වසර 8කට පසු ශ්‍රී ලංකා A කණ්ඩායම තියුණු සටනකින් නැගී එන තරු ආසියානු කුසලානය දිනයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

තියුණු තරගයකින් අනතුරුව පකිස්ථානය පරදා 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායම අද (නොවැ. 29) සමත් විය.

කටාර්හි දෝහා නුවරදී පකිස්ථානය A කණ්ඩායමට එරෙහිව පැවති තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම ජය ගත්තේ එක් කඩුල්ලකිනි.

වෙස්ට් එන්ඩ් පාක් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්ථාන කණ්ඩායමේ නායක අබ්දුල් සමාද් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

පකිස්ථාන A කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13කට සීමා වූයේ රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ වනුජ සහන් උඩපන්දුවක් රැක ගැනීම හේතුවෙන් මාස් සඩාකට් ලකුණු 5කට දැවී යාමත් සමග ය.

ආරම්භක පිතිකරු ශමීල් හුසේන් ලකුණු 40ක් රැස් කළේ ය.

පකිස්ථාන A කණ්ඩායමේ නායක අබ්දුල් සමාද් ලකුණු 33කට දැවී ගියේය.

පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වූ ෂාසායිබ් ඛාන් ලකුණු 60ක් රැස් කළ අතර ඊට හතරේ පහර 4ක් ඇතුළත් විය.

රොහේල් නසීර් ලකුණු 37ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ පකිස්ථාන 'A' කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.

දකුණතින් දඟපන්දු යවන 27 හැවිරිදි ක්‍රීඩක රවිඳු ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තේය.

ගරුක සංකෙත් ලකුණු 46කට කඩුලු 3ක් සහ වනුජ සහන් ලකුණු 33කට කඩුලු 2ක් බැගින් දවා ගත්හ.

තරගයේ නියමිත පන්දුවාර 50 අවසන් වූයේ පකිස්ථානය 'A' කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කරමිනි.

ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන ලකුණු 217ක ඉලක්කයක් හඹා යමින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉනිම ආරම්භ කළහ.

ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක ම පිතිකරු යුගලය වූ ඔවුන් දෙදෙනා කෙරෙහි පකිස්ථාන පන්දු යවන්නන් වැඩි අවධානයක් යොමු කර තිබූ බව දක්නට ලැබිණි.

පසුගිය තරගයේදී මෙන් වේගවත් පිතිහරඹයක නිරත වීමට සිනෙත් ජයවර්ධන ගත් උත්සාහය අසාර්ථක වූයේ හසන් නවාස් හමුවේ ඔහුගේ ඉනිම ලකුණු 20කට සීමා වීම හේතුවෙනි.

පන්දු 13කට පමණක් මුහුණ දුන් ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් ද සමගිනි.

ලසිත් කෲස්පුල්ලේ ලකුණු 26කට දැවී ගියේ ය.

නායක පවන් රත්නායක ලකුණු 30ක් රැස් කළේ ය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් නිෂාන් මදුෂ්ක ලකුණු 87ක් රැස් කළේය.

හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

මුළු ලකුණු සංඛ්‍යාව 198ක් වන විට ශ්‍රී ලංකා 'A' ඉනිමේ 7 වන කඩුල්ල ලෙස නිෂාන් මදුෂ්ක දැවී යාමත් සමග, පන්දුවාර 13ක් ඉතිරිව තිබියදීත් කණ්ඩායම අසීරු තත්ත්වයකට පත් විය.

ඒ, පිළිවෙළින් 8 වන සහ 9 වන කඩුලු දෙක ද ලකුණු 198දී බිඳ වැටීම හේතුවෙනි.

අලී රාසා තරගයේ 36 වන පන්දුවාරයේදී එම කඩුලු දෙක දවා ගනිමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේය.

පකිස්ථාන 'A' කණ්ඩායමෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඉතිරිව තිබූ ලකුණු 19 රැස් කිරීමේ බර කරට ගත්තේ ලහිරු සමරකෝන් සහ ගරුක සංකෙත්ය.

පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ ලකුණු 220ක් රැස් කරමින් ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමට ගරුක සහ ලහිරු සමත් වූහ.

ශ්‍රී ලංකා 'A' කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ වසර 8කට පසුව ය.

ඒ අනුව, ශූරතා තුනක් දිනා ගනිමින් තරගාවලි ඉතිහාසයේ සාර්ථක ම කණ්ඩායම බවට පත් වීමට ඔවුහු සමත් වූහ.

තරගාවලියේ මූලික වටයේ දක්ෂතා

තරගාවලියේ මූලික වටයේදී 'A' කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සහභාගි වූ තරග තුන ම ජය ගත්තේය.

ඇෆ්ගනිස්ථාන 'A' කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 6කින් ජය ගත් ශ්‍රී ලංකා 'A' ක්‍රීඩකයෝ, හොංකොං 'A' කණ්ඩායම පරාජය කළේ ලකුණු 24කිනි.

බංග්ලාදේශ 'A' කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ අවසන් තරගය කඩුලු 7කින් ජය ගත් ඔවුහු පහසුවෙන් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්හ.

බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ ඉන්දීය 'A' කණ්ඩායමට එරෙහි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා 'A' කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේ තමන් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් බව පසක් කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය 'A' කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 317ක් රැස් කළේය.

ලකුණු 318ක විශාල ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගත් ආරම්භක පිතිකරු යුගලය වූ ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන පළමු කඩුල්ලට ලකුණු 174ක සාර්ථක සබඳතාවක් ගොඩනැගූහ.

සිනෙත් පන්දු 70කින් ලකුණු 105ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් ද සමගිනි.

ලසිත් කෲස්පුල්ලේ ලකුණු 116ක් රැස් කළේය.

අනතුරුව නායක පවන් රත්නායක සහ නිශාන් මදුෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය කරා රැගෙන ගියහ.

නිශාන් නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර පවන් රත්නායක නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ කඩුලු 2ක් පමණක් දැවී පන්දු 51ක් ඉතිරිව තිබියදීය.

තරගාවලියේ දක්ෂතා

තරගාවලියේ වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ නිෂාන් මදුෂ්කය.

ඒ, ඉනිම 5කදී ලකුණු 290ක් රැස් කරමිනි.

ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ එහි දෙවන ස්ථානයේ පසු විය.

අවසන් තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ නිෂාන් මදුෂ්කට හිමි විය.

තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේය.

සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ලසිත් පළ කළේ මෙවන් අදහසකි:

"අපිට හොඳ දේශීය තරගාවලියකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. 'ඒ' කණ්ඩායමේ පුහුණුවීම් හොඳින් ම තිබුණා. මේ තරගාවලියේ ලකුණු අතරට ඒමට ලැබීම ගැන සතුටු වෙනවා. අද තරගයේදී අපි අපේ කණ්ඩායම ගැන විශ්වාසය තිබ්බා."

"මේ ජයග්‍රහණය ගැන ඉතාම සතුටු වෙනවා. මේ තරගාවලිය පුරා ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් හොඳින් පන්දුවට පහර දුන්නා, හොඳින් පන්දු යැව්වා. මේ ක්‍රීඩාංගණයේ දෙවැනියට පන්දුවට පහර දීම ඉතා ම හොඳයි කියලා මං හිතුවා. මගේ කණ්ඩායම හොඳින් පන්දුවට පහර දෙයි කියලා මං බලාපොරොත්තු වුණා.

"නිෂාන් හොඳින් ක්‍රීඩා කළා. අවාසනාවට මැදපෙළ කඩුලු කිහිපයක් බිඳ වැටුණා. නමුත් අවසන් අවස්ථාවේ කඩුල්ලට එකතු වුණු සමරකෝන් සහ ගරුක හොඳින් ක්‍රීඩා කරලා කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන ආවා. මගේ කණ්ඩායම ගැන ඉතා ම සතුටු වෙනවා. ඒ වගේම මේ තරගාවලිය නරඹන්න ඇවිල්ලා අපිට සහයෝගය ලබා දුන්නු අපේ ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා," යැයි ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ නායක පවන් රත්නායක තරගය අවසානයේ මාධ්‍ය වෙත පැවසීය.