'මගේ අම්මයි තාත්තයි එකට මැරෙන්න තීරණය කළා, මට තනිව ම දුක දරාගන්න සිද්ධ වුණා'

Els, Jan and Bas. Els has short grey hair and is wearing glasses and a Navy top. Jan has brown, grey hair and a brown moustache which is big and bushy and wears a blue and white stripe polo top. Bas has short brown hair and is wearing a grey t-shirt underneath a navy and white top.
ඡායාරූප ශීර්ෂ වැකිය, බාස්, 1994 වසරේදී ඔහුගේ දෙමාපියන් වන එල්ස් සහ ජෑන් සමග ඡායාරූපයකට පෙනී සිටින අයුරු
    • Author, ලින්ඩා ප්‍රෙස්ලි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

මෙම ලිපියේ අන්තර්ගතයේ ඇතැම් කරුණුවලින් ඇතැම් පාඨකයන් කම්පනයට පත් විය හැකි ය!

2024 ජූනි මාසයේ එක් උදෑසනක, බාස්, නෙදර්ලන්තයේ උතුරු ප්‍රදේශයේ කුඩා වරායක නතර කර තිබුණු ඔහුගේ දෙමව්පියන්ගේ කැම්පර්වෑන් රථය අසල තමා පදවාගෙන පැමිණි මෝටර් රථය නතර කළේ ය.

ඔහුගේ පියා ජෑන් සහ මව එල්ස් සිය විවාහ ජීවිතයේ වැඩි කාලයක් ගත කර තිබුණේ ජලය මත යාත්‍රා කරමිනි. දැන් ඔවුන් දෙදෙනා ම 70 වන වියේ පසුවන අතර, තවදුරටත් හවුස්බෝට්ටුවක් (ජලය මත පාවෙන නිවසක්) පවත්වාගෙන යාමට තරම් ශක්තියක් ඔවුන්ට නොවීය. ඒ වෙනුවට, යාත්‍රා සහ කුඩා බෝට්ටු අසල නවතා තිබූ ඔවුන්ගේ කැම්පර් වෑන් රථය ඊට හොඳ ම විකල්පය විය.

ජෑන් සහ එල්ස් ඔවුන්ගේ පුතු පදවාගෙන ආ මෝටර් රථයට ගොඩ වූහ. බාස් එන්ජිම පණ ගැන්වීය. මෙය ඔහු ඔහුගේ මව්පියන් කිසියම් ස්ථානයකට රැගෙන යන අවසන් අවස්ථාව වනු ඇත. ජෑන් සහ එල්ස්හට ජීවිතයේ අවසන් අවධියේ සිටින රෝගීන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් වෙත යන මේ ගමන ඔවුන්ගේ අවසාන ගමන වනු ඇත.

එදින උදෑසන 10.30ට වෛද්‍යවරුන් විසින් ඔවුන්ට අනායාස මරණය සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීමට නියමිතව තිබිණි. ඒ අනුව ඔවුන් දෙදෙනා ම එකට ජීවිතයෙන් සමුගැනීමට නියමිත වූ අතර, නෙදර්ලන්තයේ මෙය හැඳින්වෙන්නේ, 'ද්විත්ව අනායාස මරණය' ලෙස ය. එය එරට නීත්‍යනුකූල නමුත් දුර්ලභ ක්‍රියාවලියකි. කෙසේ වෙතත්, සෑම වසරක ම මේ ආකාරයෙන් සිය ජීවිත අවසන් කිරීමට තීරණය කරන නෙදර්ලන්ත වැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

Els and Jan near a lake in 2012. Els has short grey hair and is wearing shaded glasses, patterned top and a large necklace. Jan has grey hair and a bushy moustache and is wearing a light blue shirt.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෑන් සහ එල්ස් සිය විවාහ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ, ජලය මත යාත්‍රා කරමිනි

අනායාස මරණය සඳහා ඔවුන් දෙදෙනා සහභාගී වීමට නියමිතව තිබූ දිනට දින තුනකට පෙර, ජෑන් සහ එල්ස් සිය කැම්පර්වෑන් රථය තුළදී බීබීසීය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්හ. නෙදර්ලන්තයේ අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා වසර ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජෑන් නිරන්තර වේදනාවෙන් පසුවිය. එල්ස්ට ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ඇති බවට ද හඳුනාගෙන තිබිණි. ඔවුන්ගේ කතාව ලොව පුරා අවධානයට ලක් වූ අතර, විවිධ රටවල එය පිළිබඳ අදහස් පළ විය.

දැන්, එම සිදුවීමෙන් වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇති තැන, ඔවුන්ගේ එක ම දරුවා වන බාස්, සිය මවගේ සහ පියාගේ මරණය කල් දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට ගත් උත්සහයන් පිළිබඳව හෙළි කරයි. ඒ අත රම, ජීවිතයෙන් සමුගැනීමට ඔවුන් ගත් තීරණයට සහය දීමට ද ඔහුට සිදු විය. මවුපියන්ගේ එම තීරණය තමන් මත පැටවූ දැඩි මානසික බර සහ ඉන් පසුව මුහුණ දීමට සිදු වූ ගැඹුරු තනිකම පිළිබඳව ද ඔහු මෙහිදී විස්තර කරයි.

අවසන් ගමන

බාස්, හොස්පිස් මධ්‍යස්ථානය වෙත යන ගමන සඳහා ෆ්‍රීස්ලන්ඩ් ප්‍රදේශයේ මනරම් තණබිම් සහ ඇළ මාර්ග පසුකර යන පරිදි සුන්දර මාර්ගයක් කලින් ම සැලසුම් කර තිබිණි.

''මට තාමත් මුළු ගමන ම මතකයි,'' ඔහු පවසයි. ඔහුගේ මව පිටුපස අසුනේ සිටි අතර ඔහුගේ පියා ඔහුට යාබද අසුනේ අසුන් ගත්තේය. පළමුව, ඔවුහු කතා කළහ. අනායාස මරණය තෝරා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් එල්ස් සිටියේ දැඩි අධිෂ්ඨානයකිනි.

"මගේ අම්මා ඒ තීරණය ගැන දැඩි විශ්වාසයකින් හිටියේ. ඒ දේ කරන්න ඇය ස්ථිරව ම තීරණය කරලයි හිටියේ," බාස් පවසයි. "නමුත් මගේ තාත්තා හිටියේ ටිකක් හැඟීම්බර වෙලා."

ඔවුන් මේ තීරණය ගැනීම නිවැරදි දැයි ජෑන් සිය පුතාගෙන් විමසීය. එය බාස්ව දැඩි පුදුමයට පත් කළේ ය. ඔහු සිතා සිටියේ මේ පිළිබඳව දෙගිඩියාවක් ඇති විය හැක්කේ සිය මවට බවයි.

"මගේ අම්මා හැමදාමත් ජීවිතය හරි ම සතුටින් විඳපු කෙනෙක්," ඔහු පවසයි. "මට මතකයි ඇය දවසක් මට කිව්වා, 'මම අවුරුදු 80ක්, සමහරවිට 90ක් වුණත් ජීවත් වෙන්න හරි ම කැමතියි' කියලා."

නමුත් ඔහුගේ පියා ඔහු විඳි වේදනාව නිසා දශකයකට වැඩි කාලයක් පුරාවට අනායාස මරණය ගැන කතා කරමින් සිටියේ ය.

මෝටර් රථය තුළදී බාස් සිය පියාගේ සිත සන්සුන් කළේ ය. ජෑන් සන්සුන් වූ පසු ඔවුහු කිසිවක් කතා නොකර ගමන් කළහ. සංගීතයට සවන් දෙමින්, මග දෙපස දිස් වූ සුන්දර පරිසරය නරඹමින් ඔවුහු ඉදිරියට ගියහ.

A black and white photo of a man and a woman on a sailing dinghy. Two other dinghies can be seen in the far distance on the water in the distant background.
ඡායාරූප ශීර්ෂ වැකිය, 1977 වසරේ ඡායාරූපයක දැක්වෙන එල්ස් සහ ජෑන්, රුවල් යාත්‍රා ධාවන තරගවලට දැඩි උනන්දුවක් දැක්වූ දෙදෙනෙකි

ඔවුන් මෙම ගමන යාමට පෙර ගත වූ මාස කිහිපය තුළ, සිය මවුපියන්ගේ මරණය කල් දමන ලෙස බාස් ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සහ කර තිබිණි.

"තව ටික කාලයක් ජීවත් වෙන්න කියලා මම ඔවුන්ට ඒත්තු ගන්වන්න උත්සහ කළා. ඇයි ශීත කාලය වෙනකම්, එහෙමත් නැත්නම් ලබන අවුරුද්ද වෙනකම් ඉවසලා බලන්න බැරි?"

බාස් සිටියේ දෙගිඩියාවකිනි. සිය මවුපියන් අනායාස මරණය ඉල්ලා සිටීමට ගත් තීරණය නිවැරදි බව ඔහු සිතුව ද, ඔවුන් මෙලෙස ජීවිතයෙන් සමුගන්නවාට ඔහු කැමති වූයේ නැත.

"මගේ තාත්තා අවුරුදු 10ත් 15ත් අතර කාලයක් මේ තත්ත්වයෙන් පීඩා වින්දා. ඒ නිසා ඔහුට තවත් අවුරුදු කිහිපයක් වුණත් ජීවත් වෙන්න තිබුණා. නමුත් මම හිතන්නේ, තවත් අවුරුද්දක් බලාගෙන හිටියා නම් මගේ අම්මාට ගැටලු ඇති වෙන්න තිබුණා..."

එල්ස් අනායාස මරණය සඳහා අයැදුම් කිරීම කල් දැමුවහොත්, ඇයගේ ඇල්සයිමර් රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් තිබිණි. එසේ වුවහොත්, තම ජීවිතය අවසන් කර ගැනීමට තීරණය කිරීමේ මානසික හැකියාව ඇයට තවදුරටත් නොමැති බවට විනිශ්චය වීමට ඉඩ තිබිණි.

රෝගී සත්කාර මධ්‍යස්ථානයේදී

බාස් වාහන නැවැත්වීමට ඉඩකඩක් සොයා ගත්තේ ය.

"මගේ තාත්තා මගේ කාර් එකටත් සමුදුන්නා. ඔහු මගේ කාර් එකට හරි ම කැමතියි. 'ගූඩ් ජොබ්' කියලා, 'ස්තුතියි' කියලත් ඔහු කිව්වා."

"ඊට පස්සේ අපි ඇතුළට ඇවිදගෙන ගියා," බාස් පවසයි. "ඒ වගේ දෙයක් කරන එක ගැන හිතලා බලන්න. ඔවුන්ගේ තත්ත්වයේ ඉඳගෙන, ඒ ගමන ඇවිත්, ඉන්පසු ඒ විදිහට ඇතුළට ඇවිදගෙන යන එක. ඒක හිතාගන්නත් බැරි තරම් අසාමාන්‍ය අත්දැකීමක්."

ඊළඟ පැය දෙක තුළ, එම යුවළගේ පවුලේ සාමාජිකයෝ සහ මිතුරෝ වරින් වර එහි පැමිණියහ. ඔවුහු අතීත මතකයන් අවදි කළහ. සංගීතයට ද සවන් දුන්හ. එක් අවස්ථාවකදී, සිදුවෙමින් තිබූ සියල්ල නතර කරන ලෙස ඉල්ලා සිටීමට බාස්ට සිතිණි.

"මට මෙහෙම සිතුවිල්ලක් ඇති වුණා. 'හරි, අපි මෙතැනින් යමු... ආපහු කාර් එකට ගිහින් වෙනත් තැනකට යමු' කියලා," ඔහු පවසයි. "නමුත් ඔවුන්ගේ තීරණය ගැන යම් දෙගිඩියාවක් ඇති වන ආකාරයේ දෙයක් කියන්න මට අවශ්‍ය වුණේ නැහැ. මොකද, මම මුල සිට ම ඒ සමස්ත [අනායාස මරණ] ක්‍රියාවලියට සහය දීලයි තිබුණේ."

"හැමෝම සන්සුන්ව තියාගෙන, ඒ මොහොතේ ඔවුන්ට සමුදීම වඩාත් සුදුසුයි කියලා මම හිතුවා."

උදෑසන 10.30ට මොහොතකට පෙර, ජෑන්ට සහ එල්ස්ට ජීවිතය අවසන් කරන ඖෂධ එන්නත් කිරීම සඳහා වෛද්‍යවරු පැමිණියහ. එම යුවළ රෝහල් ඇඳන් දෙකක එකිනෙකාට යාබදව වැතිර සිටියහ. සිහිසුන් වීමට පෙර ගත වූ ඒ අවසන් මොහොතේදී, සිය මවුපියන් අතර පැවති සමීප බැඳීම දැකගැනීමට බාස්ට හැකි විය.

"මගේ මුළු ජීවිත කාලයට ම ඔවුන් අත් අල්ලාගෙන ඇවිදිනවා මම දැකලා ඇත්තේ තුන් හතර වතාවක් විතරයි," ඔහු පවසයි. "නමුත් ඒ මොහොතේ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ අත් අල්ලාගෙන එහි වැතිර සිටියා. ඒ දර්ශනය මගේ හිතට ලොකු සැනසීමක් ගෙනාවා. ඔවුන් ඇත්තට ම මේ දේට මුහුණ දෙන්නේ එකටයි කියන හැඟීම මට ඇති වුණා."

මවුපියන්ගේ හුස්ම නතර වූ පසු ගත වූ පළමු පැය භාගය බාස් විස්තර කරන්නේ "සත්‍යයක් ලෙස පිළිගත යුතු දෙයක්" ලෙසයි. ඒ වන විට ඔවුන් තවදුරටත් ජීවතුන් අතර සිටියේ නැත.

"ඊට පස්සේ තමයි සිදුවී තිබෙන්නේ කුමක් ද කියලා ඇත්තට ම තේරෙන්නේ. ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම් හැඟීමක්."

Jan and Bas. Jan has brown hair and a brown moustache which is big and bushy and wears a white top and navy shorts and red flip flops. He is sitting on a foldable chair in a grass space as Bas stands nearby. Bas, photgrpahed when he was a toddler, has light blonde hair and is wearing a matching towelling top and shorts which are light blue and white striped
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෑන් හොකී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළේ ය. ඔහු බොහෝ අවස්ථාවලදී සිය පුතු ද තමන් සමග රැගෙන ගියේ ය

සත්කාර මධ්‍යස්ථානය තුළදී බාස් දැඩි ශෝකයකින් වෙළා ගත්තේ ය. ඉන්පසු ඔහුට ගැඹුරු තනිකමක් දැනෙන්නට විය.ය.

"ශෝකය කියන්නේ ඉතාමත් ගැඹුරින් අත්විඳීමට සිදුවන දෙයක්," ඔහු පවසයි. මට සහෝදර සහෝදරියන් නැහැ. ඒ නිසා මට ඇත්තට ම දැනුණේ මම තනිවෙලා කියලයි."

දෙමව්පියන් දෙදෙනා විසින් ඇතිදැඩි කරනු ලැබූ අයෙකුගේ මව හෝ පියා මියගිය විට, එක් අයෙකු සමග ඒ පිළිබඳ මතකයන් බෙදාගනිමින්, ශෝකය දරාගැනීමට හැකියාවක් තිබේ. එය ශෝකය සමග ජීවත් වීමේ ක්‍රියාවලියේ කොටසකි. නමුත් ජෑන් සහ එල්ස් දෙදෙනා ම එකවර ඔහුට අහිමි වී සිටියහ.

"ඒක මගේ කකුල් කපලා දැම්මා වගේ දෙයක්," බාස් සිහිපත් කරයි.

ඔහුගේ ශෝකය කායිකව ද දැනෙන්නට විය - සති හතරක් හෝ පහක් ඔහු අසනීපයෙන් පසුවිය. ඔහුගේ ශරීරය රිදුම් දෙන්නට විය.

"මම නම් මේක අන් අයට නිර්දේශ කරන්නේ නැහැ. ඒක ඇතැම්විට තරමක් අසීරු තීරණයක් වෙන්න පුළුවන්," ඔහු පවසයි. "මගේ මවුපියන්ට එය හොඳ ම විකල්පය වන්නට ඇති. නමුත් ඔවුන් දෙදෙනා ම එක ම මොහොතක අහිමි වීම මට ඉතාමත් දැඩි බලපෑමක් ඇති කළා."

A page of pictures from a family album show Bas and his mother watching sailboats and back home in his high chair being ded.
ඡායාරූප ශීර්ෂ වැකිය, එල්ස් සහ ජෑන්, බාස් කුඩා කාලයේදී ඔහුව රුවල් යාත්‍රා තරග නැරඹීමට රැගෙන ගියහ

ජෑන් සහ එල්ස් ඉක්මන් වුණා ද?

නෙදර්ලන්තයේ අනායාස මරණය සඳහා අයැදුම් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට, විශේෂයෙන් එල්ස් මෙන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පසුවන අයට, ජීවිතයෙන් සමුගැනීමට සුදුසු ම මොහොත තීරණය කිරීම සංකීර්ණ කාරණයක් විය හැකිය.

  • 2024දී නෙදර්ලන්තයේ පුද්ගලයින් 9,958 දෙනෙක් මෙම ක්‍රමය මගින් මරණය තෝරා ගත්හ.
  • 2024 වසරේදී අනායාස මරණය තෝරා ගත් අයගෙන් 427 දෙනෙකුට ඩිමෙන්ශියාව තිබිණි - හය දෙනෙකුට උග්‍ර ඩිමෙන්ශියා තත්ත්වය තිබිණි
  • එම වසරේදී පුද්ගලයින් 108 දෙනෙකු (යුවළ 54) ද්විත්ව - අනායාස මරණය තෝරා ගත්හ

මූලාශ්‍රය: ප්‍රාදේශීය අනායාස මරණ සමාලෝචන කමිටු (RTE)

දරාගත නොහැකි තරම් පීඩාවකින් පසුවන බව තහවුරු කිරීමට අමතරව, තමන්ට මරණය අවශ්‍ය බවට ස්වාධීනව තීරණය කිරීමේ මානසික හැකියාව තවදුරටත් පවතින බවට ද වෛද්‍යවරුන් විසින් ඔවුන්ව තක්සේරු කරනු ලැබිය යුතු ය. නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි ඉරැස්මස් වෛද්‍ය මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක සහ ආචාරධර්ම විශේෂඥවරියක වන වෛද්‍ය රොසමරේන් වැන් බෲකම් පවසන්නේ, අනායාස මරණය ගැන සිතන ඩිමෙන්ෂියා රෝගීන්ට මෙම තත්ත්වය දැඩි මානසික පීඩාවක් ඇති කළ හැකි බවයි.

"තමන්ට ඒ තීරණය ගැනීමේ හැකියාව දැන් තිබෙන බව ඔවුන් දන්නවා. නමුත් දැන් ම ඒ සඳහා කල් වැඩියි. ඒත් ලබන මාසය වනතුරු බලා සිටියහොත් එය ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. එහෙනම්, අනායාස මරණය සඳහා අවශ්‍ය නිර්ණායක තමන් සපුරනවා ද, ඒ සඳහා අවසර ලබාගත හැකි ද යන්න සොයා බැලීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ කුමන අවස්ථාවේ දීද කියලා තීරණය කරන්නේ කොහොම ද? මම වැඩි කාලයක් බලා සිටියහොත්, ඒ සඳහා තිබූ අවස්ථාව මගහැරී යාවි ද?"

වෛද්‍ය වැන් බෲකම් පවසන්නේ, නෙදර්ලන්තයේ අනායාස මරණය නීත්‍යනුකූල වීම නිසා ම තම රෝගීන්ට මෙවැනි මානසික පීඩාවක් ඇති වන බවයි. ඩිමෙන්ෂියා රෝගය උත්සන්න වූ අවස්ථාවකදී සහය ඇතිව ජීවිතය අවසන් කර ගැනීමට අවසර ලැබීම ඉතා දුර්ලභ බව ද ඔවුහු දනිති. එක්සත් රාජධානිය වැනි අනායාස මරණය තහනම් රටවල ඩිමෙන්ෂියා රෝගීන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය හැකි නමුත්, එල්ස් මෙන් ජීවිතය සහ මරණය අතර තීරණයක් ගැනීමට සිදුවන අවස්ථා ඔවුන්ට උදා වන්නේ ඉතා කලාතුරකිනි.

2024 වසරේදී ඇය බීබීසීය වෙත පැවසුවේ, තම ඇල්සයිමර් රෝගී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් තිබූ බැවින්, තමන්ටත් සැමියාටත් තවදුරටත් බලා සිටිය නොහැකි බවයි. එල්ස් සමග ම ජීවිතයෙන් සමුගැනීමට ජෑන් ද තරයේ අධිෂ්ඨාන කරගෙන සිටියේය. තමන් ඇතැම්විට ජීවිතයෙන් සමුගන්නේ කලින් විය හැකි නමුත්, තමන් ජීවිතය ගත කර අවසන් බවත්, ජීවිතයේ සියල්ල සම්පූර්ණ කර ඇති බවත් ඔහු එම අවස්ථාවේ බීබීසීය වෙත පැවසීය.

සියල්ල පවසා අවසන් ද?

A page from a photo album marked as the summer of 1985 showing various pictures of Bas and his father, on boats and playing near water.
ඡායාරූප ශීර්ෂ වැකිය, බාස්ට ද සිය මවුපියන්ගෙන් බෝට්ටු සහ ජලය කෙරෙහි වූ ඇල්ම උරුම විය

ජීවිතයෙන් සමුගැනීමට ගත් තීරණය තම පුතුට විශාල මානසික බරක් වන බව ජෑන් සහ එල්ස් හොඳින් ම දැන සිටියහ. අනායාස මරණය සඳහා වූ ක්‍රියාවලිය අතරතුර, ඔවුන් දෙදෙනා වෙන වෙන ම වෛද්‍යවරුන් සමග පැවැත්වූ සියලු සාකච්ඡාවලට බාස් ද සහභාගි විය. පවුලේ සාමාජිකයන් අතර මේ පිළිබඳව විවෘතව අදහස් හුවමාරු විය. බොහෝ විට, සමීපතමයෙකු මියගිය පසු අපට යම් පසුතැවීම් ඇති වේ. විශේෂයෙන් ම, ඔවුන්ට පැවසීමට තිබූ නමුත් නොපැවසූ දේවල් පිළිබඳව අපි පසුතැවෙමු. නමුත් බාස්ට එවැනි පසුතැවීමක් ඇති වූයේ නැත. ජෑන් සහ එල්ස් ජූනි 3 වන සඳුදා හෝස්පිස් මධ්‍යස්ථානයට යාමට නියමිතව තිබූ දිනට දින දෙකකට පෙර, බාස් ඔවුන් දෙදෙනාට ලිපියක් ලිවීය.

"ඒක පිටු අටක් විතර දිග ලිපියක්," බාස් පවසයි. "ඒ සිදුවීමට දින දෙකකට පෙර, සෙනසුරාදා රාත්‍රියේ බොහොම රෑ වෙලා මම ඔවුන්ගේ කැම්පර්වෑන් රථය ළඟට ගියා. මම මුළු ලිපිය ම ඔවුන්ට කියෙව්වා. ඒ ලිපියේ තිබුණේ අපේ ජීවිත ගැනයි. ඔවුන් මං වෙනුවෙන් කළ හැම දෙයක් ගැන ම ස්තුති කිරීමයි."

ජෑන් සහ එල්ස් එම ලිපියෙන් දැඩි ලෙස සංවේදී වූහ. ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ එකිනෙකාට ආදරය පළ කළේ ඉතා කලාතුරකින් මෙන් ම, පුතුට ද සාමාන්‍යයෙන් ආදරය සහ සෙනෙහස විවෘතව පෙන්වූ අය නොවූහ.

"ඔවුන් ඔබට ආදරය කරන බව ඔබට දැනෙනවා. නමුත් ඒ ආදරය පෙන්වන්නේ දේවල් කරලා මිසක්, ඒ බව වචනවලින් කියලා හෝ වැළඳගෙන නෙවෙයි," බාස් පවසයි. "මගේ අම්මාට ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ඇති වුණාට පස්සේ නම් ඇය මාව [වැළඳගත්] අවස්ථා වැඩි වුණා. නමුත් තාත්තා නම් කවදාවත් එහෙම කළේ නැහැ. ඔහුගෙන් මට කවදාවත් වැළඳගැනීමක් ලැබුණේ නැහැ."

එම අවසන් සෙනසුරාදා රාත්‍රියේ කැම්පර්වෑන් රථය තුළදී එම තත්ත්වය වෙනස් විය. ජෑන් සිය පුතු බාස් වැළඳගත්තේ ය.

"ඒ ලිපිය කියෙව්වාට පස්සේ තමයි ඔහු මාව වැළඳගත්තේ. ඒක මගේ ජීවිතයේ හොඳම අවස්ථාවලින් වෙන්න ඇති."

"කියන්න තිබුණු හැම දෙයක් ම අපි කිව්වා."