යෝෂිත රාජපක්ෂට සහ වසන්ත කරන්නාගොඩට අධිචෝදනා පත්‍ර භාර දෙයි: චෝදනා මොනවා ද?

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අද (අගෝ: 20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදුවිය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී විත්තිකරුවන්ට අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී භාර දෙන ලදී.

ඇප මත මුදා හැරෙති

ඉන් අනතුරුව රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් දෙදෙනා මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරයා, විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවට නියම කළේ ය.

මෙහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ පිළිගැනීම් ඇතුළත් ලේඛනයක් ද අධිකරණයට භාර දුන්නා ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 17 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ සහභාගි කරවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම අධිචෝදනා ගොනු කර තිබිණි.