රජයේ ආදායම 27%කින් ඉහළට: ආදායම ඉහළ යාමට හේතු වූ කරුණු මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
මෙම වසරේ පළමු මාස 06 තුළදී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 27.1කින් වර්ධනය වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.
රජයේ සමස්ත ආදායම 2025 වසරේ පළමු මාස 06 තුළදී රුපියල් බිලියන 2,325.1ක් වූ බවත්, එය මෙම වසරේ පළමු මාස 06 තුළදී රුපියල් බිලියන 2,956.0ක් දක්වා සියයට 27.1කින් වර්ධනය වී ඇති බවත් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් වේ.
රජයේ ආදායම මෙලෙස ඉහළ යාමට හේතුවූ කරුණු මොනවා ද?
බදු ආදායමේ වර්ධනයට බලපෑ හේතු මොනවා ද?
2026 වසරේ පළමු භාගයේදී බදු ආදායම 2025 වසරේ එම කාලපරිච්ඡේදයේදී වූ රු. බිලියන 2,152.1ට සාපේක්ෂව රු. බිලියන 2,710.6ක් දක්වා සියයට 25.9කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
- 2025 වසරේ නොවැම්බර් මාසයේ සිට සියලු වර්ගයේ මෝටර් රථ ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමට පියවර ගත් අතර, 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ කාලය තුළ මෝටර් රථ ආනයන සංඛ්‍යාව ඒකක 313,480ක් දක්වා සියයට 256කින් වර්ධනය වීම හේතුවෙන් මෝටර් රථ මත පනවන ලද අතිරේක බදු ආදායම සියයට 106.2කින් එනම් රු. බිලියන 137.2කින් වර්ධනය වී තිබේ.
- මෝටර් රථ ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමත්, 2026 වසරේ අප්‍රේල් 01 දින සිට ආනයනික ඛනිජතෙල් සඳහා එකතු කළ අගය මත බද්ද පැනවීම හේතුවෙන් ආනයන මත වූ එකතු කළ අගය මත බද්ද රු. බිලියන 443.7ක් දක්වා සියයට 25.3කින් වර්ධනය වීම හා දේශීය වාණිජ ක්‍රියාකාරකම්වල වර්ධනය හේතුවෙන් 2025 වසරේ පළමු මාස 06 සමග සැසඳීමේදී 2026 වසරේ පළමු මාස 06 තුළ දේශීය සේවා අංශයේ එකතු කළ අගය මත බද්ද සඳහා ලැබුණු උපයෝගීතාව 37,027ක් දක්වා සියයට 34.2කින් ඉහළ යාම නිසා එකතු කළ අගය මත බදු ආදායම රු. බිලියන 543.9ක් දක්වා සියයට 25.5කින් එනම් රුපියල්. බිලියන 200.3කින් වර්ධනය වී ඇත.
- මෝටර් රථ සඳහා අදාළ වන රේගු ආනයන බදු මත සියයට 50ක අධිභාරයක් පැනවීම සහ අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ ආනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 12,392.3ක් දක්වා සියයට 26.9කින් ඉහළ යාම යන ප්‍රධාන සාධක හේතුවෙන් රේගු ආනයන බද්දෙන් ලද ආදායම සියයට 63.6කින් හෙවත් රුපියල් බිලියන 59.8කින් වර්ධනය වී තිබේ.
- මත්පැන්, දුම්කොළ සහ ඔට්ටු ඇල්ලීම හා සූදු කර්මාන්ත සඳහා වන බදු අනුපාතය සියයට 40 සිට සියයට 45 දක්වා ඉහළ නැංවීමත්, 2025 වසරේ අප්‍රේල් 01 වන දින සිට විදේශීය මූලාශ්‍රයකින් උපයාගත් හෝ ලබාගත් ලාභ හා ආදායම් මත සියයට 15ක බද්දක් හඳුන්වා දීම හේතුවෙන් සංස්ථාපිත ආදායම් බදු ආදායම රුපියල් බිලියන 314.5 දක්වා සියයට 21.7කින් වර්ධනය වීම.
- පොළී ආදායම් මත අයකරනු ලබන රඳවා ගැනීමේ බද්ද 2025 වසරේ අප්‍රේල් 01 වන දා සිට සියයට 05 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීම පෙන්නුම් කරමින් රඳවා ගැනීමේ බදු ආදායම රුපියල් බිලියන 104.2ක් දක්වා සියයට 21.0කින් වර්ධනය වීම.
- 2026 වසරේ ජූනි මස අවසානය වන විට සමස්ත ලියාපදිංචි ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව 2025 වසරේ ජූනි මස අවසානයට සාපේක්ෂව 1,046,497ක් දක්වා සියයට 12කින් ඉහළ නංවමින් බදු පරිපාලනයේ සිදුවූ වැඩිදියුණු කිරීම් තුළින් ආදායම් ඉහළ නැංවීමට වූ දායකත්වය යන ප්‍රධාන සාධකය මත ආදායම් බද්දෙන් ලද ආදායම සියයට 16.3කින් එනම් රුපියල් බිලියන 79.9කින් වර්ධනය වීම.
- අර්තාපල් සහ ළූණු ආනයනය සඳහා අදාළ බදු අනුපාත ඉහළ දැමීම සහ සහල් ආනයනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් ලද ආදායම සියයට 7.2කින් හෙවත් රු. බිලියන 5.6කින් වර්ධනය වීම.
- 2025 වසරේ පළමු මාස 06ට සාපේක්ෂව 2026 වසරේ එම කාල සීමාවේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට අදාළව ලියාපදිංචි බදු ගොනු සංඛ්‍යාව 18,332ක් දක්වා සියයට 31.2කින් ඉහළ යාම තුළින් පිළිබිඹු වන බදු පරිපාලන ක්රියාමාර්ගයන්හි වර්ධනය සහ දේශීය හා විදේශීය ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම හේතුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ලද ආදායම සියයට 21.5කින් හෙවත් රු. බිලියන 30.5කින් වර්ධනය වීම.
- 2026 වසරේ පළමු මාස 06 තුළ මත්පැන් නිෂ්පාදනය නිරපේක්ෂ ලීටර් මිලියන 19.7ක් දක්වා සියයට 13.3කින් වර්ධනය වීම හේතුවෙන් මත්පැන් මත අය කරනු ලබන සුරාබදු වලින් ලද ආදායම රු. බිලියන 29.3ක් දක්වා සියයට 27.1කින් වර්ධනය වීම.
- ආනයන ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්දෙන් ලද ආදායම සියයට 10.6කින් හෙවත් රු. බිලියන 9.0කින් වර්ධනය වීම.
- බදු නොවන ආදායම්:
2026 වසරේ පළමු මාස 06 තුළ බදු නොවන ආදායම සියයට 43.6කින් හෙවත් රු. බිලියන 74.0කින් වර්ධනය වීම ද සමස්ත ආදායම් ඉහළ යාම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ රු. බිලියන 42.1ක ලාභ පැවරුම් සහ දඩ, ගාස්තු හා අය කිරීම්වලින් ලැබුණු ආදායම රු. බිලියන 20.3කින් ඉහළ යාම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අතර, පොළී ආදායමෙන් සහ සමාජ ආරක්ෂණ දායක මුදල් තුළින් ලද ආදායම ද බදු නොවන ආදායමේ මෙම වර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත.
- බදු ආදායම
2026 වසරේ පළමු මාස 06 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 2,710.6 දක්වා වර්ධනය වූ අතර, එය රජයේ මුළු ආදායමෙන් සියයට 91.8ක් විය.
එකතු කළ අගය මත බද්ද, සුරා බද්ද/නිෂ්පාදන බද්ද සහ විදේශ වෙළෙඳාම මත අය කරන බදු ආදායම් ඉහළ යාම හේතුවෙන්, 2025 වසරේ පළමු මාස 06ක කාලය තුළ 23:77ක් වූ ඍජු බදු සහ වක්‍ර බදු අනුපාතය, 2026 වසරේ පළමු මාස හය තුළ 21:79 දක්වා පහත වැටිණි. 2026 වසරේ මැද භාගය වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 4,910.0ක් වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 55.2ක් ළඟා කර ගැනීමට හැකි විය.
2026 වසරේ පළමු මාස හය තුළ දේශීය පරිභෝජනය මත පදනම් වූ බදු ආදායම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයේ වූ රු. බිලියන 700.0ට සාපේක්ෂව රු. බිලියන 869.6ක් දක්වා සියයට 24.2කින් වර්ධනය වී ඇත. මේ අතර, ආනයන මත පදනම් වූ බදු ආදායම 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ රු. බිලියන 927.0ට සාපේක්ෂව රු. බිලියන 1,226.0ක් දක්වා සියයට 32.3කින් වර්ධනය වී ඇත.
රජයට ආදායම් ලැබුණේ කොහෙන් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආදායම් බදු
වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 47.0ක් ළඟා කර ගනිමින් 2026 මුල් මාස හය තුළ ආදායම් බදු ආදායම රු. බිලියන 568.4 දක්වා සියයට 16.3කින් වර්ධනය වී ඇත. මෙම ආදායම් කාර්යසාධනය සඳහා ප්‍රධාන වශයෙන් පහත සඳහන් හේතු බලපා ඇත.
2025 වසරේ අප්‍රේල් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි මත්පැන්, දුම්කොළ සහ සූදු සහ ඔට්ටු ඇල්ලීමේ කර්මාන්ත සඳහා සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 40 සිට සියයට 45 දක්වා ඉහළ නැංවීම.
2025 වසරේ අප්‍රේල් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි යම් විදේශ මූලාශ්‍රයකින් ලැබෙන ඉපයීම් හා ලාභ මත සියයට 15ක ආදායම් බද්දක් පැනවීම.
2025 වසරේ අප්‍රේල් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි පොළී මත රඳවාගැනීමේ බදු අනුපාතය සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ නැංවීම.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ යාම.
ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම පිළිබිඹු කරමින් 2026 වසරේ මුල් භාගයේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7කින් වර්ධනය වීම සහ බදු පරිපාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම තුළින් බදු පදනම පුළුල් කිරීම පිළිබිඹු කරමින් 2025 වසරේ ජූනි මාසය අවසාන වනවිට 1,255,384ක් වූ ලියාපදිංචි ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව 2026 වසරේ ජූනි මස අවසාන වන විට 1,406,497ක් දක්වා සියයට 12.0කින් වර්ධනය වීම.
කෙසේ වුව ද, 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2026 වසරේ පළමු මාස හය තුළ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දෙන් ලද ආදායම සියයට 4.5කින් ඉහළ ගිය ද, 2025 වසරේ අප්‍රේල් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි වසරකට රු. මිලියන 1.2ක්ව පැවති බදු නිදහස් සීමාව වසරකට රු. මිලියන 1.8 දක්වා වැඩි කිරීමට සහ සියයට 18 බදු ස්ථරය පුළුල් කිරීමේ සංයුක්ත බලපෑම සමස්ත ආදායම් බදු එකතුවීම පහළ අගයක් ගැනීමට හේතු වී ඇත.
එකතු කළ අගය මත බද්ද
2026 වසරේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 54.5 ළඟා කර ගනිමින් 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 2026 වසරේ මුල් මාස හය තුළ රු. බිලියන 987.6ක් දක්වා එකතු කළ අගය මත බදු ආදායම සියයට 25.4කින් වර්ධනය වී ඇත. මෙම කාර්යසාධනය සඳහා පහත සඳහන් හේතු ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ආනයනික රෙදි පිළි සඳහා පැවැති ශූන්‍ය එකතු කළ අගය මත බදු අනුපාතය 2026 වසරේ අප්‍රේල් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඒ සඳහා සම්මත එකතු කළ අගය මත බදු අනුපාතයක් පැනවීම.
2026 වසරේ මුල් මාස හය තුළ මුළු භාණ්ඩ ආනයන වටිනාකම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් බිලියන 12.4ක් දක්වා සියයට 26.9කින් ඉහළ යාම.
ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම පිළිඹිඹු කරමින් 2026 වසරේ මුල් භාගයේදී දේශීය නිෂ්පාදනය සියයට 4.7කින් වර්ධනය වීම.
2026 වසරේ පළමු මාස හය තුළ ආනයනය කරන ලද මෝටර් රථ සංඛ්‍යාව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 313,480 දක්වා සියයට 255.7කින් ඉහළ යාම.
බදු පරිපාලන ක්රියාමාර්ගයන්හි සහය තුළින් එකතු කළ අගය මත බදු අනුකූලතාව වැඩිදියුණු වීම පිළිඹිඹු කරමින් 2026 වසරේ ජූනි මස අවසන් වන විට ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව 2025 වසරේ ජූනි අවසන් වන විට වූ 27,596ට සාපේක්ෂව 37,027ක් දක්වා සියයට 34.2කින් ඉහළ යාම.
නිෂ්පාදන බද්ද
වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 67.5ක් ළඟා කර ගනිමින් 2026 වසරේ මුල් මාස හය තුළ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය හා සැසඳීමේදී රු. බිලියන 562.7ක් දක්වා සියයට 41.0කින් වර්ධනය වී ඇත. මෙම ශක්තිමත් ඉහළ කාර්යසාධනය සඳහා ප්‍රධාන වශයෙන් පහත හේතු බලපා ඇත.
2026 වසරේ මුල් මාස හය තුළ මත්පැන් නිෂ්පාදනය 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව නිරපේක්ෂ ලීටර් මිලියන 19.7ක් දක්වා සියයට 13.3කින් ඉහළ යාම.
2025 වසරේ පෙබරවාරි මස සිට බලපැවැත්වෙන පරිදි සියලු ම වර්ගයේ මෝටර් රථ ආනයනය සඳහා පැවැති ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් මෝටර් රථවාහන මත වූ නිෂ්පාදන බදු ආදායම වර්ධනය වීම.
2026 වසරේ පළමු මාස හය තුළ ආනයනය කළ මෝටර් රථ සංඛ්‍යාව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 313,480 දක්වා සියයට 255.7කින් ඉහළ යාම.
සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී දුම්කොළ අලෙවිය දුම්වැටි මිලියන 921.7 දක්වා සියයට 2.4කින් වර්ධනය වීම හේතුවෙන් දුම්කොළ මගින් ලද නිෂ්පාදන බදු ආදායම සියයට 31.1කින් වර්ධනය වීම.
කෙසේවෙතත්, සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී ඛනිජතෙල් මත වූ නිෂ්පාදන බදු ආදායම මෙන් ම පාම් තෙල්, මේද අම්ල, ශීතකරණ හා පැණි බීම වැනි අනෙකුත් නිෂ්පාදන මත අයකෙරෙන නිෂ්පාදන බදු ආදායම පිළිවෙලින් සියයට 14.5කින් සහ සියයට 6.5කින් අඩු වී ඇති අතර එය සමස්ත නිෂ්පාදන බදු ආදායම් කාර්යසාධනයට ඍණාත්මකව බලපෑම් එල්ල කර ඇත.
රේගු ආනයන බද්ද
2026 වසරේ මුල් මාස හය තුළ රේගු ආනයන බද්දෙන් ලද ආදායම 2026 වසරේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 65.4ක් ලබා ගනිමින් ඉතා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කළ අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් පහත හේතු බලපා ඇත.
මෝටර් රථ ආනයන මත රේගු ආනයන බද්දක් හඳුන්වා දීමත් සමගින් මෝටර් රථවාහන සඳහා අදාළ වන රේගු ආනයන බදු මත සියයට 50ක අධිභාරයක් පැනවීම.
2026 වසරේ පළමු මාස හය තුළ ආනයනය කළ මෝටර් රථ සංඛ්‍යාව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව 313,480 දක්වා සියයට 255.7කින් ඉහළ යාම.
2026 වසරේ අප්‍රේල් මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි දැනට පවත්නා සියයට 0, සියයට 15, සහ සියයට 20 යන ආනයන බදු අනුපාතයන් සියයට 0, සියයට 10, සියයට 20 සහ සියයට 30 ලෙස සංශෝධනය කරමින් කාණ්ඩ හතරේ තීරුබදු ව්‍යූහයක් හඳුන්වා දීම සහ 2026 වසරේ මුල් මාස හය තුළ ආනයන 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 26.9කින් වර්ධනය වීම.
වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද
2026 වසරේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 49.7ක් ලබා ගනිමින් 2026 වසරේ මුල් මාස හය තුළ වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්දෙන් ලද ආදායම රු. බිලියන 94.5 දක්වා සියයට 10.6කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනය සඳහා මූලික වශයෙන් හේතු වූයේ,
2026 වසරේ මුල් මාස හය තුළ මුළු ආනයන වටිනාකම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො. බිලියන 12.4ක් දක්වා සියයට 26.9කින් වර්ධනය වීම.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද
2026 වසරේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 64.5ක් ලබා ගනිමින් 2026 වසරේ මුල් මාස හය තුළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් ලද ආදායම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව රු. බිලියන 83.2 දක්වා සියයට 7.2කින් මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇත.
මෙම කාර්යසාධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ, 2025 වසරේ අගෝස්තු මස 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සඳහා වන බදු අනුපාතය කිලෝග්රෑමයකට රු. 10 සිට කිලෝග්රෑමයකට රු. 50 දක්වා සහ අර්තාපල් සඳහා වන බදු අනුපාතය කිලෝග්රෑමයකට රු. 60 සිට කිලෝග්රෑමයකට රු. 80 දක්වා ඉහළ නැංවීම.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද
2026 වසරේ මුල් මාස හය තුළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ලද ආදායම 2026 වසරේ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 51.7ක් ලබාගෙන ඇත. මේ කාර්යසාධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ;
*ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම පිළිබිඹු කරමින් 2026 වසරේ මුල් භාගයේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.7කින් වර්ධනය වීම;
*2026 වසරේ මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ආනයනය කරනු ලබන අවස්ථාවේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම; සහ
*2026 මුල් මාස හය තුළ මුළු ආනයන වටිනාකම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො. බිලියන 12.4ක් දක්වා සියයට 26.9කින් වර්ධනය වීම.
වෙනත් බදු
2026 වසර සඳහා වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 53.0ක් ළඟා කර ගනිමින්, 2026 වසරේ මුල් මාස හය තුළ වෙනත් බදුවලින් ලද ආදායම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදයට සැසඳීමේදී රු. බිලියන 88.5ක් දක්වා සියයට 12.7කින් වර්ධනය වී ඇත.
වර්ධනයට බලපෑ මූලික හේතු:
ආනයන ඉහළ යාම හේතුවෙන් සෙස් බද්දෙන් ලද ආදායම සියයට 1.0කින් වර්ධනය වීම.
මෝටර් රථ ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් කිරීමත් සමග 2026 මුල් මාස හය තුළ මෝටර් රථ මත සුඛෝපභෝගී බද්දෙන් ලද ආදායම රු. බිලියන 11.4 සිට රු. බිලියන 21.9 දක්වා ඉහළ යාම.
අඩු වීමට බලපෑ හේතු:
විදුලි සංදේශ සේවා පරිභෝජනය අඩු වීම නිසා 2026 මුල් මාස හය තුළ විදුලි සංදේශ බද්දෙන් ලද ආදායම සියයට 17.3කින් පහළ යාම.
බදු නොවන ආදායම
2026 වසරේ පළමු මාස හය තුළ බදු නොවන ආදායම 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය සමග සැසඳීමේදී සියයට 43.6කින් වර්ධනය වී ඇත.
වර්ධනයට බලපෑ මූලික හේතු:
*මහ බැංකු ලාභ පැවරීම්
*පොළී ආදායම
*සමාජ ආරක්ෂණ දායකත්ව ආදායම් ලැබීම්
*දඩ මුදල්, ගාස්තු සහ අය කිරීම්
*කුලී ආදායම
* රජය සතු ව්‍යවසායන් මගින් ලද ලාභ හා ලාභාංශ ආදායම ඉහළ යාම


































