ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක සහ උප නායක ඉවතට

Cameron Bancroft & Steve Smith
ඡායාරූප ශීර්ෂ වැකිය, කැමරන් බැන්ක්‍රොෆ්ට් (වම පසින්) සහ ස්ටීව් ස්මිත්
Published

පන්දුව පළුදු කළ බව පිළිගැනීමෙන් අනතුරුව එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් වෙති.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම හා පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය තුළ ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් සිය නායක සහ උප නායක ධුරයන්ගේ කටයුතු නොකරනු ඇත.

පන්දුව පළුදු කිරීමේ සිදුවීම පිළිබඳ අවධානය යොමු කර ස්ටීව් සමිත් නායකත්වයෙන් ඉවත් විය යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසම මීට ඉහතදී නිවේදනය කර තිබිණි.

සත්කාරක දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන්හිදී පැවති තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේදී පන්දුව පළුදු කළ බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් සෙනසුරාදා (මාර්තු 24) පැවති මාධ්‍ය හමුවකදී පිළිගත්තේය.

එහිදී අදහස් දැක්වු ස්ටීව් ස්මිත් කියා සිටියේ එම සැලසුම පිළිබඳ තමන් කල්තියා දැන සිටි බවය.

"විශාල අත්වැරැද්දක්"

විසිපස් හැවිරිදි කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කලිසම් සාක්කුවෙන් කහ පැහැති පටියක් ගෙන පන්දුවේ අතුල්ලන ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැක ගත හැකි විය.

ඒ අනුව පන්දුවේ හැසිරීම වෙනස් කිරීමට උත්සාහ කළ බවට තමන්ට එරෙහිව චෝදනා එල්ල වන බව කැමරන් බැන්ක්‍රොෆ්ට් වැඩිදුරටත් පැවසීය.

Steve Smith (left) and David Warner
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්, ටිම් පේන් යටතේ ක්‍රීඩා කරනු ඇත

කෙසේ නමුත් එම මාධ්‍ය හමුවේදී ස්ටීව් ස්මිත් කියා සිටියේ පන්දුව පළුදු කිරීමේ සැලසුම පිළිබඳ "නායකත්ව කණ්ඩායම" සාකච්ඡා කර තිබු බවය.

"එය විශාල අත්වැරැද්දක්" ලෙස හැඳින් වූ ස්ටීව් ස්මිත් නායකත්වයෙන් ඉවත් නොවන බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නමුත් පසුව එකී සිදුවීම ක්‍රිකට් ලෝකයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

"හෙලා දකිනවා"

ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ නායකත්වය සඳහා ටිම් පේන් පත් කරනු ලැබ ඇත.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවය.

කිසියම් හෝ ක්‍රීඩාවකදී වංචා සහගතව කටයුතු කිරීම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසම විසින් හෙලා දකිනු ලැබ ඇත.