එල්නිනෝ: 'වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට'

    • Author, සම්පත් දිසානායක සහ සිදේශ් අනුරංග - මොනරාගල සිට
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

"මේ නියඟය නම් දරුණුයි අපිට සෑහෙන්න, රෑට ඉන්නත් බැහැ, දවල්ට ඉන්නත් බැහැ කොහොමටවත් දෙයියනේ," යැයි මොනරාගල, කොටියාගල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. කරුණාවතී බීබීසී සිංහල වෙත පැවසුවාය.

කරුණාවතී සහ පුංචිරාළ යුවළ පදිංචිව සිටින්නේ, මොනරාගල කොටියාගල කරකොළගස්පිටිය ප්‍රදේශයේ යි.

දරුවන් 5 දෙනෙකුගේ මවක් වන ඇය දැන් දිවිගෙවන්නේ සිය ස්වාමි පුරුෂයා සහ අවිවාහක පුතු සමගයි.

ශ්‍රී ලංකාවේ දිළිඳුතම දිස්ත්‍රික්කවලින් එකක් වන මොනරගල දිස්ත්‍රික්කයේ පදිංචි මෙම පවුලට ඔවුන් මුහුණ දී සිටින ප්‍රශ්න ගොන්නට දැන් තවත් බරපතළ ප්‍රශ්නයක් එකතු වී තිබේ. ඒ, එල්නිනෝ කාලගුණ තත්ත්වය සමග දරුණු වී ඇති නියඟයයි.

උණුසුම් කාලගුණය නිසා, බොහෝවිට කරුණාවතී සහ පවුලේ සෙසු සාමාජිකයින් දහවල් කාලයෙන් වැඩි කාලයක් ගත කරන්නේ නිවස පිටුපස ගසක සෙවණක් යටය.

විටින් විට හමන වේගවත් සුළඟ ද දැඩි උණුසුමකින් යුක්තය.

අප යන විට නිවස වටා පිහිටි ගස් බොහෝමයක් වියළි ගොස් තිබූ අතර ඒවායේ කොළ පැහැය දුර්වල වී කහ පැහැයට හැරී තිබිණි.

කරුණාවතීගේ නිවස මැටියෙන් තනා ඇති අතර නිවසේ උළු සෙවිලි කර තිබේ. මුලුතැන්ගෙයි කොටස ද මැටියෙන් තනා තිබුණත් ඊට සෙවිලිකර ඇත්තේ තහඩුය.

රාත්‍රී කාලයේදී නිවස තුළ උණුසුම වැඩි නිසා, රාත්‍රී කාලයේද වැඩි වේලාවක් එළිමහෙන් ගත කරන කරුණාවතී නිදිමත ගතිය වැඩි වූ විට පමණක් නිවස තුළට ගොස් නිදා ගන්නා බව අප සමග පැවසුවාය.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු, මේ දක්වා ප්‍රමාණවත් වැස්සක් නොලැබීමෙන් කරුණාවතීගේ පවුල අන්ත දුක්ඛිත තත්ත්වයකට මුහුණ පා සිටින අතර ඔවුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය බීමට අවශ්‍ය ජලය ලබා ගැනීමය.

ගෙවත්තේ පිහිටි ළිඳ සිඳි ගොස් ඇති අතර ඉන් ඔවුන්ට ලබා ගත හැකිව ඇත්තේ දිනකට වතුර කළ ගෙඩි දෙකකි.

දැනට යාබද නිවසකින් බීමට ජලය ලබා ගන්නා ඔවුන් වෙනත් දෛනික අවශ්‍යතා සඳහා ජලය ලබා ගන්නේ නිවසට මීටර් 400ක් පමණ දුරින් පිහිටි ඔයකින් ලබා ගන්නා ජලයෙනි.

එයද සිඳී ගොස් ඇති අතර, සතියකට දින තුන හතරකට වරක් එම ඔයට ගොස් ස්නානය කරන බවත් ඇය කියා සිටියා ය.

කෙසේ නමුත් ඔයට ගොස් දිය නෑමද ජීවිත අවදානමක් බවට ඇත්තේ එම ස්ථානය අසලට නිතර නිතර වනඅලි පැමිණිම හේතුවෙනි.

ගොවිතැන මූලික අදායම් මාර්ගය කරගත්, කරුණාවතීගේ සහ පුංචිරාළගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය නියඟය නිසා සම්පූර්ණයෙන් ම බිඳ වැටී අවසන්ය.

ඔවුන්ගේ කුඹුර, අස්වැන්න නෙළා ගැනීමට පෙර ම, ජලය නොමැතිව විනාශයට පත්ව තිබේ.

ඊට අමතරව මුංඇට වගාව ද සම්පූර්ණයෙන් ම විනාශයට පත්ව ඇති අතර, ගෙවත්තේ ඇති, අන්නාසි, දෙහි, දොඩම්, බඩඉරිඟු ඇතුළු වගාවන් සම්පූර්ණයෙන් ම පාහේ විනාශයට පත්ව තිබේ.

"වැස්සේ නැත්නම් ඉතින් මේ අවුරුද්ද ජීවත් වෙන්න වෙන්නේ නෑ අපිට, කොහොම ඉතිං ජීවත් වෙනව ද වැස්ස නැතිව, මොන දේ වුණත් පොළවට දා ගන්න වැස්ස තියෙන්න එපැයි, තියෙන තියෙන එක මැරීගෙන යනවා, බොන්න තියෙන වතුර ටික නැති වේගෙන යනවා… ඉතිං කොහොම ද? දිග සුසුමක් හෙළමින් කරුණාවතී අප සමග කියා සිටියාය.

එල්නිනෝ යන වචනය ගැන ගුවන් විදුලියේ සහ රුපවාහිනියේ ඇතැම් අය කියන බව තමන් අසා තිබුණත්, ඉන් තමන්ගේ ජීවිතයට මෙතරම් බලපෑමක් වනු ඇතැයි තමන් විශ්වාස නොකළ බව කරුණාවතී සඳහන් කළාය.

"කලින් ඕව ගණන් ගත්තේ නැහැ මං. දැන් ඉතින් ගණන් ගන්නවා, දැන් ඉතිං ඇත්තම හිතුණා, දැන් මේ අපිට වෙලා තියෙන වැඩේට."

"කලින් විශ්වාසයක් තිබ්බේ නැහැ. මං හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. කොච්චර හොඳට අපි ජීවත් වෙච්ච එක ද මේ අද මෙහෙම වෙලා තියෙන්නේ."

පුංචිරාළ අප වෙත කියා සිටියේ තම ගෙවත්තේ තිබූ ලිඳ මීට වසර 8කට පෙර මෙලෙස සිඳී ගොස් තිබුණත්, මෙතරම් දරුණු නියඟයකට තමන් කිසිදිනක මුහුණ දී නැති බවයි.

වියළි කාලගුණයෙන් බලපෑමක් එල්ලවී ඇත්තේ, මොනරාගල පදිංචි පුංචිරාළට හෝ කරුණාවතීට පමණක් ම නොවේ.

අප කළ සංචාරයේදී වගා විනාශය නිසා පීඩාවට පත්ව සිටින තවත් ගෝවීන් රැසක් අප සමග කතා කළහ.

එහිදී අපට අවබෝධ වූයේ ජල කළමනාකරණයේ දුර්වලතා නිසා වගා විනාශ වී ගොවීන්ට පාඩු විඳින්නට සිදුව ඇති බවයි.

ජලපාලක දුන් උපදෙස් අනුව කුඹුරු වගාව ආරම්භ කළත්, දැන් ජලය නොමැතිව වගා හානිවීම ගැන තැවෙමින් සිටින ගොවීන් පිරිසක් ද අපට හමුවිය.

නිසි පරිදි වගා උපදෙස් ලැබුණේ නම්, කුඹුරු වගාව අතහැර වෙනත් ගොඩ ගොවිතැනක් වෙත යොමු වීමට අවස්ථාව තිබුණු බව ද ගොවීහූ අප සමග කියා සිටියහ.

කුඹුරු අස්වැද්දීම සඳහා ණය ලබා ගත් ගොවීහූ දැන් එවා ගෙවීමේ අභියෝගයකට මුහුණ පා සිටිති.

වගා හානි සඳහා මෙතෙක් වන්දියක් ලැබී නොමැති අතර, රජයෙන් ඒ සඳහා කඩිනමින් වන්දියක් ලැබෙනු ඇතැයි ඔවුහු අපේක්ෂාවෙන් පසුවෙති.

ස්වභාව ධර්මයෙන් කෙතරම් පීඩාවන් එල්ල වුණාත්, මේ ජනතාව තවමත් බලාපරොත්තු අතහැර දමා නොමැත.

ඔවුන් මෙම තත්ත්වය සලකනු ලබන්නේ, තාවකාලික අභියෝගයක් ලෙසයි.

ඔවුන් පවසන්නේ, වැසි වැටුණු සැණින් යළි වගාව ආරම්භ කර ජීවිත ගොඩනඟා ගැනීමේ බලාපොරාත්තුවෙන් පසුවන බවයි.

පුද්ගලයින් 81000කට පීඩා

මොනරාගල, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක 81,865ක පිරිසක් එල්නිනෝ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඉන් 33,000කට අධික පිරිසක් වාර්තා වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි.

එල්නිනෝ කාලගුණ තත්ත්වයේ බලපෑම නිසා, මෙම ජනතාව දැන් මෙම වියලි කාලගුණයට මුහුණ දී සිටින්නේ, මාස 04ක පමණ කාලයක සිටයි.

ඒ අනුව පවුල් 23,040ක පුද්ගලයින් 72,153කට ජලය බෙදා හරින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිළිඳුකම, වගා හානි සහ වන අලි තර්ජන මැද මේ ජනතාව දිවිගෙවන්නේ ආර්ථික අපහසුතා රැසක් මැදයි.

වියළි කාලගුණය නිසා ප්‍රදේශ රැසක කුඹුරු වගාවන්, දෙහි , දොඩම්, අන්නාසි, පොල් වැනි වගාවන්ට දැඩි විනාශයක් සිදුව තිබේ.

දැනට ප්‍රදේශයේ ඇති එක් ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ පිරිසිදු පානීය ජලය විකිණිමයි.

මොනරාගල දිස්ත්‍රිත්කයේ කුඩා වැව් රැසක් ද මේවන විට අඩියට ම වියළී ගොස් තිබේ.

ඒ අතරට ඇතිමලේ ජලාශය, හුලංදාව වැව ඇතුළු කුඩා වැව් අමුණු රැසක් ඇතුළත්වේ.

ලබන මස මුල් සති දෙක තුළත් වැසි අඩු කාලගුණ තත්ත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ලබන මස මුල් සති දෙක තුළ ද වැසි අඩු කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි.

සැප්තැම්බර් අග සතිය වන විට හෝ ඔක්තෝබර් පළමු වන දා වන විට දිවයින පුරාම පාහේ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ කියා සිටියේය.

ඔක්තෝබර්, සිට දෙසැම්බර් දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළත්, ලබන වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වැසි අඩු වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බීබීසී සිංහල වෙත පැවසීය.

මේ අතර 2027 වසර ඉතිහාසයේ වාර්තාගත උණුසුම් ම වසර වීමට "ඉතා විශාල ඉඩකඩක්" පවතින බවත්, පැසිෆික් සාගරය පුරා වර්ධනය වෙමින් පවතින එල් නිනෝ (El Niño) තත්ත්වය, අපේ මතකයේ ඇති ප්‍රබල ම දේශගුණික සංසිද්ධිය වීමට ඉඩ ඇති බවත් බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය අනතුරු අඟවා තිබේ.

මෙම ප්‍රබල ස්වභාවික දේශගුණික සංසිද්ධිය ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන අතර, ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද වැඩි කළ හැකියි.