ජාත්‍යන්තර කාන්තා දිනයේ කාන්තාවන් මෙහෙයවූ ගුවන් යානය: "ආකල්ප වෙනස් කළ හැකියි"

කාන්තාවන් විසින් පමණක් මෙහෙයුම් සිදු කරන ලද මගී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිකුරාදාට (මාර්තු 08) යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ සුවිශේෂී ආකාරයකිනි.

ඒ, කාන්තාවන් විසින් පමණක් මෙහෙයුම් සිදු කරන ලද මගී ගුවන් යානයක් පියාසර කරවීමෙනි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ, "කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය මෙය" වන බවය.

ඒ අනුව කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ UL306 අංකය දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම විශේෂ ගුවන් ගමන ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වී තිබුණු අතර, ඇතැම් පුරුෂයන් එය හාස්‍යයට ලක්කිරීම ගැන කාන්තාවන් අප්‍රසාදය පළ කර තිබුණි.

සමාජ මාධ්‍ය ජාලවල පළ වූ අදහස්
සමාජ මාධ්‍ය ජාලවල පළ වූ අදහස්

යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය කාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ගුවන් නියමුවරිය ලෙස කපිතාන් සිම්රන් ගුම්මන් සහ පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ කටයුතු කළහ.

ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රධානියා වූයේ, මිරැන්ඩා රොද්‍රිගෝය. ගුවන් යානයේ සෙසු කාර්ය මණ්ඩලයට ලක්මිණි, සුමුදු, ඔනෙලා, ෂෙහානි සහ දුෂ්මන්ති යන ගුවන් සේවිකාවන් එක්වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

කියවන්න:

Sri Lankan Airlines
ඡායාරූප ශීර්ෂ වැකිය, සිම්රන් ගුම්මන් සහ මනීෂා නම්බුගේ

කපිතාන් සිම්රන් ගුම්රන් පවසන්නේ, "සම්පූර්ණයෙන් කාන්තාවන් මෙහෙයුම් සිදු කළ ගුවන් යානයක් පියාසර කරවමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන" බවය.

"ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු කාන්තා කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් යානයේ සාමාජිකයෙකු වීම මට මහත් ආඩම්බරයක්," එසේ පවසන්නේ, ගුවන් යානයේ පළමු පියාසර නිලධාරිනිය වූ මනීෂා නම්බුගේය.

Sri Lankan Airlines
Sri Lankan Airlines

මෙම ගුවන් යානයේ මගීන් 177 දෙනෙකු සිංගප්පූරුව බලා පියාසර කළ අතර, ගුවන් යානය සිංගප්පූරුවේ චාන්ගි ගුවන් තොටුපොළට ළඟා වීමෙන් අනතුරුව එහි කාන්තා කාර්ය මණ්ඩලයේ ඡායාරූප කිහිපයක් ද පළ කර තිබිණි.

මෙම නව පියවර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඇතැමුන් පෙන්වා දී ඇත්තේ, "කාන්තාවන් ආහාර පිසීමට සහ පිරිසුදු කිරීමට පමණක් වෙන් වූවන් පිරිසක් බවට සමාජය තුළ පවතින මිථ්‍යා මතය මෙවැනි ක්‍රියාවලින් බිඳී යන" බවය.

Facebook
Facebook

කාන්තාවන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතය වෙනස් විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ අදහස් පළ වී තිබිණි.

තවත් කියවන්න: