බැඳුම්කර විමර්ශන වාර්තාව ජනපති අතට

අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද්දේ කොමිසමේ සභාපති විනිසකරු විසිනි
ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද්දේ කොමිසමේ සභාපති විනිසකරු විසිනි
Published

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද ( දෙසැම්බර් 30) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි එම කොමිසමේ සභාපතිවරයා හැටියට ක්‍රියා කළ අතර අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද්දේ ඔහු විසිනි.

බැඳුම්කර විමර්ශන කොමිසමේ සෙසු සාමාජිකයන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි එම අවස්ථාවට එක්ව සිටියහ.

එසේම ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු සහ බැඳුම්කර විමර්ශන කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය ද එම අවස්ථාවට සහභාගී වූහ.

මාස ගණනාවක් තුළ සිදු කරන විමර්ශනයෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාරදුන් දීර්ඝ වාර්තාව
ඡායාරූප ශීර්ෂ වැකිය, මාස ගණනාවක් තුළ සිදු කරන විමර්ශනයෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාරදුන් දීර්ඝ වාර්තාව

පසුගිය ජනවාරි 27 වෙනි දින පත් කරන ලද කොමිසමේ විමර්ශන කාලය නැවත දීර්ඝ කරන ලද අතර ඊට අයත් අවසන් නිල කාලය මෙම දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි

ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම 2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා කාලයට අදාළ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ලද අතර කොමිසමේ නිගමන සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයක් වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ එම කොමිසම හමුවට පැමිණ සාක්ෂි දීම එහි සුවිශේෂී අවස්ථාවක් විය.

අගමැතිවරයා හැරුන විට හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු කැබිනට් ඇමැතිවරුන් කීපදෙනෙක් ද ,පදවියෙන් ඉවත් කෙරුණ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ද මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි දී ඇත.

සබැඳි පුවත්;