භාරතීය ජනතා පක්ෂ ආධාරකරුවෝ ලෙනින් පිළිමය බිම හෙළති

ඉන්දියාවේ 'ත්‍රිපුර' ප්‍රාන්තයේ ස්ථාපිත කරනු ලැබ තිබුණ ලෙනින් ප්‍රතිමාව බිම දැමීම සම්බන්ධයෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආධාරකරුවෝ දැඩි විවේචනයකට මුහුණ දී සිටිති.
සඳුදා (මාර්තු 05) එම ලෙනින් ප්‍රතිමාව ගළවා ඉවත්කරන ලද්දේ භාරතීය ජනතා පක්ෂය 'ත්‍රිපුර' ප්‍රාන්ත මැතිවරණය ජය ගනු ලැබීමෙන් දින කීපයකට පසුවය.
මෙවර ප්‍රාන්ත මැතිවරණයේ දී වසර විසිපහක් බලයේ සිටි කොමියුනිස්ට්වාදීන්ට එහි පාලන බලය අහිමි විය.
මෙයින් වසර පහකට පෙර ත්‍රිපුර ප්‍රාන්තයේ 'බෙලනියා' (Belonia) නගරයේ පිහිටුවන ලද ලෙනින් ප්‍රතිමාව යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ගළවා ඉවත් කරන ලද්දේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආධාරකරුවන්ගේ ප්‍රීතිඝෝෂා මැද බව 'ත්‍රිපුර' වාර්තා මගින් පැවසෙයි.
එය සිදු කෙරෙද්දී කොමියුනිස්ට්වාදීන් සහ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආධාරකරුවන් අතර ගැටුම් සිදු වූ බවක් ද වාර්තා වෙයි.
ලෙනින් ප්‍රතිමාව ඉවත් කරනු දුටු පුද්ගලයන් උපුටා දක්වන NDTV මාධ්‍ය ආයතනය, එම කාර්යය සඳහා යොදවන ලද යන්ත්‍රය භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආධාරකරුවන් විසින් කුලියට ගන්නා ලද බව එකී පුද්ගලයන් පවසන බව සඳහන් කරයි.

ත්‍රිපුර ප්‍රාන්ත පාලන බලය අහිමි වූ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ 'තපස් දත්තා' (Tapas Dutta) 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' (The Indian Express) පුවත්පතට අදහස් දක්වමින් ලෙනින් පිළිමය බිම දැමූ පුද්ගලයන් එහි හිස කඳින් වෙන්කරන ලද බව සිද්ධිය දුටු පුද්ගලයන් කියා සිටින බව පවසයි.
"එම ක්‍රියාව සිදු කළ පුද්ගලයන් කඳින් වෙන් කරන ලද ලෙනින්ගේ හිස යොදා ගනිමින් පාපන්දු සෙල්ලම් කරල තියෙනවා" තපස් දත්තා වැඩි දුරටත් සඳහන් කළේය.
එහෙත් ප්‍රතිමාව බිම හෙළීම සඳහා පොළොව කණින යන්ත්‍රයක් කුලියට ගන්නා ලද්දේ තම පක්ෂය විසින් යයි පළ වෙමින් පවතින අදහස් බැහැර කරන 'ත්‍රිපුර' ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂ නායකයකු වන රාජු නාත් (Raju Nath) 'ලෙනින් ප්‍රතිමාවට එරෙහිව නැගෙන විශාල විරෝධය හමුවේ එය බිම පතිතව' ඇතැයි පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
"මේ පිළිමයට විරුද්ධව අවුරුදු ගණනාවක් මහජන කෝපය පළ වෙමින් තිබුණා. එය ඉදිකළේ නගර සභාවෙන්. ඒ සඳහා යෙදෙව්වේ මහජන බදු මුදල්. අපේ බදු ගෙවන්නන්ගේ මුදල් ලෙනින්ගේ ප්‍රතිමා හදන්න යොදවන්නේ මොකටද? විදේශිකයකු වන ලෙනින්ගෙන් අපේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද?" රාජු නාත් (Raju Nath) ප්‍රශ්න කරයි.

කෙසේවුවද, ලෙනින් බිම දැමූ යන්ත්‍රය ක්‍රියාත්මක කළ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද බව ත්‍රිපුර(දකුණ) පොලිස්පති ඉප්පර් මොන්චක් (Ipper Monchak) පවසයි.
"පිළිමය තාමත් එතැනම තියෙනවා. පොලිසිය මගින් එය ඉවත් කොට ගබඩා කිරීම සඳහා නගර සභාවට භාර දෙනවා" පොලිස් ප්‍රධානියා සඳහන් කළේය.
මෙවර 'ත්‍රිපුර' ප්‍රාන්ත මැතිවරණයේදී එහි ආසන 59 න් 43 ක්ම දිනා ගනිමින් කොමියුනිස්ට් බලය පෙරළා දැමීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.
1990 දශකයේ අවුරුදුවල රුසියාව සහ යුක්රේනය ද ඇතුළුව රටවල් ගණනාවක ලෙනින් පිළිරූ බිම හෙළනු ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Edward Andriushchenko
සබැඳි පුවත්;

























