ටයිටැනික් මගියා මව වෙත ලියූ අවසන් ලියුම

Oskar Holverson with his wife Mary
ඡායාරූප ශීර්ෂ වැකිය, සාර්ථක ඇමරිකානු ව්‍යාපාරිකයෙකු වූ ඔස්කාර් හොල්වර්සන් සිය බිරිඳ මේරි සමග
Published

ටයිටැනික් නෞකාවේ සිට ලියන ලද අවසන් ලියුම් කිහිපය අතරින් එකක් වෙන්දේසියක දී වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.

ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු වූ ඇමරිකානු ව්‍යාපාරික ඔස්කාර් හොල්වර්සන් විසින් ලියන ලද එම ලියුම අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැටහය දහසකට ආසන්න මිලකටය.

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ දී ඉදි කෙරුණු ටයිටැනික් නෞකාව 1912 වසරේ දී සිය මංගල චාරිකාව ආරම්භ කළේ එංගලන්තයේ සවුතැම්ටන් වාරයෙනි.

ඇමරිකාවේ නිව්යෝක් බලා යාත්‍රා කරමින් තිබූ නෞකාව හිම කුට්ටියක ගැටී අනතුරට පත් වූයේ උතුරු අත්ලාන්තික් සාගරයේදීය.

අත්ලාන්තික් සයුරට ගොස් බේරුණු ටයිටැනික් ශීර්ෂය සහිත සටහන් පතක ලියන ලද එකම ලියුම එය වේ.

වෙන්දේසියට ඉදිරිපත් කරන ලද ලියුම මිලට ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය ගැනුම්කරුවෙකු විසිනි.

සිය බිරිඳ මේරි සමග ටයිටැනික් නෞකාවේ ගමන් කළ ඔස්කාර් හොල්වර්සන් එම ලියුම ලියා ඇත්තේ ඔහුගේ මවටය.

ඒ සවුතැම්ටන් සිට නිව්යෝර්ක්හි පිහිටි සිය නිවස බලා යමින් සිටියදීය.

Titanic letter
ඡායාරූප ශීර්ෂ වැකිය, තවමත් ලියුම මත මුහුදු ජල පැල්ලම් දැකිය හැක

සිය ලියුම තුළ තම වටපිටාව විස්තර කරන ඔස්කාර්, "ප්‍රමාණය අතින් යෝධ නෞකාවක්, මාලිගාවක් වැනි හෝටලයක් ලෙස ඉදි කර තිබෙනවා" යනුවෙන් තම මව වෙත පවසා තිබේ.

එමෙන්ම එහි ගමන් ගත් "එවක ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණු" ජෝන් ජේකොබ් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව ද ඔස්කාර් එහි සටහන් තබා ඇත.

"සල්ලි මිලියන ගණනක් තිබුණත් ඔහුත් සාමාන්‍ය මිනිහෙක් වගේමයි. ඔවුන් අප සමග නැව් තට්ටුවේ ඉඳගෙන හිටියා"

කෙසේ නමුත් ඔස්කාර් සිය ලියුම තුළින් අනාගතය පිළිබඳ කී එක් දෙයක් කිසිදා සැබෑ නොවීය.

ඒ "හැම දේම හොඳින් සිදුවුනොත් බදාදා උදේ වෙනකොට අපි නිව්යෝක් වෙත ළඟා වේවි" යන්නය.

Titanic letter being auctioned
ඡායාරූප ශීර්ෂ වැකිය, පුතු විසින් මවට ලියන ලද ලියුම

ටයිටැනික් නෞකාව අනතුරට පත් වන විට මගීන් එක්දහස් පන්සීයකට අධික පිරිසක් එහි ගමන් ගත්හ.

මරණයට පත් පිරිස අතර ඔස්කාර් හොල්වර්සන් සහ ජෝන් ජේකොබ් ඇස්ටර් ද වූහ.

ඔස්කාර්ගේ බිරිඳ මේරි දිවි බේරා ගැනීමට සමත් විය.

පසුව ඇයගේ ස්වාමියාගේ මෘත දේහය සොයා ගනු ලැබූ අතර ලියුම තිබී ඇත්තේ ඔහුගේ සාක්කුවක තිබූ සටහන් පොතක් තුළය.

අවසානයේ සිය පුතුගේ ලියුම මව වෙත ලැබීමට සැලැස්විණි.

සබැඳි යොමු: