මීතොටමුල්ල ඛේදවාචකයේ වගකීම භාරගන්නවා - ආණ්ඩුව

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාව
ඡායාරූප ශීර්ෂ වැකිය, "රජයක් ලෙසින් වගකීම භාරගෙන ඉදිරි පියවර ගන්නවා"
Published

මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳව එකිනෙකාට චෝදනා කරගැනීමෙන් වැලකී, රජයක් ලෙසින් එහි වගකීම භාරගෙන ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ පවසති.

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් නිවාස විනාශ වූ පවුල් 98 ක් වෙනුවෙන් නව නිවාස ලබාදෙන මෙන්ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එම නියෝගය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එයට අමතරව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාගැනීම පිණිස එක් නිවසකට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන මෙන්ද ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

අදාළ නිවාස 98 රජය විසින් නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගෙන නිවාස අහිමි වූ ජනතාවට පවරා දෙන බව ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳව නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින්

කුණු කන්ද නාය යාමෙන් නිවාස 79 ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර, තවත් නිවාස 17 ක් අර්ධ වශයෙන් විනාශ වී තිබේ.

පවුල් 26 කට අයත් 1059 දෙනෙකු අවතැන්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

'ඉවත්කරන්න එපා'

අනතුරෙන් මියගිය පිරිස 32 දක්වා ඉහල ගොස් ඇති අතර, 11 දෙනෙකුට තුවාල සිදු වී තිබේ. තවත් 8 දෙනෙක් අතුරුදහන්ව සිටිති.

"මමත් විද්‍යාඥයෙක්. කුණු කන්ද මෙතනින් ඉවත්කිරීම යෝග්‍ය නෑ කියන එක තමයි විද්‍යාඥ මතය"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මමත් විද්‍යාඥයෙක්. කුණු කන්ද මෙතනින් ඉවත්කිරීම යෝග්‍ය නෑ කියන එක තමයි විද්‍යාඥ මතය"

විධිමත් තාක්ෂණික අධ්‍යයනයක් තුළින් කඩිනම් වැඩපිළිවෙලක් යටතේ කසල කන්ද ඉවත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන මෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උඅප්දෙස් දී තිබේ.

මේ අතර කොළඹදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් ඇමතූ මහාචාර්ය තිස්ස විතාරණ මීතොටමුල්ලෙන් කුණු කන්ද ඉවත් නොකළ යුතු බව අවධාරණය කළේය.

"මමත් විද්‍යාඥයෙක්. කුණු කන්ද මෙතනින් ඉවත්කිරීම යෝග්‍ය නෑ කියන එක තමයි විද්‍යාඥ මතය," ඔහු පැවසීය.

ඒ වෙනුවට කුණු කන්ද එතනම තබා, ජීව තාක්ෂණ ක්‍රමවේදය මගින් පොහොර සහ ජීව වායු නිෂ්පාදනය කිරීම පිණිස එය යොදාගත යුතු බව මහාචාර්යවරයා පැවසීය.