ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ගෝඨාභය රාජපක්ෂ
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (ඔක්: 09) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

ඒ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව ය.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළ බව ය.

එම රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කළ බව ද පෙත්සමේ සඳහන් වේ.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු, ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ඉවත්කර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.