අවසන් දේශනයේදී ශ්‍රී ලංකාව ගැන බැන් කි මූන්

අවසන් දේශනයේදී ශ්‍රී ලංකාව ගැන බැන් කි මූන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ධුරයෙන් ඉවත්ව යන එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්
Published

ශ්‍රී ලංකාව සහ මියන්මාරය දේශපාලන පරිවර්තන සම්බන්ධ සුභවාදී නව අදියරකට එළඹී සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන තුවාල සුව කිරීමේ උත්සාහය තීව්‍ර වී තිබෙන බවත් මහලේකම් බැන් කි මූන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය අවසාන දේශනය පවත්වමින්.

රටක සැබෑ සංහිඳියාව රඳා පවතින්නේ බහුතරය සහ සුළුතරය ඇතුළු රටේ සියලුම ජන කොටස් අලුත් රටක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයට එක් කර ගැනීම මත බවත් ඔහු පැවසීය.

සිරියාවේ පස් අවුරුදු සිවිල් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් අති බහුතරයක් සම්බන්ධයෙන් සිරියානු ආණ්ඩුව වගකීම භාර ගත යුතු බවත් මහලේකම් බැන් කි මූන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පදවියෙන් ඉවත්ව යන මහලේකම්වරයා මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය
ඡායාරූප ශීර්ෂ වැකිය, පදවියෙන් ඉවත්ව යන මහලේකම්වරයා මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය
පදවියෙන් ඉවත්ව යන මහලේකම්වරයා මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය

මහලේකම්වරයා මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කළ දෙවැනි වතාව එයයි.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් දියත්ව තිබෙන සංහිඳියා ක්‍රියාදාමයට මහලේකම්වරයා ප්‍රශංසා කළේ අඳුරෙන් එලියට එන ශ්‍රී ලංකාව දැක ගැනීමට තමා එහි පැමිණි බව පවසමින්.

කෙසේ නමුත් උතුරේ ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් යළි පවරාදීම වේගවත් කරන මෙන් ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බදාදා මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.