අවි ගබඩාව දෙසට ගමන් කළහ.
2023 ඔක්තෝබර් 7 වන දින උදෑසන 7 පසුවී මද වේලාවකට පසු, එම ප්‍රජාවේ 14 දෙනෙකුගෙන් සමන්විත සිවිල් ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් අඩක් හමාස් සංවිධානයේ නායකත්වයෙන් යුත් ප්‍රහාරකයන් විසින් ඝාතනය කරනු ලැබුවේ එම ස්ථානයේදීය. එදින එම ප්‍රජාවෙන් ඝාතනයට ලක්වූ 64 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර තවත් 19 දෙනෙක් පැහැරගෙන යනු ලැබූහ.
එම ප්‍රහාරවල වේදනාව මෙහි තවමත් අලුත් අත්දැකීමක් ලෙස පවතී. නමුත් වසර තුනකට පසුව, ඊශ්‍රායලයේ ආරක්ෂක අසාර්ථකත්වය වෙනුවෙන් කවුරුන් වගකීම භාර ගත යුතු ද? යන්න පිළිබඳව ප්‍රශ්න මතු වෙමින් පවතී.
"මට මගේ රට වගකීම භාර ගන්න ඕන," යැයි ක්ෆාර් ආසා ප්‍රදේශයේදී සිය සහෝදරයා සහ ලේලිය ඝාතනයට ලක්ව, තවත් ඥාතීන් සිව්දෙනෙකු පැහැරගෙන යාමේ දුක්ඛිත සිදුවීමට මුහුණ දුන් ඉන්බාර් ගෝල්ඩ්ස්ටයින් පැවසුවාය.
1948 වසරේදී ඊශ්‍රායලය පිහිටුවීමෙන් පසු එරට මුහුණ දුන් දරුණුතම ප්‍රහාරය ඔක්තෝබර් 7 වන දා සිදුවූ ප්‍රහාරය යි. දේශසීමා වැට බිඳ දමමින් ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් විසින් දකුණු ඊශ්‍රායලයේ ජනතාවට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 1,200ක් පමණ මිය ගියහ. තවත් පුද්ගලයින් 251 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරය වෙත රැගෙන යනු ලැබූහ.
ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක අසාර්ථකත්වය සිදුවී වසර තුනක් ගත වී ඇතත්, එය සිදුවීමට ඉඩ ලැබුණේ කෙසේ ද? යන්න පිළිබඳව තවමත් කිසිදු ස්වාධීන රාජ්‍ය විමර්ශනයක් සිදු කර නොමැත.
එම අසාර්ථකත්වය සිදුවූ අවස්ථාවේදී වගකීම දැරූ පුද්ගලයා වන අගමැති බෙන්ජමින් නෙතන්යාහු, නැවත වරක් මැතිවරණයට ඉදිරිපත් වන්නේ, එම මැතිවරණ පොරොන්දුවම පෙරදැරිව ය; එනම්, සතුරන්ගෙන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමේදී අන් සියල්ලන්ටම වඩා ශක්තිමත් සහ දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීම බව පවසමිනි.
"ප්‍රහාරයේ මූලයන් ගැන කවුරුවත් විමර්ශනය කළේ නැහැ. එය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ හෝ අවසන් වුණ දෙයක් නෙමෙයි, ඒක අතහැර දැමීමේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක්," ගෝල්ඩ්ස්ටයින් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානයට ඇති වගකීමට අමතරව, රටේ බුද්ධි අංශ අසාර්ථක වීමට හේතු වූයේ කුමක් ද?, ප්‍රහාරයට පෙර හමුදා සහ දේශපාලන නායකයින් වෙත ලබා දුන් තොරතුරු මොනවා ද? සහ නෙතන්යාහු ඒ පිළිබඳව දැන සිටියේ කුමක් ද? යන්න පිළිබඳව ඊශ්‍රායලය තුළ ගැටලු මතු වෙමින් පවතී.
මාස ගණනාවකට පෙර, සැක සහිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ගාසා දේශසීමාවේ කඳවුරුවල යොදවා සිටි තරුණ කාන්තා සෙබළියන් ප්‍රහාරයක් සඳහා විය හැකි සූදානම පිළිබඳව ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ට අනතුරු අඟවා තිබිණි.
ඔවුන් අතර රොනි එෂෙල් ද වූවා ය. ක්ෆාර් අසා (Kfar Aza) අසල පිහිටි නහාල් ඔස් (Nahal Oz) හි පිහිටි ඔවුන්ගේ කඳවුරට සන්නද්ධ කණ්ඩායමක් කඩා වැදුණු අවස්ථාවේදී, ඇය ඇතුළු ඇගේ ඒකකයේ සාමාජිකයන් 14 දෙනෙක් ඝාතනයට ලක් වූහ.
"ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊජිප්තු ජාතිකයන් අගමැතිවරයාට අනතුරු ඇඟවීමක් කළා ද? එමිරේට්ස් රාජ්‍යය එසේ කළා ද? නෙතන්යාහු නොසලකා හැරිය වෙනත් අනතුරු ඇඟවීම් නොතිබුණා ද? එදා විතරක් නෙමෙයි, ඊට කලින් අවුරුද්දේදී සහ ඊටත් පෙර අවුරුදු පහකදී සිදු වූ දේ ගැනත් අපි දැනගන්න ඕන," ඇගේ මාමා වන එලාඩ් ලෙවි මා වෙත පැවසුවේ ය.
"සත්‍යය පැහැදිලි වෙන්න ඕන. අපි මේ ගැන විමර්ශනය නොකළොත්, මේ වගේ දේවල් නැවත නැවතත් සිදුවේවි," ඔහු තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
පසුගිය වසර තුන තුළ, නෙතන්යාහුට ඔහුගේ ම ආරක්ෂක ප්‍රධානියාගෙන් මෙන් ම කලාපයේ අසල්වැසි රාජ්‍යයන්ගෙන් අනතුරු ඇඟවීම් ලැබුණු බවට වන වාර්තා වැඩිවෙමින් තිබුණ ද, ඔහු ඒවා ප්‍රතික්ෂේප කර සිටියි.
පසුගිය මාසයේදී ඊශ්‍රායලයේ Haaretz පුවත්පත නව ග්‍රන්ථයකින් උපුටා ගත් කොටස් කිහිපයක් පළ කළ අතර, එමගින් චෝදනා කෙරුණේ ප්‍රහාරයට දින 10කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා විසින් විශාල මෙහෙයුමක් සඳහා හමාස් සංවිධානය සතුව තිබූ සැලසුම් පිළිබඳව අනතුරු ඇඟවීම සඳහා නෙතන්යාහුට දුරකතන ඇමතුමක් ලබා දුන් බව ය.
නෙතන්යාහුගේ කාර්යාලය එම වාර්තාව "සම්පූර්ණ බොරුවක්" ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු අදාළ පුවත්පතට එරෙහිව නඩු පවරන බව ද ප්‍රකාශ කර තිබේ.
ගාසා තීරයේ හමාස් සංවිධානයේ හිටපු නායක යහියා සින්වාර් එම ප්‍රහාරය පිළිබඳව දැනුම් දී තිබුණේ ඉතා සීමිත පිරිසකට පමණක් බැවින්, ඒ පිළිබඳව නෙතන්යාහු දැන සිටිය හැකි යැයි අදහස් කිරීම "හාස්‍යජනක සහ අතාර්කික" බව නෙතන්යාහුගේ 'ලිකුඩ්' (Likud) පක්ෂයේ සාමාජික අමීර් ඔහානා පසුගිය මාසයේ සමාජ මාධ්‍ය වීඩියෝවක් ඔස්සේ ප්‍රකාශ කළේ ය.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා එතැන් පටන් මැදපෙරදිග ප්‍රතිනිර්මාණය කළ බවත්, "ඊශ්‍රායලය තුළින් මෙන් ම ඉන් පිටතින් ද ඔහුට නතර වන ලෙස ඉල්ලීම් කෙරුණු අවස්ථාවලදී පවා" ඔහු තම උත්සහය අත් නොහළ බවත් ඔහු පැවසීය.
ඔක්තෝබර් 7 ප්‍රහාරවලට හේතු වූ ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් නෙතන්යාහු තමන්ගේ ම ආරක්ෂක ප්‍රධානීන්ට දෝෂාරෝපණය කර ඇත. ඔහු චෝදනා කරන්නේ, තත්ත්වය උග්‍ර කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පුළුල් ලෙස යෙදවීමට නියෝග කරනු ඇතැයි බියෙන් ඔවුන් හිතාමතා ම ප්‍රහාරයට පෙර පැය කිහිපයේදී තමන් අවදි නොකළ බව ය.
"දෙවියනි අපි අගමැතිවරයාව ඇහැරුවොත්, ඔහු 'වහා ම ඊශ්‍රායල හමුදාව සම්පූර්ණයෙන් ම සූදානම් කරන්න, ගුවන් හමුදාව යොදවන්න' කියයි නේ ද?" යැයි ඔහු ඊශ්‍රායලයේ දක්ෂිණාංශික Channel 14 රූපවාහිනී නාලිකාවට පැවසීය.
"ඔවුන් මාව අවදි කළා නම් මොනවා වෙයි ද? මේක සිදුවන්නේ නැහැ," ඔහු පැවසූ අතර, එමගින් ඔහු අදහස් කළේ තමාගේ ප්‍රතිචාරය මගින් ප්‍රහාරවලින් ඊශ්‍රායලය වඩාත් හොඳින් ආරක්ෂා කරගත හැකිව තිබූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊශ්‍රායලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ කෘති කිහිපයක කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වන යාකොව් කැට්ස්, එම ප්‍රහාරයට පෙර පැවති පැය කිහිපය තුළ හමාස් සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මතු වූ වර්ධනය වෙමින් පැවති තත්ත්වය පිළිබඳව ලිපියක් ලියා ඇත.
'While Israel Slept' (ඊශ්‍රායලය නින්දේ පසුවෙද්දී) නම් සිය කෘතිය තුළ, අලුයම් කාලයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් අතර හුවමාරු වූ දුරකථන සංවාද, නිවාඩු ලබා සිටි අණදෙන නිලධාරීන් හදිසියේ නැවත කැඳවීම සහ දේශසීමාව වෙත බුද්ධි අංශ ඒකකයක් යැවීම පිළිබඳව ඔහු විස්තර කරයි.
ඔහු මට පැවසුවේ, ඔවුන්ගේ අපේක්ෂාව වූයේ නරක ම අවස්ථාවකදී වුව ද හමාස් සටන්කාමීන් විසින් සිදු කරනු ලබන කුඩා හා සීමිත ආක්‍රමණයක් පමණක් බව ය.
"ආරක්ෂක ප්‍රධානීන් සියලු දෙනා ම මේක එතරම් විශාල තර්ජනයක් නෙමෙයි කියලා තියෙද්දී, [නෙතන්යාහු] ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවට දැවැන්ත පූර්ව ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කරන්නේ ඇයි? ඔහුව ඇහැරවුවත් ප්‍රතිඵලය වෙනසක් වන්නේ නැහැ," ඔහු පැවසීය.
නමුත් සිදුවෙමින් පැවති දේ හඳුනා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නෙතන්යාහුට වෙනත් ප්‍රශ්නවලට ද මුහුණ දීමට සිදුවූ බව ඔහු පැවසීය.
"ඔබ අගමැතිවරයා. ප්‍රතිපත්ති සකස් කරන්නේ ඔබ යි," ඔහු පැවසීය. "ඔබ 'පාලනය කිරීමේ' ප්‍රතිපත්තියක් සහ න්‍යායක් ගොඩනැගූ අතර, එය ගාසා දේශසීමාවේ මුර කුටියක රාජකාරි කරන අවසාන සොල්දාදුවා දක්වාම ක්‍රියාත්මක විය: එනම් හමාස් සංවිධානය පාලනය කිරීම, පලස්තීනුවන් එකිනෙකාගෙන් වෙන් කිරීම සහ පලස්තීන රාජ්‍යයක් බිහිවීම වැළැක්වීම සඳහා හමාස් සංවිධානය බලයේ රඳවා තබා ගැනීම යි."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
වසර ගණනාවක් පුරා, නෙතන්යාහු ගාසාහි හමාස් සංවිධානයට මුහුණදීම නොව එය පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් අධීක්ෂණය කළ අතර, එම කාලයේදී ඊශ්‍රායල රජය, කටාර් රාජ්‍යයට ගාසා සඳහා ඩොලර් මිලියන සිය ගණනක ආධාර ලබාදීමට ඉඩ දුන්නේ ය.
ඔක්තෝබර් 7 ප්‍රහාරවලින් මාසයකට පසු, තමා හමාස් සංවිධානය ශක්තිමත් කිරීමට අවශ්‍ය වූ බවට කෙරෙන ප්‍රකාශ "සම්පූර්ණ බොරුවක්" බව ඔහු ජර්මානු පුවත්පතකට පැවසීය.
"ඊට හාත්පසින් ම වෙනස්ව, හමාස් සංවිධානය හැකිතාක් දුරට තවදුරටත් දුර්වල කිරීමට අපට අවශ්‍ය වුණා," ඔහු Die Welt පුවත්පතට පැවසීය. "නමුත් එම මුදල් ලබා දුන්නේ සිවිල් වැසියන් මුහුණ දිය හැකි ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා ඊට හේතුව එය පමණ යි."
එම ප්‍රහාරයෙන් මාස කිහිපයකට පසු, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක බළකායේ එවකට මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලේවි ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි අතර, එම වගකීමේ බර තම උරහිස් මත මෙන්ම හදවත තුළ දරා සිටින බව පැවසීය.
ඔහු ඉල්ලා අස්විය. පසුව හමුදා ආඥාපතිවරුන් ගණනාවක් සේවයෙන් ඉවත් කළ අතර, ඊශ්‍රායලයේ දේශීය බුද්ධි අංශ ප්‍රධානියා ද සිය ධුරයෙන් ඉවත්ව ගියේ ය.
ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු පෞද්ගලික වගකීමක් භාර ගැනීම නෙතන්යාහු මෙතෙක් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔක්තෝබර් 7 දින ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ජාත්‍යන්තර ප්‍රකාශකයා වූ කර්නල් රිචර්ඩ් හෙච් මට පැවසුවේ, නෙතන්යාහු ඇතුළු දේශපාලන නායකයන් වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම තමා මාස හයකට පසුව ඉල්ලා අස්වීමට හේතු වූ කරුණුවලින් එකක් බව ය.
"එය ලැජ්ජා සහගත තත්ත්වයක්, වගවීම පිළිබඳව සලකා බලද්දී. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව තුළ ගැටලුවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. වේදනාවට කරුණ එය යි. දේශපාලන නායකත්වය සහ හමුදාව අතර පවතින අමනාපයට ප්‍රධාන හේතුවක් ඒක," ඔහු මට පැවසීය.
සඳුදා ජෙරුසලමේ පැවති අනුස්මරණ උත්සවයකදී, ඔක්තෝබර් 7 වන දින මියගිය අයෙකුගේ පියෙකු අගමැතිවරයාට අභියෝග කිරීම සඳහා නැගී සිටියේ ය.
"ඔබ මගේ පුතාව ආරක්ෂා කළේ නැහැ, ඝාතනයට ලක් වූ අය කිසිවෙකුත් ආරක්ෂා කළේ නැහැ, ලැජ්ජ යි! නින්දිත යි!" ආරක්ෂක නිලධාරීන් ඔහුව පිටතට ගෙන යන අතරතුර ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ප්‍රහාරයෙන් වසර තුනකට පසු, වගකීම භාර ගැනීම සඳහා වන ඉල්ලීම් වැඩි වෙමින් පවතී. රාජ්‍ය විමර්ශන කොමිසමක් පිහිටුවීමට රජයට බල කරන ලෙස ක්‍රියාකාරීන් ඊශ්‍රායලයේ ඉහළ ම අධිකරණයෙන් ඉල්ලා ඇත.
එනම් ඔක්තෝබර් 7 වන දින මිය ගිය සොල්දාදුවෙකු වූ යාරොන්ගේ පියා මෙන් ම හිටපු අමාත්‍යවරයෙකු සහ විපක්ෂ දේශපාලනඥයෙකු වන යිස්හාර් ෂායි ද එම ව්‍යාපාරයේ කොටස්කරුවෙකි.
"ඔක්තෝබර් 7 සම්බන්ධයෙන් අපි මේ මැතිවරණයට ඇතුළු වන්නේ ඇස් බැඳගත් තත්ත්වයකින්," ඔහු පසුගිය සතියේ ටෙල් අවිව්හි පැවති විරෝධතාවකදී මට පැවසීය. "අපේ අගමැතිතුමා කවදාවත් දිවුරුම් දී සවිස්තරාත්මක, සම්පූර්ණ පැහැදිලි කිරීමක් කළේ නැහැ, එහිදී ඔහුට දුෂ්කර ප්‍රශ්න අසනු ලබන අතර සියල්ල පැහැදිලි කිරීමට සිදු වනවා."
ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය පරීක්ෂණයක් නෙතන්යාහු නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෑතකදී තර්ක කළේ රටේ අධිකරණය ඔහුට එරෙහිව පක්ෂග්‍රාහී වනු ඇති බව ය.
මැතිවරණයක් කැඳවීමට පෙර, දේශපාලන පක්ෂ විසින් සාමාජිකයින් පත් කරනු ලබන විකල්ප "ජාතික විමර්ශන කොමිසමක්" පිහිටුවීමට ඔහුගේ රජය යෝජනා කළේ ය.
එහෙත් ජූලි මාසයේදී පාර්ලිමේන්තු සැසි වාරය අවසන් වීමට පෙර වෙනත් නීති රැසක් සම්මත කළ ද, විමර්ශනය සම්බන්ධ සැලසුම් දක්වන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බව ඊශ්‍රායල් රජය පැවසීය.
අපි ඔහුගේ ලිකුඩ් පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා සිටියද සාර්ථක නොවී ය. එමෙන් ම විවේචකයන්ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වන ලෙස අපි පක්ෂයෙන් ඉල්ලා ඇති අතර ඔවුන්ගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමු.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම මස අගදී නැවත මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන අතරතුර, වගකීම භාර නොගැනීම සම්බන්ධයෙන් නෙතන්යාහු දැක්වූ ප්‍රතිචාරය මේ වන විට මැතිවරණ ගැටලුවක් බවට පත්ව තිබේ.
ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට්ගේ කණ්ඩායම විසින් නිකුත් කරන ලද Sleepy Bibi නම් වීඩියෝ ක්‍රීඩාවක්, ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් මඟහැර "ආරක්ෂිතව ඇඳට ළඟාවීමට" අග්‍රාමාත්‍යවරයාට උදව් කරන ලෙස ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි.
දශක ගණනාවක් පුරා ඊශ්‍රායලයේ "ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා" (Mr. Security) ලෙස තමන්ව හඳුන්වා ගත් නෙතන්යාහු, ඊශ්‍රායල ඉතිහාසයේ දරුණුතම ආරක්ෂක අසාර්ථකත්වයට මුහුණ දීමට සිදුවූ අවස්ථාවකදී පවා, නැවත වරක් එම ආරක්ෂක ප්‍රතිපත්තිමය පදනම මත ම මැතිවරණයට ඉදිරිපත් වෙමින් සිටියි.
පසුගිය වසර තුන තුළ, ඔහු ඊශ්‍රායලයේ සතුරන් වන හමාස්, හිස්බුල්ලා සහ ඉරානයට එරෙහිව නව යුද්ධ දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කළේ ය.
ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ තරගය ඉතා තියුණු මට්ටමක පවතින බවත්, ඔක්තෝබර් 7 වන දා එල්ල වූ ප්‍රහාර බොහෝ ඡන්දදායකයින්ගේ තීරණවලදී ප්‍රධාන සාධකයක් වී ඇති බවත් ය.
යාකොව් කාට්ස් පවසන්නේ, ඔක්තෝබර් 7 උරුමය දෙපැත්තක් ඇති කාසියක් වැනි බව ය.
"හමාස් ආක්‍රමණයට මග පෑදූ අසාර්ථකත්වයන් සහ වැරදි තිබෙනවා, නමුත් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තක් ද තියෙනවා; එනම්, මැද පෙරදිග කලාපය නව හැඩයකට පත් කර අද වන විට ඊශ්‍රායලය වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත් කර ඇති බවට නෙතන්යාහු ඉදිරිපත් කරන තර්කයයි. ඡන්දය ප්‍රකාශ කිරීමට යන විට ඊශ්‍රායල ජාතිකයන් සලකා බලන තර්කය වන්නේ ද එය යි," ඔහු මට පැවසීය.
මෙම මැතිවරණයට එම ප්‍රහාරවල සෙවණැල්ල වැටී ඇති අතර, එය ඊශ්‍රායලය දේශපාලන මතවාද ඔස්සේ යළිත් වරක් බෙදීමට ලක් කර තිබේ.
ඊශ්‍රායලයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් අවශ්‍ය බව එය ඔහුගේ ආධාරකරුවන්ට තහවුරු කරයි.
ඔහුගේ දේශපාලන පැවැත්ම ඊශ්‍රායලය අවදානමට ලක් කරන බව විචාරකයෝ පවසති.



































