ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නන්දා මාලිනී: සිංහල ගීත ක්ෂේත්රයේ කාන්තා හඬ පෞරුෂය සදහට ම නිහඬ වෙයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
සිංහල ගීත ක්ෂේත්රයේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස දශක ගණනක් පුරා අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ නන්දා මාලිනී අද (අගෝ: 20) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
1943 වසරේ අගෝස්තු මස 23 වන දා මෙලොව එළිය දුටු ඇයගේ 83 වන උපන් දිනය සැමරීමට නියමිතව තිබුණේ, ලබන ඉරිදා (අගෝ: 23) දිනයේදී ය.
නාවල පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ළමා විය
1943 අගෝස්තු 23 වන දා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලෙව්වන්දූව ග්‍රාමයේදී උපත ලැබූ ඇයට නම් තැබුවේ, මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා යනුවෙනි.
ඇයගේ පියා වූ වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නෙකු වූ අතර මව වූ එමිලි පෙරේරා ගෘහණියක වූවා ය.
දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා ලෙස නන්දා මාලිනී උපත ලැබුවා ය.
නව යොවුන් වියේදී කොළඹ, කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය, ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා ය.
ඇය කුඩා කල දුෂ්කර ජීවිතයක් ගත කළ ඇය පසුකලෙක ඒ.ඩී. රංජිත් කුමාර සමග කළ සාකච්ඡාවකදී පළ කර තිබූ අදහස්වලින් පැහැදිලි වෙයි.
"මට එයාෂිප් තරගයෙන් මුල් තැන ලැබීම නිසා බොම්බායට යාමට ගුවන් ටිකට් පත් දෙකක් ලැබුණා. ඒ ගමන නොයනවා නම් රු. 1200ක් ලබා ගැනීමේ අවස්ථාව තිබුණා. ඒ වන විට අපේ ගෙදරට විදුලිය තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පුවෙන් පාඩම් කළේ. මට ලැබුණු ගුවන් පත් වෙනුවට අර මුදල ලබා ගත්තා. ඒ මුදලින් අපේ ගෙදරට ලයිට් අරන් ඉතිරි මුදලින් ඉස්තිරික්කයකුත් මාලයකුයි ගත්තා," නන්දා මාලිනී එහිදී පවසා තිබිණි.
ගායන ශිල්පිනියක ලෙස පැමිණි ගමන්මග
1956 දී බොරැල්ල YMBA ශාලාවේදී පැවති 'පද්‍ය ගායනා' තරගයට ඇය සහභාගී වූ අතර, එහිදී ඇය රන් පදක්කමක් දිනා ගත්තා ය.
එම පද්‍ය ගායනා තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 'රේඩියෝ සිලෝන්'හි (Radio Ceylon) විකාශය වූ කරුණාරත්න අබේසේකරගේ ජනප්‍රිය වැඩසටහනක් වන 'ළමා මණ්ඩපය' සඳහා ගීතයක් ගායනා කිරීමට ඩබ්ලිව්.ඩී. අමරදේව විසින් ඇයට ආරාධනා කරන ලදී.
එහිදී ඇය, අශෝක කොළඹගේ විසින් රචනා කරන ලද, ඩී.ඩී. ඩැනී විසින් සංගීතවත් කරන ලද 'බුදු සාදු' ගීතය ගායනා කළා ය.
1963 වසරේදී, ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගායනය සඳහා පණ්ඩිත් අමරදේවයන් විසින් මාලිනී තෝරා ගන්නා ලදී.
චන්ද්‍රරත්න මානවසිංහ විසින් එම චිත්‍රපටය වෙනුවෙන් රචනා කරන ලද 'ගලන ගඟකි ජීවිතේ' ගීතය, නාරද දිසාසේකර සමග එක්ව ඇය ගායනා කළා ය.
එම වසරේ සංගීත අංශයේ සියලු ම සරසවි සම්මාන එම චිත්‍රපටය දිනාගත් අතර, එහිදී හොඳ ම ගායිකාවට හිමි සම්මානය මාලිනී විසින් දිනා ගන්නා ලදී.
එය ඇය ලැබූ ප්‍රථම ප්‍රධාන පෙළේ සම්මානය විය. එතැන් පටන් ඇය චිත්‍රපට රැසක ගායනයෙන් දායක වී ඇති අතර, සරසවි සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8ක් දිනාගෙන තිබේ.
1995-98 කාලසීමාව තුළ ජනප්‍රියතම ගායිකාව ලෙස ද සම්මානයට පාත්‍ර වී ඇත.
ඉදිරි අධ්‍යාපන කටයුතු
ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ද නන්දා සිය පුහුණුව අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, ඇය බී. වික්ටර් පෙරේරා යටතේ සංගීතය හැදෑරුවා ය.
ඇය වසරක කාලයක් හේවුඩ් කලා ආයතනයේ (Heywood Institute of Art) අධ්‍යාපනය ලැබූ අතර, 1963 දී ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩේ සංගීත ආයතනයට (Bhatkhande Music Institute) ඇතුළත් වූවා ය.
පසුව ඇය 1984 වසරේදී 'පළමු පෙළ විශිෂ්ට සාමාර්ථයක්' (First Division Distinction) සහිතව 'විශාරද' උපාධිය ලබා ගත්තා ය.
1984 දී ඇය 'නන්දා මාලිනී ආශ්‍රමය' නමින් සංගීත ඇකඩමියක් ආරම්භ කළ අතර, ඉන් පරම්පරා ගණනක දරුවන් රැසක් සමග සංගීත දැනුම බෙදා ගත්තා ය.
සංගීත ප්‍රසංග
1971 වසරේදී නන්දා, අමරදේවයන් සමග එක්ව "ශ්‍රවණ ආරාධනා" ප්‍රසංගය ඉදිරිපත් කළා ය. 1973 දී ඇය සිය ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංග මාලාව ආරම්භ කළ අතර, ප්‍රසංග 530කින් සමන්විත එම මාලාව 1979 මැයි 22 වන දින අවසන් විය.
1981 අගෝස්තු මාසයේදී ඇය "සත්‍යයේ ගීතය" නමින් තවත් ප්‍රසංග මාලාවක් ආරම්භ කළා ය. ප්‍රසංග 500කින් සමන්විත වූ එම ප්‍රසංග මාලාව, 1984 අගෝස්තු මාසයේදී අවසන් විය.
ඇයගේ මීළඟ ඒක පුද්ගල සංගීත ප්‍රසංග මාලාව වන "පවන", 1987 ජූනි මාසයේදී ආරම්භ වූ අතර එය මාස 18ක් පුරා ප්‍රසංග වාර 205ක් පැවැත්විණි.
"පවන" ප්‍රසංගය මෙන් ම එහි ඇතුළත් වූ ගීත ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) තුළ විකාශය කිරීම තහනම් කෙරිණි.
2022 වසරේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා අතරතුර 'අරගල භූමියට' පැමිණි නන්දා මාලිනී එහිදී විරෝධතාකරුවන් දිරිමත් කරමින් ගීතයක් ද ගායනා කළා ය.
ගෞරව ආචාර්ය උපාධියක්
ඇය සිංහල ගීත ක්ෂේත්රයට කරන ලද මෙහෙවර උදෙසා, 2017 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් ඇයට 'දර්ශන සූරී' (ලලිත කලා පිළිබඳ දර්ශනපති/ආචාර්ය) නම් ගෞරව උපාධිය පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් විසින් කාන්තා කලාකාරියක මෙලෙස ඇගයීමට ලක් කළ පළමු අවස්ථාව මෙය බව පැවසේ.
මේ අතර, 82 වන ජන්ම දිනය සහ ඇගේ කලා දිවිය සැමරීම නිමිත්තෙන් පසුගිය වසරේ අගෝස්තු 22 වන දින පැවති උත්සවයකදී ආචාර්ය නන්දා මාලිනීට උපහාර පිණිස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 09 නන්දා මාලිනී මැදිරිය නමින් නම් කෙරිණි.
ගීත සහ සම්මාන
ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර ඇති නන්දා මාලිනීගේ සෑම ගීතයක් ම පාහේ වර්තමානයේ පවා අතිශය ජනාදරයට පත්ව තිබේ.
අම්මාවරුනේ, සුළං කපොල්ලේ, නිම් වළල්ලෙන්, සංසාර සාගරේ, කඩමණ්ඩියේ, රන් කෙන්දෙන් බැඳ, යොවුන් වසන්තයේ ආදී ගීත රැසක් ඒ අතර වේ.
මේ අතර, ඇය නවකයින්ට ද සිය ගායන දිවියේදී අත දුන් අතර, 'අරලිය ලන්දට' නමින් නිකුත් වූ ගීත සමුච්චයේ සියලු ගීත නවක ගීත රචකයින් විසින් රචනා කරන ලදී.
ඊට අමතරව, ඇය සිය ගීත සඳහා නවක සංගීතඥයින්ට ද අවස්ථාව සැලසීය.
ඇය පළමු සරසවි සම්මාන උළෙලේදී ම හොඳ ම ගායනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය. ඒ, 1964 තිරගත වූ රන් මුතු දූව චිත්‍රපටයේ 'ගලන ගඟකි ජීවිතේ' ගීතය වෙනුවෙනි.
ඉන්පසු, සාරවිට, ආදරවන්තයෝ, සැඬොල් කඳුළු, මොණරතැන්න, සිරිබෝ අයියා, වජිරා, යස ඉසුරු, සහරාවේ සිහිනය, අඹු සැමියෝ, සුදු සෙවණැලි, ද නිව්ස්පේපර් යන චිත්‍රපට ගීත වෙනුවෙන් ඇය සරසවි සම්මානයෙන් පිදුම් ලැබී ය.
ඊට අමතරව, හඳ හාවන් හදේ, සිරිබෝ අයියා, යස ඉසුරු, සිව් රඟ සේනා, ද නිව්ස්පේපර් යන චිත්‍රපට වෙනුවනේ ඇය ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබී ය.
කලාකරුවන් දැක්වූ අදහස් සහ අවසන් කටයුතු
බුද්ධදාස ගලප්පත්ති: "නන්දා මාලිනීව ශ්‍රී ලංකාවෙත්, ශ්‍රී ලංකාවෙන් බැහැරත් රට රාජ්‍යවලත් හඳුන්වන්නේ ජාතියේ යශෝරාවය කියලා. මට ඉතා ම කෙටියෙන් කියන්න තියෙන්නේ ඒ වගේ ජාතියක යශෝරාවයක් එහෙම නිවෙන්නේ නැහැ. ඒක නිහඬ වෙන්නේ නැහැ. ජාතියේ යශෝරාවය සදාකාලිකයි. අපේ හදවත්වල ඇය හැම දා ම ජීවත් වෙනවා."
මේ අතර, මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රකාශ කළේ, නන්දා මාලිනීගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් පරිදි අවමංගල්‍ය කටයුතු සිදු කරන බව ය.
"නන්දා මාලිනී මහත්මිය තමන්ගේ අන්තිම කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු කළ යුතු විදිහ ලියලා තියෙනවා. ඉතින් අපි පවුලේ සියලු දෙනා ඒ අවසන් කැමති පත්‍රයේ තිබුණු විදිහට තමයි කටයුතු කරන්නේ.
"ඒ අනුව හෙට [සිකුරාදා] උදේ 10ට නන්දා මාලිනී මහත්මියගේ දේහය ඇය පදිංචි වෙලා හිටිය නාවල පාර අංක 30, විජයබා මාවත, නන්දා මාලිනී සංගීත ආශ්රමයට ගෙන එනවා.
"ඊට පස්සේ ඇයගේ දේහය සෙනසුරාදා පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය දක්වා නිවසේ ම තැන්පත් කරනවා. ඇය කියලා තියෙනවා මගේ නිවසින් පිට මගේ දේහය ගෙනියන්න එපා, හැකිතාක් චාම් විදිහට මේ කටයුතු කරන්න කියලා."
දේහය එදින පස්වරු 3:30ට දේහය බොරැල්ල සුසාන භූමිය වෙත ගෙන යනු ඇති අතර පස්වරු 5:00ට ආදාහන කටයුතු සිදු කෙරෙනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කළේ, අවමංගල්‍ය සභාවක් පැවැත් වීම හෝ ශෝක ප්‍රකාශ කිරීමක් එහිදී සිදු නොවන බව ය.