'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය පසුගිය දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද (අගෝ: 20) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබී ය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේ ය.
ඒ අනුව පැමිණිල්ල විසින් තම නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විත්තිකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බව අධිකරණය සඳහන් කළේ ය.
'සූම්' ඔස්සේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිල්ල
මෙම නඩුව සඳහා විත්තිකාර හරක් කටා 'සූම්' ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
රූපවාහිනී තිරය ඔස්සේ ඔහු අත ඔසවමින් සඳහන් කර සිටියේ, "සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කර තිබුණත් මේ වන විට මා රඳවා සිටින්නේ නාවික හමුදා කඳවුරක යි.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිටි අවස්ථාවේදී මගේ දණ හිස් ආබාධයකට ආයුර්වේද ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් දැන් එම ප්‍රතිකාර ලැබෙන්නේ නෑ," යනුවෙනි.
මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ අධිකරණයට දන්වා සිටියේ, සිය සේවාදායකයා සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කර තිබුණත් ඔහු රඳවා සිටින්නේ නාවික හමුදා නිලධාරීන් භාරයේ බව ය.
බන්ධනාගාරයක මේ විත්තිකරු රඳවා තිබෙන්නේ නම් ඔහු අසල නාවික හමුදා නිලධාරියෙකු සිටින්නේ කෙස් දැයි මෙහිදී නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.
ඒ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම විත්තිකරු වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා තිබෙන විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින බව ය.
විත්තිකරුගේ ඉල්ලීම් ගැන දුන් නියෝග
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, විත්තිකරු ඉල්ලා සිටින වෛද්‍ය ප්‍රතිකාර වේ නම් ඒවා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
මෙම විත්තිකරු නාවික හමුදා භාරයේ රඳවා සිටින බවට කරුණු ඉදිරිපත් කර තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර විත්තිකරු බන්ධනාගාර නිලධාරින් භාරයේ රඳවා තැබීමට නියෝග කරන බවත් විනිසුරුවරයා නියම කළේ ය.
ඉන් අනතුරුව මෙම නඩුකරය ඔක්තෝබර් මස 7 වන දා කැඳවන ලෙස නියම කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.


































