අහංගම වෙරළ තීරයේ ඇත්තට ම සිදු වුණේ කුමක් ද? ඉදිරියේදී සිදු කිරීමට යන වෙනස්කම් මොනවා ද?

කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ඇතුළු ද්‍රව්‍ය වෙරළ තීරය මත ඇති අයුරු දිස්වෙන අතර කඩා ඉවත් කර ඇති ගොඩනැගිල්ලක් කොටසක විදේශිය සංචාරකයින් පිරිසක් රැඳී සිටින අයුරු.
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ අහංගම වෙරළ තීරයේ ඉදිකර තිබු ආපනශාලා සහ කැෆේ ඇතුළු අනවසර ගොඩනැගිලි 35ක් පසුගිය අගෝස්තු 18 වැනිදා කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල වෙත පැවසුවේ අහංගම ප්‍රදේශයේ නීතිවිරෝධී ඉදිකිරීම් 55ක් ඉවත් කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බව සහ ඉන් ආයතන 22කට අයත් ස්ථාන 35ක් ඉවත් කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවයි.

දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගෙන ඇති අහංගම වෙරළ තීරය තුළ පිහිටි ආපනශාලා සහ කැෆේ ඉවත් කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු විවිධ තොරතුරු හා පක්ෂ විපක්ෂ අදහස් බෙදා ගෙන තිබුණත්; එහිදී සත්‍ය වශයෙන් ම සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ ඒ කිසිදු කතිකාවක සංවාදයට භාජනය වී තොතිබුණු බව අපට නිරීක්ෂණය විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමට අපි අදහස් කළෙමු.

බීබීසී සිංහල වාර්තාකරු අහංගම වෙරළ තීරයට යන විටත් කඩා ඉවත් කළ ආපනශාලාවල සහ හෝටල්වල විදෙස් සංචාරකයින් කිහිප දෙනෙකු රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.

එම හෝටල්වල හිමිකරුවන් සහ සේවකයින් සුන්බුන් කොටස් ඉවත් කරන අයුරු නිරීක්ෂණය වුණු අතර ඇතැම් විදේශිකයින් කඩා ඉවත් කරන ලද හෝටල්වලින් සේවා ලබා ගැනීමට පැමිණ තිබිණි.

විදේශිකයින් පැමිණෙන හෝටල් සහ ආපනශාලා සඳහා තැඹිලි ආදිය සැපයුම් කරන පුද්ගලයින් ඒවා අලෙවි කර ගත නොහැකිව සිටින අයුරු ද බීබීසී සිංහල වාර්තාකරුට නිරීක්ෂණය විය.

අහංගම වෙරළ තීරයේ ආරක්ෂාවට යොදා ඇති ගල් වැට අසල ඉදිකර තිබූ ආපනශාලාවක කොටසක් කඩා ඉවත් කර ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, අහංගම වෙරළ තීරයේ ආරක්ෂාවට යොදා ඇති ගල් වැට අසල ඉදිකර තිබූ ආපනශාලාවක කොටසක් කඩා ඉවත් කර ඇති අයුරු

'මේක ආර්ථික වශයෙන් හොඳ දෙයක් නෙමෙයි'

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

X සමාජ මාධ්‍යයේ 'south coast sudda' නමින් හඳුන්වන ගිණුමක් හිමි පුද්ගලයෙකු ප්‍රකාශ කර තිබුණේ, අහංගම වෙරළ තීරයේ ආපනශාලා සහ කැෆේ ආදිය ඉවත් කිරීම රටේ ආර්ථිකයට යහපතක් ගෙන නොදෙන බව ය.

වෙරළ සංරක්ෂණ නීති පද්ධතිවලට අනුකූල නොවන අයුරින් සිදුකර ඇති ඉදිකිරීම් කඩා ඉවත් කිරීම ගැටලුවක් නොවන බව එම සටහනට ප්‍රතිචාර දක්වමින් ඇතැම් පරිශීලකයින් පෙන්වා දී තිබිණි.

මේ අතර, තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් අහංගම වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබූ ජනප්‍රිය ගමනාන්තයක් බැවින් ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතු බව ය.

"ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මේ මොහොතේ ඇති වැදගත්ම වෙරළ තීරය මේකයි. විනාශයට පත් වූ එම ආපනශාලා, දකුණු වෙරළ තීරය දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගන්නා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට, ප්‍රාදේශීය රැකියා අවස්ථා සඳහා සහය වීමටත් දායක වී තිබුණා. ඒ ගැන සොයා බලන්න..." එම පරිශීලකයා සටහන් කර තිබිණි.

'මගේ හෝටලය කඩා ඉවත් කරන වෙලාවේ ගෙස්ට්ලා 50ක් විතර හිටියා'

බීබීසී වාර්තාකරු අහංගම වෙරළ තීරයට ගොස් සිදු වී ඇති දේ නිරීක්ෂණය කරන අතරතුර මුණ ගැසුණු අහංගම ආපනශාලාවක හිමිකරුවෙකු වන රොමේෂ් කියා සිටියේ, මෙවර සංචාරක සමය ආරම්භ වීමට නියමිතව තිබියදී මේ අයුරින් අහංගම වෙරළ තීරයේ පිහිටි ඉදිකිරීම් කඩා ඉවත් කිරීම සංචාරක කර්මාන්තයට එල්ල වූ ප්‍රබල අභියෝගයක් බව ය. මෙලෙස කඩා ඉවත් කරන ලද ඉදිකිරීම්වල හිමිකරුවන් තමන්ට මාස 06ක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද ඊට නිසි පිළිතුරු නොලැබුණු බවයි.

"මම Thileni's කියන රෙස්ටුරන්ට් එකේ අයිති කෙනා. මට කියන්න තියෙන්නේ මේ ආයතනයේ ප්‍රධානියා විදිහට වෙරළ සංරක්ෂණ එකෙන් සහ පවතින රජයෙන් මේ කරපු දේ සාධාරණ ක්‍රියාමාර්ගයක් නෙමෙයි කියන එක. මොකද සීසන් එකක් ඉස්සරහට එන අවස්ථාවකදී තමයි මේ සතියක වගේ කාලසීමාවකදී මේවා ඉවත් කරනවා කියල දැනුම් දීලා පස්සේ එයාලා ඇවිත් මේක ඉවත් කරන්නේ. ඒ කරපු දෙයින් මේ අහංගම තියෙන ටුවරිස් ඉන්ඩස්ට්‍රි එක ම විනාශ වෙනවා."

Thileni's  නමැති ආපනශාලාවේ හිමිකරු නිල් පැහැති කමිසයක් ඇඳ අව් කන්නාඩි පැළඳ සිටියි
ඡායාරූප ශීර්ෂ වැකිය, "මම Thileni's කියන රෙස්ටුරන්ට් එකේ අයිති කෙනා. මට කියන්න තියෙන්නේ මේ ආයතනයේ ප්‍රධානියා විදිහට වෙරළ සංරක්ෂණ එකෙන් සහ පවතින රජයෙන් මේ කරපු දේ සාධාරණ ක්‍රියාමාර්ගයක් නෙමෙයි කියන එක"

"මගේ හෝටලය කඩා ඉවත් කරන වෙලාවේ ගෙස්ට්ලා 50ක් විතර හිටියා. එයාලා පවා ඒ කඩන්න ආපු අයගෙන් ඉල්ලලා හිටියා මේක කරන්න එපා කියලා. අහංගම ටුවරිසම් හැදිලා තියෙන්නේ මේ තියෙන කැෆේ වගේ ම පොඩි පොඩි රෙස්ටුරන්ට් නිසා; සර්ෆින් නිසා කියලා. තව මාස එකහමාරකින් විතර සීසන් එක පටන් ගන්නවා. අපි කිව්වා මාස 06ක් කල් දෙන්න පස්සේ අපිම කඩලා ඉවත් කර ගන්නම් කියලා. ගොඩක් අය මේ හරහා ජීවත් වෙනවා, ලංකාවට එන විදේශ විනිමයක් නැති වුණා."

"2018 දී අහංගම ටුවරිසම් පටන් ගත්තේ. මම තමයි මුලින් ම මෙහෙ රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තේ. දැන් කරපු දෙයින් පස්සේ මේ වෙනකොට ගෙස්ට්ස්ලා 200ක් විතර මැසේජ් කරලා තියෙනවා ඉන්ස්ටර්ග්‍රෑම් එකට අහංගමට එන්නේ නැහැ කියලා. මේ කඩලා දාපු ෂිට්, ඇණ, කොන්ක්‍රීට් නිසා තව අවුරුද්දක් යනකම් මේ බීච් එකට බැහැලා ඇවිදින්න බලන්න ලැබෙන්නේ නැහැ," ඔහු කියා සිටියේ ය.

"මගේ හෝටලය කඩා ඉවත් කරන වෙලාවේ ගෙස්ට්ලා 50ක් විතර හිටියා. එයාලා පවා ඒ කඩන්න ආපු අයගෙන් ඉල්ලලා හිටියා මේක කරන්න එපා කියලා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ හෝටලය කඩා ඉවත් කරන වෙලාවේ ගෙස්ට්ලා 50ක් විතර හිටියා. එයාලා පවා ඒ කඩන්න ආපු අයගෙන් ඉල්ලලා හිටියා මේක කරන්න එපා කියලා"

'මේ කඩලා තියෙන සියලු ම ස්ථානවලින් රජයට ගෙවන්න ඕන බදු වගේ ම අනෙක් ගාස්තු ගෙවීම් කරලා තියෙන්නේ'

වෙරළ තීරයේ ඇති ඉදිකිරීම් කඩා ඉවත් කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වෙන ලෙස සංචාරක අමාත්‍යංශයේ ඉල්ලීමක් කළ ද එය සොයා බැලීමට කිසිදු නිලධාරියෙක් නොපැමිණි බව ද අප වෙත කියා සිටියේ ය.

"සංචාරක අමාත්‍යංශයේ කවුරුත් ඇවිල්ලා අපිත් එක්ක කතා කළේ නැහැ. අපිට අගෝස්තු 08 වන දා දැනුවත් කරලා තිබ්බා සතියක් ඇතුළත ඉවත් කරගන්න කියලා. අපි ඉල්ලීම් කළා සතියක කාලයක් ඇතුලත මේවා කඩලා ඉවත් කරන්න කියලා දැනුම් දීලා තියෙනවා, ඒ නිසා ඇවිල්ලා ඒ ගැන හොයලා බලන්න කියලා. ඒත් අමාත්‍යංශයෙන් කවුරුත් ආවේ නැහැ. ඊට පස්සේ එයාලා අගෝස්තු 18 ඇවිල්ලා මේවා කඩලා ඉවත් කළා."

"සුනාමියට කලින් මේ ස්ථානවලට අවසර තිබ්බා, නමුත් පස්සේ යම් විදිහේ සීමා දාලා තියෙනවා. අඩු ම තරමින් අපිට ලෑන්ඩ් මාර්ක් එකක් ගැනවත් දැනුම් දුන්නේ නැහැ. ඒත් මේ කඩලා තියෙන සියලු ම ස්ථානවලින් රජයට ගෙවන්න ඕන බදු වගේ ම අනෙක් ගාස්තු ගෙවීම් කරලා තියෙන්නේ. අපි කියන්නේ මේ වෙරළ කලාපය රජයට අයිති නිසා බද්දක් හරි වාර්ෂිකව අය කරලා මේ ව්‍යාපාර හොදින් කරගෙන යන්න අපිට අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ඇතුළු ද්‍රව්‍ය වෙරළ තීරය මත ඇති අයුරු දිස්වෙන අතර කඩා ඉවත් කර ඇති ගොඩනැගිල්ලක් කොටසක විදේශිය සංචාරකයින් පිරිසක් රැඳී සිටින අයුරු.
ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ කඩලා දාපු ෂිට්, ඇණ, කොන්ක්‍රීට් නිසා තව අවුරුද්දක් යනකම් මේ බීච් එකට බැහැලා ඇවිදින්න බලන්න ලැබෙන්නේ නැහැ"

'වෙරළ තීරය පොදු දේපලක් නිසා කාටවත් ඒවා අත්පත් කර ගන්න බැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒ අනුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරගෙන් බීබීසී සිංහල ව්‍යාපාරකයින් නගන මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීමක් කළේය.

ඔහු කියා සිටියේ, දිවයින පුරා වෙරළ කලාපයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට මේ වන විට ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බව ය.

"වෙරළ කලාපය මුහුදු වෙරළේ ඉඳලා මීටර් 300ක භුමී පටියක් තමයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පැත්තෙන් කළමනාකරණය කරන්නේ. මුහුදේ ඉඳලා කිලෝමීටර් දෙකක් අපේ ආයතනය කළමනාකරණය කරනවා. වෙරළ තීරය පොදු දේපලක් නිසා කාටවත් ඒවා අත්පත් කර ගන්න බැහැ. මේ වෙන කොට ලංකාවේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා අපි දකිනවා වෙරළ තීරයේ පුටු වගේ ම බංකර් බෙඩ්ස් ආදි දේවල් තියලා තියෙනවා. ඒ වගේ ම ගල් බැම්මේ ඉඳලා ගොඩබිම පැත්තට තියෙන මීටර් 10ක කොටස කිසිදු ඉදිකිරීමක් කරන්න බැහැ නීතියෙන්."

අපි මූලික අදියරේදී කළේ ඒ වගේ ඒවා ඉවත් කරපු එකයි. විශේෂයෙන් ම හිරිකැටිය, හලාවත වගේ ම නැගෙනහිර වෙරළ තීරයේ තිබ්බ ඒ වගේ දේවල් අපි ඉවත් කරන්න කටයුතු කළා. ඒ අනුවයි අපි අහංගමත් ඉවත් කළේ," හෙතෙම කියා සිටියේ ය.

'අපි මේකෙන් තමයි කීයක් හරි හොයාගෙන ජීවත් වුණේ'

අහංගම වෙරළ තීරයේ කුඩා ප්‍රමාණයේ කඩයක් පවත්වාගෙන ගිය ඩබ්ලිව්. රමණි
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි මේකෙන් තමයි කීයක් හරි හොයාගෙන ජීවත් වුණේ. අපි ඉල්ලනවා අඩු ම තරමින් ඉස්සරහට තියෙන මාස 06ක කාලය හරි මේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ දෙන්න කියලා"

අහංගම වෙරළ තීරයේ කුඩා ප්‍රමාණයේ කඩයක් පවත්වාගෙන ගිය ඩබ්ලිව්. රමණි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, අනවසර ඉදිකිරීමක් ලෙස සඳහන් කරමින් සිය කඩය ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගත් බව ය. ඊට විරුද්ධව කටයුතු කළහොත් මාස 06කට සිරදඬුවම් විඳීමට සූදානම් වන ලෙසට පොලිස් නිලධාරීන් තමන්ව බියට පත් කළ බවට ඇය චෝදනා කළා ය.

"මේ කඩේ දැන් හදලා අවුරුදු 05ක් වෙනවා. මේවා සුනාමියට ගියපු ඉඩම්, දැන් වෙරළේ ගල් එහෙම දාලා තියෙන්නේ. පස්සේ අපි මඩුවක් හදලා ඊට පස්සේ ගඩොල්වලින් කඩේ බැඳ ගත්තා. අපිට මීට කලින් වෙරළාරක්ෂක එකෙන් නඩුත් දාලා තිබ්බේ. පස්සේ අපි නඩුවට ගිහින් දඩ ගෙවලා කරදරයක් නැතිව හිටියා. මේක කඩන්න දැන් සතියකට කලින් අපිව දැනුවත් කරලා ලියුමක් එව්වේ. මේවා කඩන්න විරුද්ධව හිටියොත් මාස 06ක් හිරේ දානවා කියලා පොලිසියෙන් අපිව බය කරලයි මේවා කැඩුවේ. අපි මේකෙන් තමයි කීයක් හරි හොයාගෙන ජීවත් වුණේ. අපි ඉල්ලනවා අඩු ම තරමින් ඉස්සරහට තියෙන මාස 06ක කාලය හරි මේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ දෙන්න කියලා," ඇය කියා සිටියේ ය.

'වෙරළ කලාපයේ තියෙන නීතිවිරෝධී ඉදිකිරීම් ගැන ප්‍රදේශවාසී ජනතාවගෙන් ම පැමිණිලි තියෙනවා'

"අහංගමත් තිබුණා නීතිවිරෝධීව වෙරළ මත ඉදිකරපු අනවසර ඉදිකිරීම් ගොඩක්. විශේෂයෙන් මුහුදු තීරයේ ආරක්ෂාවට යොදලා තියෙන ගල් බැමි මත තමයි මේ ඉදිකිරීම් කරලා තිබුණේ. ඒවායේ ආරක්ෂාව නැහැ. මේ නිසා අනාගතයේදී යම් විදිහකින් ඒ බැමිවල අලුත්වැඩියා කිරීමක් කරන්න ගියත් එතැනදීත් ගැටලුවක් ඇතිවෙනවා. මේ ඔක්කොම නීතිවිරෝධී ඉදිකිරීම්. මේ නිසා ලංකාව වටේ ම වෙරළ මත සහ ආරක්‍ෂිත බැමි මත තියෙන ඉදිකිරීම් ඉවත් කරන්න අපේ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙන්නේ," ඔහු පැහැදිළි කළේ ය.

මේ අතර, නිතිවිරෝධිව වෙරළ කලාපයේ ඉදිකර ඇති ආපනශාලාවලින් රාත්‍රී කාලය පුරා ප්‍රචාරය කරන සංගීතය මෙන් ම ආලෝක ධාරා හේතුවෙන් පාරිසරික දූෂණය අධිකව සිදුවන බව ද මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මෙහිදී අවධාරණය කළේ ය.

"වෙරළ කලාපයේ තියෙන නීතිවිරෝධී ඉදිකිරීම් ගැන ප්‍රදේශවාසී ජනතාවගෙන් ම පැමිණිලි තියෙනවා. ශබ්ද දූෂණය වගේ ම ආලෝක දූෂණය වෙනවා මේ ආපනශාලාවලින්. ඒ වගේ ම රජයට නිසි විදිහට බදු ගෙවලා කරලා කරගෙන යන සංචාරක හෝටල්වලට මේ නිසා ලොකු පාඩුවක් සිද්ධ වෙනවා," වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර තවදුරටත් කියා සිටියේ ය.

කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ඇතුළු ද්‍රව්‍ය වෙරළ තීරය මත ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසි ම දෙයක් කරන්න එපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරයේ ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන"

'අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කිසි ම දෙයක් කරන්න එපා කියලා'

අප සමග කතාබහ කළ බොහෝ සංචාරක ව්‍යාපාරිකයින් මතු කළ පරිදි ම වෙරළ කළාප ආශ්‍රිතව සිදුකරනු ලබන සංචාරක කර්මාන්තය ක්‍රමානුකූලව සිදුකරගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු මෙහිදී පැවසීය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ම රජයේ ආයතන මෙන් ම ප්‍රදේශවාසීන්ගෙන් ඇතුළුව හොටල් හිමියන්ගේ ද අදහස් ලබා ගන්නා බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ ය.

"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී මිරිස්ස වෙරළ තීරයේ මනුස්සයෙක්ට ඇවිදගෙන යන්න බැහැ. මුහුදු වෙරළේ පුටු වගේ ම බංකර් බෙඩ් එහෙම තියලා තියෙන නිසා. අපි කියන්නේ නැහැ වෙරළ තීරයේ කි සිම දෙයක් කරන්න එපා කියලා. නමුත් යම් සීමාවක් තියෙන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ට වෙරළට ඇවිල්ලා පරිසරයේ ඇවිදිලා ඉන්න ඉඩක් තියෙන්න ඕන."

'අනාගතයේදී එයාලට බිම් බද්දක් සහ ටැක්ස් එකක් ගෙවන්න වෙයි'

"මේ නිසා අපි ඉදිරියේදී වෙරළ තීරයේ යම් සීමාවන් පනවනවා පුටු වගේ ම බංකර් බෙඩ්ස් තියන්න පුළුවන් ප්‍රමාණවල් ගැන. එතැනදී අපි බලනවා මේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය දේවල් කරන් යන්න වෙරළ තීරයේ විශේෂ ස්ථාන හඳුනා ගන්න. මෙන්න මෙතැනදී අපි රජයේ ආයතන වගේ ම ගම්වැසියන් සහ හෝටල් හිමියන් එක්ක අදහස් හුවමාරු කරගෙන ඒ තැන් තෝර ගන්නවා."

"එහෙම තෝර ගන්න තැන්වලට කොච්චර පුටු ප්‍රමාණයක් ද බංකර් බෙඩ්ස් ප්‍රමාණයක් ද තියන්න පුළුවන් කියලා අපි සීමාවන් පනවනවා. එතකොට මේ හෝටල් හිමියන්ට පුළුවන් බද්දක් රජයට ගෙවලා ඒ තැන්වල තමන්ට අවශ්‍ය දේවල් කරන්න. අනාගතයේදී එයාලට බිම් බද්දක් ගෙවන්න වෙයි, ටැක්ස් එකක් ගෙවන්න වෙයි. මොකද මේ වගේ නීතිවිරෝධි තැන්වලින් සංචාරක කර්මාන්තයෙන් රටට ලැබෙන්න ඕන ආදායම් අහිමි වෙනවා. සංචාරක කර්මාන්තය වුණත් හරියට රජයට ආදායමක් ලැබෙන විදිහට කරන්න ඕන," වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.

කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් ඇතුළු ද්‍රව්‍ය වෙරළ තීරය මත ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, "ගල් බැම්මේ ඉඳලා ගොඩබිම පැත්තට තියෙන මීටර් 10ක කොටස කිසිදු ඉදිකිරීමක් කරන්න බැහැ නීතියෙන්"

'හැමෝටම පොදු නීතියක් ඒ වගේම සම්මතයක් තියාගන්න අවශ්‍ය වෙනවා'

අහංගම වෙරළ තීරයේ පිහිටි ආපනශාලා ආදිය කඩා ඉවත් කිරීමේදී සංචාරක අමාත්‍යාංශයෙන් තමන්ට කිසිදු සහනයක් නොලැබුණු බවට එහි හිමිකරුවන් නඟන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිටගෙන් අපි විමසුවෙමු.

එහිදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ වෙරළ තීරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ බලය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, අනවසර ඉදිකිරීමක් සඳහා එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට අවස්ථාවක් ලබාදීම මඟින් ඉදිරියේදී ගැටලුසහගත තත්ත්වයක් පැන නගින බවය.

"සංචාරක කර්මාන්තයට ආකර්ෂණයක් ගන්න ඕන. නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි වෙරළ තීරයේ ආරක්ෂාව ගැන වගකියන ආයතනය වෙන්නේ. මෙතැනදී ටුවරිසම් වලට යම් බලපෑමක් එල්ල වෙනවා තමයි. නමුත් ඉහළ මට්ටමේ සංරක්ෂණයක් වෙන්නේ නැතිව ඕන කෙනෙක්ගේ අවශ්‍යතාවය විදිහට ඉදිකිරීම් කරන්න ගියාම එතන ගැටලුවක් ඇතිවෙනවා. එතැනදී කාටහරි ඉදිකිරීමක් කරන්න අපි අවස්ථාවක් දුන්නොත් අනිත් අයටත් ඒ අවස්ථාව දෙන්න වෙනවා. යම් කිසි පාලනයක් තියෙනවා නම් ඒ පාලනය දිගට ම තියා ගන්න ඕන. ඒ නිසා මෙතැනදී හැමෝටම පොදු නීතියක් ඒ වගේම සම්මතයක් තියාගන්න අවශ්‍ය වෙනවා. කවුරු හරි වැරැද්දක් කළොත් ඒ වැරැද්ද කොහොමද පෙන්නලා දෙන්නේ අපි කාට හරි අපි අවස්ථාවක් දීලා තියෙනවනම්; නීතියට පිටින් වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවනම්." ඔහු සඳහන් කළේය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙරළ තීරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සම්පුර්ණ බලය හිමිව ඇති බව පැවසූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට වෙරළ කළාපය තුළ නීතියට අනුකූල නොවන අයුරින් සිදුකර ඇති ඉදිකිරීම් හේතුවෙන් භූ දර්ශනයට හානි සිදුව ඇති බවය.

"වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි ඕකේ බලය තියෙන්නේ. මෙතන වෙලා තියන දේ තමයි අපි මුල ඉදල ම කිසිම ක්‍රියාපටිපාටියකට අනුව නෙමෙයි කටයුතු කරලා තියෙන්නේ. අපි පිටරටකට ගිහින් බැලුවම එතන සංචාරකයින්ට කියලා වෙනම කලාපයක් වෙන් කරලා තියනවා. මේකෙන් වෙන්නේ ඉහළ මට්ටමේ සංරක්ෂණයක් වෙන්නේ නැහැ වෙරළ තීරයේ. ආසියාතික රටවල්වල වගේම ලංකාවේ ගත්තම නීතියක් නැතිව මෙහෙම දේවල් කරන්න ගියාම භූ දර්ශනයට හානියක් වුනාම ඒකෙ වටිනාකම නැතිව යනවා. අපි යම් කිසි ප්‍රමිතියක් වගේම නිර්ණායකයක් තියා ගත්තේ නැති වුණා ම ප්‍රශ්නයක් වෙනවා."

විදේශිකයින් පැමිණෙන හෝටල් සහ ආපනශාලා සඳහා තැඹිලි ආදිය සැපයුම් කරන පුද්ගලයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශිකයින් පැමිණෙන හෝටල් සහ ආපනශාලා සඳහා තැඹිලි ආදිය සැපයුම් කරන පුද්ගලයින් ඒවා අලෙවි කර ගත නොහැකිව සිටින අයුරු ද බීබීසී සිංහල වාර්තාකරුට නිරීක්ෂණය විය.

'කිසිම සුළු ව්‍යාපාරිකයෙක් අමතක කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ'

"වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතැනදී බලන කෝණ කිහිපයක්ම තියෙනවා. එතැනදී එයාලා පරිසරය වගේම සතුන් ගැනත් ලොකු අවධානයක් යොමු කරනවා. සුනාමි අනතුරු වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන්නේ පොදු වෙරළ තීරයන්. බිල්ඩින් හදනවානම් එතනත් සීමා තියෙනවා. ඒවටත් ගරු කරගෙන තමයි අපි ටුවරිසම් කරන්න ඕන." ඔහු පැහැදිළි කළේය.

එමෙන්ම ඉදිරියේදී මෙරට වෙරළ තීරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය මේ වන විටත් නව වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත්, එහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ද සහය ඇතිව සංචාරක කලාප පිහිටුවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

"දකුණු වෙරළ තීරයේ විතරක් නෙමෙයි නැගෙනහිර වෙරළ තීරයේ ගොඩක් වෙරළ තීරයන් තියෙනවා කිසිම කෙනෙක්ගේ අවධානය හිමි නොවුණු. මෙතැනදී ලොකු සංචාරක හෝටල් ඉදිකරන්න නෙමෙයි වෙරළ සංරක්ෂණයට අයත් කොටසින් පිට ප්‍රදේශයේ වෙරළේ සුන්දරත්වය ආරක්ෂා වෙන විදිහට මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පී අංශයේ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ යටතේ සංචාරක කළාප පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රජා මූලික සංචාරක ව්‍යාපාරයක් කරන්නයි මෙතැනදී අපේ බලාපොරොත්තු වෙන්නේ. මේ වෙන කොට සැලසුම් කිහිපයක් අවසන් අදියරේ තියෙන්නේ. සහභාගීත්ව සංචාරක ආර්ථිකයක් හදන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙතැනදී කිසිම සුළු ව්‍යාපාරිකයෙක් අමතක කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ." ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිට වැඩිදුරත් පැවසීය.