ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජේ ෂාට තවත් අවුරුදු දෙකක්: නිතරගයෙන් යළිත් ICC සභාපති ධූරයට
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස දෙවන වරටත් නිතරගයෙන් තෝරා පත් කර ගත් බව ICC අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ ය.
ඒ, බාලි දූපතේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ, ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කිරීම, ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කිරීම සහ වාණිජමය වශයෙන් ක්‍රීඩාව දියුණු කිරීම යන ප්‍රධාන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔහුගේ නායකත්වය අඛණ්ඩව ලබා ගැනීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව ය.
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇතුළත් කිරීමට සූදානම් වන මොහොතක සහ නව තරගාවලි සැලසුම් ක්‍රියාත්මක වන අවධියක මෙම පත්වීම සිදුව තිබේ.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට, කනිෂ්ඨ (Associate) සාමාජික රටවලට වැඩි අවස්ථා ලබා දීමට, ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කිරීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් වාණිජ අවස්ථා නිර්මාණය කිරීමට තමන් කැපවී සිටින බව අධ්යක්ෂ මණ්ඩලය යළිත් තහවුරු කර සිටියේ ය.
'ගෞරවයක් මෙන් ම විශාල වගකීමක්'
"ICC අධ්යක්ෂ මණ්ඩලය මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම ඉතා ගෞරවයට පත් වෙනවා වගේ ම, සෑම අධ්‍යක්ෂවරයෙකුට ම මගේ හෘදයාංග ම ස්තූතිය පුද කරනවා. ICC සභාපති ලෙස සේවය කිරීම ගෞරවයක් වගේ ම විශාල වගකීමක්. ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සියලු සාමාජිකයන් සමග එක්ව කටයුතු කිරීමට මම කැපවී සිටිනවා."
"අපි දැන් සිටින්නේ ක්‍රිකට් ඉතිහාසයේ ඉතා ම වැදගත් සහ උද්යෝගිමත් කාලපරිච්ඡේදයක. 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් නැවත පැමිණීම, අලුත් ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව රැගෙන යාමට සහ නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරපුරක් බිහි කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්.
"අපේ වගකීම සාර්ථක තරගාවලි පැවැත්වීමට පමණක් සීමා වන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයන් සහ වාණිජ හවුල්කරුවන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීඩාවට ශක්තිමත් අනාගතයක් ගොඩනැගිය යුතු යි. ක්‍රිකට් සතු විශාලතම ශක්තිය මිනිසුන් එකට එකතු කිරීම බව මම සැමවිට ම විශ්වාස කරනවා. අධ්යක්ෂ මණ්ඩලයේ සහ සාමාජිකයන්ගේ සහය ඇතිව අපේ සැලසුම් ක්‍රියාවට නංවා, අනාගත පරපුරට දිගුකාලීන උරුමයක් ඉතිරි කිරීම අපේ අරමුණ යි," ජේ ෂා පවසා තිබිණි.
ජේ ෂා යනු කවුද?
1988 වසරේ සැප්තැම්බර් මස 22 වන දා ඉන්දියාවේ අහමදාබාද්හිදී ජේ අම්බිතායි ෂා උපත ලබා තිබේ. ඔහුගේ පියා වන්නේ, ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා වන අතර මව, සොනාල් ෂා ය.
ජේ ෂාගේ පියා වන අමිත් ෂා වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකි.
ඉන්දියාවේ ගුජරාට්හි නිර්මා විශ්වවිද්‍යාලයේ තාක්ෂණ උපාධිධාරියෙකු වන ජේ ෂා, 2015 වසරේදී විශ්වවිද්‍යාලයේදී හඳුනා ගත් රිෂිතා පටෙල් සමග විවාහ දිවියට එළඹිණි.
දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන ජේ ෂා, වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු ලෙස ඉන්දීය රුපියල් කෝටි 120කට අධික වත්කමකට හිමිකම් කියනු ලබන බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
2009 වසරේ සිට අහමදාබාද්හි මධ්‍යම ක්‍රිකට් මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජේ ෂා කටයුතු කළේ ය. ඔහු 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී ගුජරාට් ක්‍රිකට් සංගමයේ සම ලේකම් තනතුරට පත්විය.
ඔහු එම තනතුරේ කටයුතු කරන සමයේදී අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අධික්ෂණය කිරීමට කටයුතු කළේ, 2014 වසරේ සිට ගුජරාට් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කළ සිය පියා වන අමාත්‍ය අමිත් ෂා සමග එක්වයි.
2019 වසරේදී ගුජරාට් ක්‍රිකට් සංගමයේ සම ලේකම් තනතුරෙන් ඉවත්වූ ජේ ෂා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට පත්විය. 2022 වසරේදී ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට දෙවන වරටත් තේරී පත් වන ලදී.
එමෙන්ම 2021 වසරේ සිට ඔහු අඛණ්ඩව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට තේරී පත් විය.
2024 වසරේදී ජේ ෂා ගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයේ එවකට සභාපති ෂම්මි සිල්වා විසිනි.