ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මිලියන ගාණක වැටුප අතහැර' ආණ්ඩුවේ සභාපති ධූරයක් ගත් බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වුණේ ඇයි?
වත්මන් රජය බලයට පත්ව ගෙවී ගොස් ඇති වසර දෙකකට ආසන්න කාලය තුළ ඉල්ලා අස්වූ ආයතන ප්‍රධානීන් ලැයිස්තුවට තවත් සභාපතිවරයෙකු එකතු වී තිබේ.
ඉල්ලා අස්වී ඇති නවතම සභාපතිවරයා වන්නේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධූරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් ය.
ඔහු එම ධූරයෙන් අගෝස්තු 17 වන දා සිට ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හා වෘත්තීයමය හේතු මත එම ධූරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් වෙත යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
'සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තව ම වැඩ කරනවා'
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී බුද්ධික හේවාවසම් සඳහන් කළේ, ඔහු තවදුරටත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බව ය.
"ඉල්ලා අස්වීමේ ලිපියේ කියලා තිබුණ දෙයට වැඩිය දෙයක් කියන්න මට නැහැ. ඒකේ මම කියලා තියෙනවා මම ඉවත් වුණේ ඇයි කියලා. ඊට වැඩිය දෙයක් දැනට නැහැ. මම සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් විතර යි ඉවත් වෙලා ඉන්නේ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තව ම වැඩ කරනවා."
ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් සභාපති ධූරයේ කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් බවත්, පෞද්ගලික හා වෘත්තීයමය හේතු මත සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් බුද්ධික හේවාවසම් සිය ලිපියේ සඳහන් කර ඇත.
2024 වසරේ ඔක්තෝබර් සිට 2026 අගෝස්තු දක්වා වූ තම ධූර කාලය තුළ දිට්වා වැනි ස්වභාවික විපත්, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගුවන් ගමන් සීමා කිරීම් වැනි අභියෝග මැද ඉතිහාසයේ වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි බව ද ඔහු පෙන්වා දී තිබේ.
එමෙන් ම, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක් කරමින්, 2025 වසරේදී මෙරටට ගෝලීය සම්මාන පහළොවකට අධික සංඛ්‍යාවක් හිමි වූ බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ඔහු විසින් ඇමතිවරයා වෙත යොමු කරනු ලැබ ඇති ලිපියේ සඳහන් වේ.
'මිලියන ගාණක් වැටුප් ගත්ත අය, ආණ්ඩුවේ වැටුපකට වැඩ කරන්න එනවා'
බුද්ධික හේවාවසම් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය භාර ගනු ලැබුවේ ඉතා ඉහළ වැටුපක් සහිත වෘත්තියකින් ඉවත්වී තම ඉල්ලීමකට අනුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ඉහත රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශ කර තිබිණි.
"අපේ සංචාරක අධිකාරියේ සභාපතිවරයා, ඔහු ඉහළ වැටුපක් ලබමින් හිටියේ ලංකාවේ. මේකෙන් ලැබෙන්නේ ඉතා කුඩා වැටුපක්. පළමු අවස්ථාවේ බුද්ධික අකැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා, නැවත මම කතා කළා ඊට පස්සේ බුද්ධික ඒවා දාලා ඇවිල්ලා කුඩා වැටුපකට වැඩ කරනවා. මිලියන ගාණක් වැටුප් ගත්ත අය, ආණ්ඩුවේ වැටුපකට වැඩ කරන්න එනවා. අපි එහෙම කැඳවලා තියෙනවා මිනිස්සු," ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
අලුත් සභාපතිවරයෙක්
බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා සුරන්ජිත් වෑවිට පත් කර තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සුරන්ජිත් වෑවිට, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන අතර, බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.
එමෙන් ම, සුරන්ජිත් වෑවිට සංචාරක සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
තව ද, ඔහු සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සහ මධ්‍යම පළාත් සංචාරක සේවා සංවර්ධන සමුපකාර සමිතියේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අයෙකි.