එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන අයුරු සජීවීව විකාශය කරන බව පෙන්ටගනය කියයි

US Secretary of Defense Pete Hegseth speaks ahead of US President Donald Trump at Anduril Industries in Sparrows Point, Maryland, on October 6, 2026. 

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, 2026 ඔක්තෝබර් 6 වන දින මේරිලන්ඩ් හි ස්පැරෝස් පොයින්ට් හි පිහිටි 'ඇන්ඩූරිල් ඉන්ඩස්ට්‍රීස්'  ආයතනයේදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර අදහස් දක්වයි.
    • Author, සරීන් හබේෂියන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු මරණ දණ්ඩනයට ලක් කිරීම මහජනතාවට නැරඹීමට හැකි වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු BBC වෙත පැවසුවේ 2009 දී ෆෝට් හුඩ් හිදී නිරායුධ එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ නිඩාල් හසන්ට ලබාදෙන මරණ දඬුවම සජීවීව විකාශය කරන බවයි.

මෙය දශකයකට ආසන්න කාලයක් තුළ එක්සත් ජනපදයේ සිදු කෙරෙන පළමු ප්‍රසිද්ධ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වනු ඇතැයි විශ්වාස කෙරේ. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සජීවීව විකාශය කිරීමට ගෙන ඇති තීරණය "නූතන යුගයේ පෙර නොවූ විරූ" ක්‍රියාවක් මෙන්ම "නීතිමය වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක්" නිර්මාණය කරන්නක් බව මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජෝන් මිල්ස් පැවසීය.

"මේ වගේ දේවල්වලට බරපතළ ප්‍රතිවිපාක තියෙනවා කියලා ජනතාව තේරුම්ගන්න ඕන." ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කියා සිටියේය.

එය සජීවීව විකාශය කිරීම "පිළිකුල්සහගත" ක්‍රියාවක් බවත්, එය 'ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය' විසින් සිදු කරන ලද මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම් සිහිගන්වනසුලු

වසර 60කට අධික කාලයකට පසු සිදු කෙරෙන පළමු හමුදා මරණ දණ්ඩනය ලෙස හසන්ව මරණයට පත් කරන බව පෙන්ටගනය මෙම සතියේ මුලදී නිවේදනය කර තිබුණි.

වර්ජිනියාවේ සිට පැමිණි එක්සත් ජනපද හමුදා මනෝ වෛද්‍යවරයෙකු වූ හසන්, ෆෝට් හුඩ් හි ජනාකීර්ණ වෛද්‍ය ගොඩනැගිල්ලක් තුළ නිරායුධ සොල්දාදුවන් 13 දෙනෙකුට වෙඩි තබා මරා දැමූ බව පිළිගත්තේය.

එම ප්‍රහාරයේදී හත් වරක් වෙඩි ප්‍රහාරයට ලක්වූ හිටපු එක්සත් ජනපද හමුදා සැරයන්වරයෙකු වන ඇලොන්සෝ ලන්ස්ෆර්ඩ්, වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ඔහු කළ ක්‍රියාවට "සුදුසු" එකක් ලෙස සලකමින් ඊට සහාය පළ කරන බව බීබීසී හි 'Today' වැඩසටහනට පැවසීය.

තරුණ පිරිසට ඉන් ලැබෙන පණිවිඩය පිළිබඳව සැලකිලිමත් වන ඔහු, මෙම සජීවී විකාශය (livestream) සැමට නැරඹීමට අවස්ථාව තිබිය යුතු යැයි නොසිතන නමුත්, වෙඩි තැබීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීම වැදගත් බව පවසයි.

"මියගිය අයගේ පවුල්වලටත්, දිවි ගලවා ගත් අයගේ පවුල්වලටත්, දිවි ගලවා ගත් පුද්ගලයන්ටත් අදාළව බලන විට, ඔව්, එය කිසිදු සංස්කරණයකින් හෝ වාරණයකින් තොරව නැරඹීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතුයි කියා මම සිතනවා."

ලන්ස්ෆර්ඩ් පවසන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවට සහභාගී වීමට තමා අදහස් කරන බවත්, වෙඩි තැබීමට පෙර හසන් තමාගේ දෑස් දෙස කෙළින්ම බැලිය යුතු බවත්ය. "ඔහු අසාර්ථක වූ බව ඔහු දැනගත යුතුයි. මම තවමත් ජිවත් වෙනවා."



2012 වසරේදී බලධාරීන් විසින් නිකුත් කරන ලද, දිනයක් සඳහන් නොවන හසන්ගේ ඡායාරූපයක්.
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොන්සර්වේටිව් මතයට සහය දක්වන රූපවාහිනී ආයතනයක් වන Real America's Voice සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙග්සෙත් පැවසුවේ හසන්ට "සෙබළුන්ගේ වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් මරණ දඬුවම ලබාදෙනවා. එය එසේ විය යුතුයි" යනුවෙනි.

හසන් අවසන් ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් කර තිබේද නැතහොත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබේදැයි විමසූ විට හෙග්සෙත් පැවසුවේ: "ඒක ගැන ගණන් ගන්න එපා. අපි ඔහුව දෙසැම්බර් 3 වැනිදා මුණ ගැහෙමු"

ආරක්ෂක ලේකම්වරයා විසින් එම නිර්දේශය සිදු කර ඇති බවත් ට්‍රම්ප් ඊට අනුමැතිය ලබා දුන් බවත් පෙන්ටගන් ප්‍රකාශක ෂෝන් පානල් පසුගිය සඳුදා ප්‍රකාශ කර තිබුණි.

පසුගිය වසරේ රටවල් 17 ක මරණ දඬුවම් 2,700 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබුණ ද, ඒවා මහජනතාව ඉදිරියේ ක්‍රියාත්මක කර ඇත්තේ රටවල් දෙකක් පමණි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව, 2025 වසරේදී ඉරානයේ ප්‍රසිද්ධියේ මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම් 11ක් සහ ඇෆ්ගනිස්ථානයේ තවත් 6ක් සිදු කර ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ටෙක්සාස් හි ෆෝට් හුඩ් හිදී දෙසැම්බර් 3 වන දින සිදු කිරීමට නියමිත බව එක්සත් ජනපද යුද හමුදා ලේකම්වරයා පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේය. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් සිදු කෙරෙන පළමු හමුදා මරණ දඬුවම මෙය වනු ඇත.

අධිකරණයේදී හසන්, "සිදු වූ යම් වැරදි සම්බන්ධයෙන්" සමාව අයැද සිටියේය. 2013 වසරේ පැවති යුද අධිකරණ විභාගයේදී ඔහු කියා සිටියේ තමන් විසින් ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම්වරුන් සහ තලීබාන් සංවිධානය ආරක්ෂා කරන බව තමන් විශ්වාස කළ බවයි.

හමුදා නීතියට අනුව, හමුදා මරණ දඬුවමක් සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ. ඒ සඳහා අභියාචනා සමාලෝචනයක් ද අවශ්‍ය වේ. එහිදී ඉහළ අධිකරණයක් තීරණය පරීක්ෂා කර, එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ අවසාන තීන්දුවක් ලබාදීම අවශ්‍ය වේ.

හසන් සම්බන්ධ අභියාචනා ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බව මිල්ස් පැවසීය. ඔහුගේ වරදකරු කිරීමේ තීන්දුව සහ දඬුවම ෆෙඩරල් අධිකරණයකදී නැවත සලකා බලන ලෙස ඔහු ඉල්ලා සිටීමට ඉඩ ඇති අතර, එමඟින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, එම මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් තමා පුදුමයට පත්වන බව මිල්ස් පැවසීය.

"වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සජීවීව විකාශය කිරීමට උත්සාහ කිරීම යනු ට්‍රම්ප් පරිපාලනය විසින් සිදු කෙරෙන අවධානය දිනා ගැනීමේ උත්සාහයක් පමණක් වන අතර, එය සිදු වීමට හෝ ඉන් යම් ආකාරයක හෝ යුක්තියක් ඉටු වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි." ඔහු වැඩිදුරටත් පැවසීය.

යේල් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු වන ඉයුජින් ආර්. ෆිඩෙල් බීබීසීයට කියා සිටියේ එය "ඇත්තෙන්ම කනගාටුදායක තීරණයක්" බවයි.

"මරණ දඬුවමක් සජීවීව විකාශය කිරීම මධ්‍යතන යුගයේ පැවති ක්‍රියාවක් වැනියි. සමාජයක් ලෙස අපි එවැනි දේවල්වලින් බොහෝ දුරට ඉදිරියට පැමිණ ඇතැයි මා සිතුවා. අඩුම තරමින් අද දවස වන තුරු මම එසේ සිතුවා," යැයි ඔහු පැවසීය.

හසන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියහොත්, එම "ක්‍රියාවලිය වසර ගණනාවක් පුරා ඇදී යනු ඇති" බවත්, එය "ධවල මන්දිරයේ ජනාධිපති ට්‍රම්ප්ගේ ධුර කාලයට වඩා බෙහෙවින් දීර්ඝ කාලයක් ගතවන්නක් වනු ඇති" බවත් ෆිඩෙල් පැවසීය.

2025 අප්‍රේල් 11 වන දින දකුණු කැරොලිනාවේ කොලොම්බියා හි පිහිටි බන්ධනාගාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිටතින් බිම මත විරෝධතා පුවරුවක් තබා ඇත; ඒ, එම ප්‍රාන්තයේ සිරකරුවෙකු වන මිකාල් මහ්දි  හට වෙඩි තැබීමේ කණ්ඩායමක් (firing squad) මගින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අවස්ථාවට පෙරය. රාජකාරියේ නොයෙදී සිටි පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීට වසර 20කට පෙර මහ්දිට මරණ දඬුවම නියම විය.

සමහර ප්‍රාන්තවල මරණ දඬුවම් සම්බන්ධයෙන් යම් ආකාරයක මහජන නිරීක්ෂණයක් අවශ්‍ය වේ. බොහෝ ප්‍රාන්තවල මාධ්‍යවේදීන්ගේ පැමිණීම අනිවාර්ය කර ඇති අතර, මරණ දඬුවමට මුහුණදෙන පුද්ගලයාටද තමා කැමති පුද්ගලයින්ට ආරාධනා කළ හැකිය. තවත් ප්‍රාන්තවල සාමාන්‍ය පුරවැසියන්ටද සාක්ෂිකරුවන් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇත.

නමුත් ෆෝඩ්හැම් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්යවරියක වන සහ එක්සත් ජනපදයේ මරණ දඬුවම් ක්‍රමවේද අධ්‍යයනය කර ඇති ඩෙබොරා ඩෙනෝ පවසන්නේ "සජීවීව විකාශය කරන ලද මරණ දඬුවමක් කිසිදිනෙක සිදුවී නැහැ" යනුවෙනි.

සජීවීව විකාශය කෙරෙන මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීම මගින් "රටේ මින් පෙර කිසිදා දැක නොතිබූ මට්ටමේ විනිවිදභාවයක් ඇති කිරීමට බලපෑම් එල්ල වනු ඇතැයි" ඇය පැවසුවාය.

"රටේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකට කැමැත්තක් දක්වනවා. ඒක ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණත් මෙවැනි තර්කයක් ඉදිරිපත් වෙන්න පුළුවන්: 'ඔබ මරණ දඬුවමට සහාය දක්වනවා නම්, මේ රටේ ඒක ක්‍රියාත්මක කරන ආකාරය ඔබට පෙන්වනවා කියලා'. එතකොට බොහෝ දෙනා නොසලකා හරින ආකාරයේ ක්‍රියාවලියක් තුළ ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද කියලා ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට සිදුවේවි."

සජීවී විකාශයක් සම්බන්ධයෙන් වයස් සීමාවන් තිබේද, සහ එමඟින් එය විකාශනය කරන අන්තර්ජාල වේදිකාවේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නේද යන කරුණු ඇතුළු වැදගත් සාධක සලකා බැලිය යුතු බව ඩෙනෝ පැවසුවාය.

නිඩාල් හසන්  හමුදා ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපයක්

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දත්ත අනුව, පසුගිය වසරේ වැඩිම මරණ දඬුවම් සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ රටවල් වූයේ පිළිවෙළින් චීනය, ඉරානය, සෞදි අරාබිය, යේමනය සහ එක්සත් ජනපදයයි.

ට්‍රම්ප්ගේ පළමු ජනාධිපති ධුර කාලයේ අවසාන වසර වන තුරුම වසර 17ක් පුරා එක්සත් ජනපද රජය කිසිවෙකුටත් මරණ දඬුවම ක්‍රියාත්මක කර නොතිබූ අතර, එම වසරේදී රජය විසින් මරණ දඬුවම් 13ක් එක දිගට ක්‍රියාත්මක කරන ලදී.

එරට අවසන් වරට හමුදාමය මරණ දණ්ඩනය ක්‍රියාත්මක වූයේ 1961 වසරේදීය; ඒ, 11 හැවිරිදි ඔස්ට්‍රියානු දැරියක් දූෂණය කිරීමේ වරදට වරදකරු වූ එක්සත් ජනපද හමුදා සෙබළෙකු එල්ලා මරා දැමීම මගිනි. එකල ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර්ගේ අනුමැතිය මත මෙම දඬුවම ක්‍රියාත්මක කෙරුණු අතර, වින්දිත දැරියගේ පවුලේ අය ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජෝන් එෆ්. කෙනඩිගෙන් ඒ සඳහා සමාව ඉල්ලා සිටියද එය නොතකා දඬුවම ක්‍රියාත්මක කරන ලදී.

වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් සිදු කළ අවසන් හමුදාමය මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ 1945 ජනවාරි මාසයේදීය; ඒ, දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ එක්සත් ජනපද හමුදාවෙන් පලා ගිය තරුණ සෙබළෙකු වූ එඩී ස්ලොවික් (Eddie Slovik) වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය.

අතිරේක වාර්තාකරණය : ක්වාසි ජ්‍යම්ෆි අසීඩු සහ කාලි හේස්