ශ්‍රී ලංකාවේ ප්‍රහාර: "කොයි මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා බයේ ඉන්නේ."

Sri lanka attacks personal experiences
Published

"අපි පුදුම බයකින් ඉන්නේ. පෞද්ගලික ආයතනවල මොන හේතුවකටත් නිවාඩු දෙන්නේ නැහැ. අපි වෙනදා යන පාරෙන් කෙලින්ම කොළඹට යන්නේ නැතුව, වෙන දුර පාරවල්වලින් වැඩට යනවා," චාමලී විජේසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

"කොයි මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා බයේ ඉන්නේ."

නීති වෘත්තියේ නිරතවීම පිණිස කඳාන ප්‍රදේශයේ සිට දිනපතා රාජකාරි සඳහා පිටත්ව යන ඇයගේ ඥාතියෙකු ද පසුගිය ඉරිදා මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්විය.

"ඒ මතකයන් හිතේ හොල්මන් කරනවා. හැබැයි මොන දේ වුණත් වැඩට යන්නම ඕනේ නිසා යනවා," ඇය තවදුරටත් පැවසීය.

මේ වන විටත් දිවයින පුරා පොලිස් සහ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. පාස්කු ඉරුදින (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 70ට වැඩි දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැක කටයුතු පුද්ගලයන් මෙන්ම සැක කටයුතු වාහන දිගටම පරික්ෂා කරන බව පොලිසිය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අත තිබී ගිනි අවි, ජීව උණ්ඩ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර මෙන්ම කැබ් රථයක් ද සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Sri lanka attacks personal experiences

මෙම තත්වය සාමාන්‍යය ජන ජීවිතයට බලපාන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙකු සිය බිය, සැකය සහ දුක ගැන අත්දැකීම් හෙළි කළහ.

බොරැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරත මවක්

"මම වයස අවුරුදු දෙකක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ මහත්තයා පිටරට රැකියාවක නිරත වෙනවා. ගෙදර අම්ම සහ දරුවා බලාගෙන ජීවත් වෙනවා. හැමදාම මම කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවට යන්නේ තනියම," කේ. ජයසේකර පැවසුවාය.

"හැම වෙලාවේම එක එක තැන්වල බෝම්බ තියෙනවා කියලා ආරංචි එනවා. එහෙම අවස්ථා දෙකක බොරැල්ලේ තියෙන අපේ කාර්යාලය වහලා සේවකයන්ට ගෙදර යන්න කිව්වා."

"මට සෑහෙන බයක් වගේම තරහකුත් දැනෙනවා. මේ මොන කරදරයක ද අපිව දැම්මේ. ආණ්ඩුව දැන දැන මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කරුමෙට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට," ඇය තවදුරටත් පැවසීය.

Sri lanka attacks personal experiences

කිරිබත්ගොඩ ප්‍රදේශයේ දිවි ගෙවන කාන්තාවකගේ අත්දැකීම්

නම හෙළි කිරීමට අකමැති වූ කැලණිය ප්‍රදේශයේ දිවි ගෙවන කාන්තාවක් මෙසේ සිය අත්දැකීම් හෙළි කළාය.

"මම සල්ලි ගන්න ATM යන්ත්‍රයක් ළඟට ගියා. එතන දිග පෝලිමක් තිබුණා. පෝලිමේ තවත් පුද්ගලයන් හය දෙනෙක් විතර මට ඉස්සරහින් හිටියා."

"මට පස්සේ බුර්කාවක් ඇඳගත්ත ගෑනු කෙනෙක් ඇවිත් පෝලිමට එකතු වුණා. එයා මුහුණ බාගයක් වහගෙනත් හිටියේ. මගේ හිත ඇත්තටම තිගැස්සුනා," ඇය පැවසීය.

"මම වගේම මට ඉස්සරහ පෝලිමේ සිටිය අයත් සෑහෙන බයකින් පිටිපස්ස හැරි හැරි බලනවා මම දැක්කා. එක පාරටම පෝලිමේ ඉස්සරහ හිටිය අය එකින් එක්කෙනා අයින් වෙන්න ගත්තා. සමහරු ඒ තැනින් යන්නම ගියා. මටත් ලොකු බයක් දැනුණ නිසා මාත් ඉක්මනින් එතනින් අයින් වෙලා ආයෙත් ගෙදර ආවා."

"මට ඕනේ තරම් මුස්ලිම් යාළුවෝ ඉන්නවා. නමුත්, මේ ඇති වෙලා තියෙන තත්වයත් එක්ක පොඩි දෙයටත් අපේ හිත ගැස්සෙනවා," ඇය තවදුරටත් පැවසීය.

"කුඩා දරුවෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොමද?"

කිසි දිනෙක යුද වාතාවරණයක දිවි නොගෙවූ කුඩා දරුවන් ඇති වී තිබෙන මෙම තත්වය පිළිබඳ සිය දෙමාපියන්ගෙන් විවිධ ප්‍රශ්න අසා සිටින අතර, ඒ ගැන ඔවුන්ගේ ළමා මනසට වටහා දීම ඉතා අපහසු කාර්යයක් බව කොළඹ පදිංචි ගාමිණි විජේබණ්ඩාර පැවසුවේය.

"මගේ දරුවාගේ වයස අවුරුදු පහයි. එයා කවදාවත් යුද්ධයක් හෝ මේ වගේ බෝම්බ පුපුරණ ඒවා දැකලා නැහැ. දැන් මේ වෙන දේවල ගැන එයා අපෙන් සෑහෙන ප්‍රශ්න අහනවා," ඔහු පැවසීය.

Sri lanka attacks personal experiences

"ඇයි තාත්තේ ඒ මිනිස්සු තවත් අය බෝම්බ ගහලා මරන්නේ? වගේ ප්‍රශ්න ගොඩක් අපෙන් අහනවා. නමුත් අපිට දරුවට දෙන්න උත්තර නැහැ. බයක් තියෙනවා අපි දෙන උත්තරවලින් ඒ ළමයාගේ හිතේ වෛරයක් පැල පදියම් වෙයි කියලා."

"අපි ඉන්නෙ භය, දුක, තරහ මිශ්‍ර මානසිකත්වයක. ඒ තැන ඉඳගෙන අපිට දරුවන්ට තාර්කික උත්තර දෙන්න අමාරුයි. මේ දරුවෝ හොඳටම භය වෙලා ඉන්නේ. ඒ වගේම මරණය කියන දේ ඔලුවට කා වැදිලා තියෙන්නේ. අපි හිතුවා ඒ අඳුරු යුගය ඉවර වුණා කියලා අවුරුදු දහයකට කලින්," ඔහු පැවසුවේය.

ෆාතිමා සාරා මොහිදීන්ගේ අත්දැකීම්

"මමයි, මහත්තයයි, පුතයි මෝටර් රථයෙන් කොළඹ කොටුවට යන අතර අපිව ආමි එකෙන් නැවැත්තුවා. අපේ හැඳුනුම්පත් පරීක්ෂා කළා," කොළඹ පදිංචි වී සිටින සාරා මොහිදීන් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

"මේ සිද්ධ වුණ දේවල්වලට අපි සම්පූර්ණ විරුද්ධයි. ඒ වගේම සෑහෙන දුකයි. නමුත් අපේ හිත ගැස්සුනා ආමි එකෙන් එහෙම නවත්වද්දී. ආයෙත් අපේ ජීවිත අවුරුදු දහයක් පස්සට ගියා වගේ දැනුණා."

"මොනවා වුණත් මුස්ලිම් අය හැටියට අපි මේ වෙලාවේ ආරක්ෂක අංශවලට සහය දෙන්න ඕනේ. ඇති වෙලා තියෙන තත්වයත් එක්ක මේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ," ඇය තවදුරටත් පැවසුවාය.

Sri lanka attacks personal experiences

"පාළු මූසල ස්වභාවයක්"

අප්‍රේල් 26 වෙනි සිකුරාදා පෞද්ගලික කටයුත්තත් සඳහා නිවසින් බැහැරව ගිය කැලණිය ප්‍රදේශයේ දිවි ගෙවන සුජාතා රණවීර සිය අත්දැකීම් මෙසේ හෙළි කළාය.

"අපි කැලණියේ ඉඳන් පැය දෙකක විතර ගමනක් ගියා. පාරවල් පාළුවට ගිහින් මහා මූසල ගතියක් තියෙන්නේ. සමහර පැතිවල කිසිම මිනිහෙක් පේන්න නැහැ."

"අපි පුදුම බයකින්, දුකකින් ජීවත් වෙන්නේ. ගෙදර අය එළියට ගියාම ආයේ එන්නේ නැති වෙයි කියලා බයයි. මිනිස්සු වැඩිය ඉන්න සුපර්මාකට්වලට යන එකත් නතර කළා."

"ගෙදර කන බොන ඒවා මේ දවස්වල හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. මොකක් හරි සිද්ධියක් වෙලා අත්‍යවශය බඩු නැති වුණොත් එක පාර ගන්න තැනක් නැති වෙයි කියලා හිතෙනවා," ඇය පැවසීය.

එමෙන්ම, සිය නිවසට අප්‍රේල් 26 උදෑසන කුලී පදනම මත රැකියාවේ යෙදෙන කිහිපදෙනෙකු පැමිණ ඔවුන්ට එදිනෙදා ආහාර සහ වෙනත් අත්‍යවශය කටයුතු සඳහා මුදල් නොමැති බව පැවසූ බව සුජාතා රණවීර සඳහන් කළාය.

"එක්කෙනෙක් අපෙන් රුපියල් 500ක් තියෙනවා ද කියලා ඇහුවා ගෙදරට කෑම බඩු ගන්න. ඒ මිනිස්සුන්ට මේ ප්‍රශ්න ඇති වුණ දවසේ ඉඳන් කිසිම රස්සාවක් ලැබිලා නැහැ. ඒ වගේ කීපදෙනෙක් උදේ ඉඳන් ගෙදරට ආවා. අපිට මහා කනගාටුවක් දැනෙන්නේ මේ තත්වය ගැන," ඇය තවදුරටත් පැවසීය.

Sri lanka attacks personal experiences

ත්‍රිකුණාමලයේ සෝදිසි මෙහෙයුම්

මේ අතර, කන්තලේ කින්නියා, මූතූර්. ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගර සියල්ලක්ම බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) පෙරවරුවේදී හමුදාව සහ පොලීසිය එක්ව දැඩි සෝදිසියකට ලක් කළ අතර, එයින් පසුව සියලු වෙළඳසැල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන වසා දැමූ බව වාර්තා විය.

පස්වරුවේදී මගී ප්‍රවාහන සහ අනෙකුත් වාහන ධාවනය විශාල වශයෙන් අඩු වී තිබේ.

කන්තලේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඩී ජී එම් කොස්තා පැවසුවේ රෝහල අසල බෝම්බයක් ඇති බවට පැතිරගිය කටකතාවක් නිසා බාහිර අංශයේ රෝගීන් මහත් සේ කලබල වූ බවය.

"මිනිස්සුන්ගේ සිත්වල පරණ භය තවම තියෙනවා. ඉතින් තැතිගන්නා එක ගැන පුදුමයක් නැහැ," ඔහු පැවසීය.

මේ අතර, සමහර පුද්ගලයන් තමන්ට දැනෙන බිය, දුක මිශ්‍ර අත්දැකීම් මෙන්ම සංවේදී සිද්ධීන් ගැන සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබිණි.

Sri lanka attacks personal experiences
Sri lanka attacks personal experiences
Sri lanka attacks personal experiences

මේ තොරතුරුද කියවන්න: