සෞදි ගෘහ සේවිකාවන් වෙනුවෙන් අලුතින් ගුවන් තොටුපල සේවාවක්

සෞදිය
Published

සිය රට වෙත පැමිණෙන විදෙස් ගෘහ සේවිකාවන් සෘජුවම සිය හාම්පුතුන්ගේ නිවෙස් වෙත ගෙන ගොස් ඇරලන සේවාවක් සෞදි අරාබියේ ගුවන් තොටුපලක් විසින් අලුතින් ආරම්භ කරනු ලැබ තිබේ.

ගුවන් යානයේ ඇතුළත සිට සෘජුවම නිවසක් වෙත මග විවර වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සෞදි අරාබියේ කින්ග් ඛලීඩ් (King Khalid) ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙනුවෙන් කටයුතු කරන රියාද් ගුවන් තොටුපල සමාගමට අයත් නිල ට්විටර් පිටුවේ පළ කර තිබිණි.

"අප 'ත්ව්සලාක්' සේවය මගින් ඔබේගේ ගෘහ සේවිකාවන් ගුවන් යානයෙන් භාර ගෙන ඔබේ නිවසටම ගෙනත් ඇරලනු ඇත" යනුවෙන් එහි සඳහන් විය.

"ඇය ඔබ වෙත ගෙනත් බස්සනු ඇත" යන්න 'ත්ව්සලාක්' යන අරාබි වචනයේ දළ අදහස ලෙස ගත හැක.

හාම්පුතුන්ට සිය ජංගම දුරකථනය භාවිත කර එම සේවය ලබා ගත හැකි අතර සිය ගෘහ සේවිකාවන් නිවසට ඇරලූ පසු ජංගම දුරකථනය භාවිත කර මුදල් ගෙවීමට ද හැකියාව ඇත.

සෞදි ට්විටර් ගිණුම් හිමියන් වෙතින් ඒ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

'වෙනස් ලෙස සැලකීමක්'

Riyadh Airports advert on Twitter for its domestic staff transport service
ඡායාරූප ශීර්ෂ වැකිය, "අප 'ත්ව්සලාක්' සේවය මගින් ඔබේගේ ගෘහ සේවිකාවන් ගුවන් යානයෙන් භාර ගෙන ඔබේ නිවසටම ගෙනත් ඇරලනු ඇත"

කාර්යබහුල ගුවන් තොටුපලවල් වෙත ගොස් අලුතින් පැමිණෙන සිය ගෘහ සේවිකාවන් සොයා කාලය ගත කිරීමෙන් වැළකීමට ඉහත කී සේවය මගින් අවස්ථාව සැලසෙනු ඇති බව ඇතැමෙක් පවසති.

එම සේවය මගින් ගෘහ සේවිකාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවේදැයි තවත් සමහරෙක් ප්‍රශ්න කරති.

"යම් කිසි භාණ්ඩයක් ලෙස ඔවුන් සැලකේවිද?" යනුවෙන් එක් ට්විටර් ගිණුම් හිමියෙක් ප්‍රශ්නකර තිබිණි.

මේ අතර ඇතැමුන් ඉඟි කර තිබුණේ ඉහත කී සේවය නිසා අලුතින් පැමිණෙන ගෘහ සේවිකාවන් "පලා යාමෙන්" වළකිනු ඇති බවටය.

line
line

විදෙස් ශ්‍රමිකයන් ලක්ෂ ගණනක් සෞදි අරාබියේ සේවය කරති.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලට අයත් වෙති.

'අඩු පහසුකම්'

ගෘහ සේවය

සෞදි අරාබියට ඇතුළු වීමේ දී සහ පිට වීමේ දී සියලුම විදේශිකයන් සිය රැකියා ස්ථානයෙන් අවසර ලබා ගත යුතුය.

සෞදි අරාබියට වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඇතැම්විට මාස 06 පමණ කාලයක් ගත වේ.

එරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ට බොහෝ විට අවම පහසුකම් යටතේ දිවි ගෙවීමට සිදුව ඇති බවට අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පැමිණිලි කරති.

සිය හාම්පුතාගේ අවසරයකින් තොරව වෙනත් රැකියාවක් තෝරා ගැනීමට විදෙස් සේවකයන්හට පවතින බාධා පිළිබඳවත් එම සංවිධාන මැසිවිලි නගති.

line

ඔබ සෞදි අරාබියේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

එම කලාපයේ සේවයේ නිරත ඔබේ අත්දැකීම් හා අදහස් අප වෙත දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : sinhala@bbc.co.uk