ගුරු පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනවල වෙනසක්: අලුත් දින මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව 2026 නොවැම්බර් 20 වන දා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දමා තිබේ.
ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන නව දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
සංශෝධිත සම්මුඛ පරීක්ෂණ දිනයන් මෙසේ ය
බස්නාහිර පළාත - 2026.11.29
උතුරු පළාත - 2026.11.28
වයඹ පළාත - 2026.11.29
මධ්‍යම පළාත - 2026.12.01
ඌව පළාත - 2026.11.26
දකුණු පළාත - 2026.11.28
නැගෙනහිර පළාත - 2026.11.28
සබරගමුව පළාත - 2026.11.28
උතුරු මැද පළාත - 2026.11.26
නොවැම්බර් 21 වන දා සිට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අදාළ පළාත්වල 2026 නොවැම්බර් 21 වන දා සිට ඉදිරියට පැවැත්වීමට සැලසුම් කර ඇති සම්මුඛ පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදි ම පැවැත්වෙන බව අමාත්‍යාංශය දැනුම් දෙයි.
මේ අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි සමග යොමු කළ නිවේදනයේ සඳහන් පරිදි පාසල් මනාප පළ කිරීම සඳහා තොරතුරු ඇතුළත් කළ හැකි මාර්ගගත පද්ධතිය මේ වන විට සකස් කර තිබේ.
එය 2026 නොවැම්බර් 19 වන දා සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙහි Teacher Recruitment Application System යටතේ ප්‍රදර්ශනය කෙරේ.
අයැදුම්කරුවන්ට තමන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන දිනයේ රාත්‍රී 8.00 දක්වා එම පද්ධතියට පිවිස පාසල් මනාප පළ කිරීමේ අවස්ථාව හිමි වන අතර, නොවැම්බර් 19 වන දායින් පසුව ද එම පද්ධතිය අවලංගු නොවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
තව ද, සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන දිනය වන විටත් කැඳවීම් ලිපිය ලැබී නොමැති අයැදුම්කරුවන්ට, 2026 ඔක්තෝබර් 30 වන දා වෙබ් අඩවියේ පළ කරන ලද නාම ලේඛනයේ තම නම ඇතුළත් පිටුවේ පිටපතක් සහ අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛන රැගෙන අදාළ සම්මුඛ පරීක්ෂණ පරිශ්‍රයේ පිහිටි Waiting Room වෙත එදින උදෑසනින් පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
එහිදී උදෑසන 8.00 සිට මාර්ගගත පද්ධතියට පිවිසීම සඳහා අවශ්‍ය අවසර ලබා දීමට කටයුතු සලසා ඇත. ඒ අනුව, අදාළ උපදෙස් පරිදි මාර්ගගත පද්ධතියට පිවිසීමේ කටයුතු සිදුකරන අතරතුර සම්මුඛ පරීක්ෂණයට ද ඉදිරිපත් වීමට අයැදුම්කරුවන්ට අවස්ථාව හිමිවේ.
එමෙන් ම, සම්මුඛ පරීක්ෂණයට සහ ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වූ පසුව ද එදින රාත්‍රී 8.00 දක්වා අදාළ පරිශ්‍රයේ පිහිටි Waiting Room වෙත පැමිණ පාසල් මනාප ඇතුළත් කළ ලේඛන මුද්‍රණය කර භාර දීමට පහසුකම් සලසා ඇති බව ද දැනුම් දී ඇත.
ගුරු පුරප්පාඩු 23,006ක්
ශ්‍රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත ගුරුවරුන් බඳවා ගැනීමේ පළමු අදියර ආරම්භ කර තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, මූලික අදියර සඳහා අපේක්ෂකයින් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු යොදා ඇති බව ය.
මේ වන විට දිවයින පුරා, පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 23,006ක් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.


































