රංගන හේරත් සහ මුරලි: ලොව සාර්ථකම වමත්, දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනා

රංගන හේරත්
ඡායාරූප ශීර්ෂ වැකිය, රංගන හේරත්: ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා
Published

ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සෙනසුරාදා (පෙබරවාරි 10) සමත්විය.

ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දවා ගත් කඩුලු හතරත් සමග ඔහු මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 415 දක්වා ඉහළ යාමත් සමගය.

මින් පෙර මෙම වාර්තාව සතු වූයේ ටෙස්ට් කඩුලු 414ක් දවාගත් පාකිස්තාන කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ටය.

රංගන හේරත් මෙම වාර්තාව සතුකර ගැනීමත් සමග ලෝකයේ සාර්ථකතම වමත් හා දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවෙන් බිහිකළ සාර්ථකම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන, ලෝකයේ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා සහ සාර්ථකම දකුණත් පන්දු යවන්නා ලෙසින් වාර්තා දෙකක්ම හිමිකරගෙන සිටියි.

තරගයේදී කඩුලු පහක් දිනාගත් යොවුන් ක්‍රීඩක අකිල ධනංජය (දකුණේ)
ඡායාරූප ශීර්ෂ වැකිය, තරගයේදී කඩුලු පහක් දිනාගත් යොවුන් ක්‍රීඩක අකිල ධනංජය (දකුණේ)
තරගාවලියේ වීරයා: නවක පිතිකරු රොෂේන් සිල්වා
ඡායාරූප ශීර්ෂ වැකිය, තරගාවලියේ වීරයා: නවක පිතිකරු රොෂේන් සිල්වා

මේ අතර රංගන හේරත් සහ සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 215 විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව තරග 1-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු රොෂේන් සිල්වාටය.

අසීරු තණතීරුවක ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබා ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට රොෂේන් සිල්වා සමත්විය.

තවත් කියවන්න: