ක්‍රිකට්: ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනියි

අසේල ගුණරත්න හයේ පහර පහක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 84 ක් රැස්කිරීම කැපී පෙනුණි
Published

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයත් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවලියේ ජය අත්කර ගත්තේය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස තරගාවලි තුනක් පිට පිටම ජයග්‍රහණය කර තිබේ.

ඉරිදා පැවති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය.

Grey line
Grey line

එහිදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 173 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, නුවන් කුලසේකර විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයි රිචඩ්සන් (Jhye Richardson) දවාගනු ලැබුවේ තරගයේ අවසාන පන්දුවේදීය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර නියමිත පන්දු වාර හතර අවසානයේදී ලකුණු 31 කට කඩුලු හතරක් දවාගත්තේය.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි විස්සයි විස්ස තරගය

එයට ප්‍රතිචාර වශයෙන් තියුණු තරගයක යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානය දක්වාම පිතිහරඹයේ යෙදුනු අතර, කඩුලු අටක් දැවී ලකුණු 176 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය අත්කර ගත්තේය.

නවක ක්‍රීඩක අසේල ගුණරත්න හයේ පහර පහක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 84 ක් රැස්කිරීම කැපී පෙනුණි.