ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
GTA 6: වසර 30කට පසු එක්වූ 'ලුසියා' නිසා වීඩියෝ ක්‍රීඩා ලෝකයේ අලුත් පෙරළියක් සිදුවෙයි ද?
- Author, ෆර්නැන්ඩු ඩුආර්චේ
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
වසර 13ක් පුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් බලා සිටි Grand Theft Auto වීඩියෝ ක්‍රීඩා මාලාවේ හයවැන්න එළිදැක්වීමත් සමග සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් වේ. මෙතෙක් නිෂ්පාදනය කළ මිල අධික ම වීඩියෝ ක්‍රීඩාව මෙය වන අතර, වාණිජමය වශයෙන් අතිශය සාර්ථක ක්‍රීඩාවක් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති. වසර 30කට ආසන්න ඉතිහාසයක් ඇති, අතිශය ජනප්‍රිය මෙම ක්‍රීඩා මාලාවේ සම්පූර්ණ වශයෙන් හඬකවා ඇති කාන්තා ප්‍රධාන චරිතයක් ඇතුළත් වන පළමු අවස්ථාව ද මෙයයි. ඇය ලුසියා කැමීනෝස් (Lucia Caminos) නමැති තරුණ ලතින් ඇමෙරිකානු කාන්තාවකි.
ඇමෙරිකාව, යුරෝපය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළෙඳපොළවල වීඩියෝ ක්‍රීඩා කරන පුද්ගලයින්ගෙන් 50%කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් ය. එහෙත්, ප්‍රධාන ධාරාවේ වීඩියෝ ක්‍රීඩා බොහොමයක ප්‍රධාන චරිත ලෙස නිරන්තරයෙන් යොදාගෙන ඇත්තේ, පිරිමින් වන අතර, කතාන්දර ද බොහෝවිට පිරිමි චරිත වටා ගොඩනැගී තිබේ. පසුගිය වසර කිහිපය තුළ කාන්තා ප්‍රධාන චරිත සහිත වීඩියෝ ක්‍රීඩා සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතත්, එවැනි ක්‍රීඩා තවමත් සමස්ත නිකුත් කිරීම් අතරින් සුළුතරයක් පමණි.
කෙසේ වෙතත්, කැමීනෝස් මෙහි සම-ප්‍රධාන චරිතයක් බව ඇමෙරිකාවේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඒඩ්‍රියන් ෂෝ පෙන්වා දෙයි. ක්‍රීඩකයින්ට ලුසියා සහ ඇගේ පෙම්වතා මෙන් ම අපරාධවලට හවුල්කරුවෙකු වන ජේසන් ඩුවාල් යන චරිත දෙක අතර මාරු වෙමින් ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාව ලැබේ.
"මේ පිළිබඳව ඕනෑවට වඩා උත්කර්ෂයට නැංවීමට ඉක්මන් නොවන ලෙස මම අවවාද කරනවා," යැයි ආචාර්ය ෂෝ බීබීසී ලෝක සේවය වෙත පැවසුවා ය.
"කාන්තාවකට ප්‍රධාන චරිතයක් විය හැකි බව Grand Theft Auto [නිර්මාණකරුවන්ට] සිතීමට වසර 30ක් ගත වුණා.
"ක්‍රීඩාව පිළිබඳව මෙතෙක් අප දැක ඇති දේ අනුව, ඇය ඉතා සියුම් වෙනස්කම් සහිත මෙන් ම සිත්ගන්නාසුලු චරිතයක්. නමුත් ඒකෙන් කියන්නේ GTA කාන්තාවකගේ දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය කර තිබෙනවා කියන එක නොවෙයි."
ස්ට්‍රීම් කරන්නියක සහ පොඩ්කාස්ට් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඇතීනා ගාර්ෂියා බීබීසී ලෝක සේවය වෙත මෙසේ පැවසුවා ය.
"මම වීඩියෝ ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ කාන්තා ප්‍රධාන චරිත තිබුණේ නැහැ. ඒ වගේ ම, කාන්තා චරිතවලට නිතර ම සිදු වුණේ පිරිමි චරිතයක් ඇවිල්ලා බේරා ගන්නකල් බලා ඉන්න."
2018 වසරේ නිකුත් වූ Assassin's Creed Odyssey වීඩියෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදය ද ගාර්ෂියා සිහිපත් කළා ය. එම ක්‍රීඩාව මුලින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණේ, කැසන්ඩ්‍රා (Kassandra) නම් කාන්තා ප්‍රධාන චරිතයක් සහිතව බව වාර්තා විය. එහෙත්, පිරිමි ක්‍රීඩකයින්ගෙන් එල්ල විය හැකි විරෝධයක් පිළිබඳව ඇති වූ බිය හේතුවෙන්, ක්‍රීඩාවේ නිර්මාණකරුවන් පිරිමි චරිතයක් තෝරා ගැනීමේ විකල්පයක් ද එක් කළ බව සඳහන් විය.
"කාන්තා චරිතයක් ලෙස ක්‍රීඩා කිරීමට පිරිමි ක්‍රීඩකයින් අකැමති වනු ඇතැයි විධායක නිලධාරීන් බිය වූ බව පෙනෙනවා. නමුත් කාන්තාවන්ට පිරිමි චරිත ලෙස ක්‍රීඩා කිරීම ගැටලුවක් නොවන්නේ ඇයි?" යනුවෙන් ගාර්ෂියා ප්‍රශ්න කරයි.
"වීඩියෝ ක්‍රීඩා තුළ ස්ත්‍රී පුරුෂභාවය සහ වාර්ගික විවිධත්වය නියෝජනය වීම වැදගත්."
"කාන්තා ක්‍රීඩිකාවන්ටත් අවශ්‍ය යි වීඩියෝ ක්‍රීඩා කරමින් විනෝද වෙන්න. සාමාන්‍යයෙන් පිරිමින්ට වඩාත් ගැළපෙනවා යැයි සැලකෙන ක්‍රීඩා වුණත් අපිට ඒ විදිහට ම රසවිඳින්න අවශ්‍ය යි."
"කාන්තා ප්‍රධාන චරිතයක් නොතිබුණත් මම GTA 6 ක්‍රීඩා කරනවා. මොක ද ඒ ක්‍රීඩා මාලාවේ සාමාන්‍යයෙන් ඉතා ආකර්ෂණීය චරිත සහ කතාන්දර තිබෙනවා. ඒත්, ලුසියා වැනි චරිතයක් මේ ක්‍රීඩා මාලාවට එක්වීම ඇත්තෙන් ම විශිෂ්ට යි. ඉන් පෙන්නුම් කරන්නේ අපිත් මේ ක්ෂේත්රය තුළ අපේ ස්ථානය දිනා ගනිමින් සිටිනවා කියන එක."
2023 වසරේදී Royal Society Open Science සඟරාවේ පළවූ අධ්‍යයනයකින් වීඩියෝ ක්‍රීඩා චරිත 13,000කට අධික සංඛ්‍යාවක් විශ්ලේෂණය කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ, එම චරිතවලින් 30%ක් කාන්තා චරිත බව ය. කෙසේ වෙතත්, අධ්‍යයනයට ලක් කළ ක්‍රීඩා 50න් 47කදී ම කාන්තා චරිතවලට හිමිව තිබුණේ පිරිමි චරිතවලට වඩා අඩු දෙබස් සංඛ්‍යාවකි.
එක්සත් රාජධානියේ ස්ටර්ලිං විශ්වවිද්‍යාලයේ ආචාර්ය ස්ටෙෆනි රෙනික් මෙම අධ්‍යයනයේ සම-කතුවරියකි. ඇය බීබීසී ලෝක සේවය වෙත මෙසේ පැවසුවා ය: "විශාල වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් ක්ෂේත්රයේ නව ප්රවණතා ඇති කළ හැකි යමක් කිරීම වැදගත්. ඒ නිසා GTA ක්‍රීඩාව වෙනස් දෙයක් කිරීමට උත්සහ කිරීමෙන් පෙන්නුම් කරන්නේ තවත් බොහෝ හැකියාවන් ගවේෂණය කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත යි."
කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයේ අනෙක් සම-කතුවරයා වන එක්සත් රාජධානියේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ෂෝන් ජී. රොබට්ස් බීබීසී ලෝක සේවය වෙත පැවසුවේ මෙවැන්නකි: "ඔවුන් [GTA ක්‍රීඩා මාලාව නිර්මාණය කරන රොක්ස්ටාර් ගේම්ස් සමාගම] යම් ප්‍රමාණයකට වෙළෙඳපොළේ පවතින ඉල්ලුමට අනුව කටයුතු කරනවා."
විනෝදාස්වාද ක්ෂේත්රය තුළ සියලු දෙනාට ම සාධාරණ හා සමාන නියෝජනයක් ලබාදීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, හොලිවුඩ් නිළි ජීනා ඩේවිස් විසින් 2024 වසරේදී ආරම්භ කරන ලද ඇමෙරිකානු ජීනා ඩේවිස් ආයතනය (Geena Davis Institute - GDI), ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ වීඩියෝ ක්‍රීඩකයින් යොදාගෙන සිදු කළ මත විමසුමකින් හෙළි වී ඇත්තේ, පිරිමි ක්‍රීඩකයින්ගෙන් 60%ක් කාන්තා චරිත තෝරාගෙන ක්‍රීඩා කළ හැකි වීඩියෝ ක්‍රීඩාවක නිරත වීමට වැඩි කැමැත්තක් දක්වන බව ය.
"වීඩියෝ ක්‍රීඩා කරන බොහෝ දෙනා වැඩිහිටියන්. මෑතකාලීන පර්යේෂණවලින් පෙනී යන පරිදි, වීඩියෝ ක්‍රීඩාවල නිරත වන බොහෝ දෙනෙකුට විවිධත්වයක් අවශ්‍ය යි," යනුවෙන් ආචාර්ය රොබට්ස් පැවසීය.
GDI ආයතනයේ දත්තවලට අනුව, වයස අවුරුදු 49ට වැඩි ඇමෙරිකානුවන්ගෙන් 45%ක් වීඩියෝ ක්‍රීඩා කරන බව ද හෙළි වී තිබේ. එහෙත්, එම වයස් කාණ්ඩයට අයත් චරිත වීඩියෝ ක්‍රීඩා තුළ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
GDI ආයතනයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන මැඩලින් ඩි නොන්නෝ බීබීසී ලෝක සේවය වෙත මෙසේ පැවසුවා ය: "වයස්ගත චරිත නිරූපණය කිරීමේදීත් විවිධත්වයක් දකින්න නැහැ. එවැනි චරිත බොහොමයක් සුදු ජාතික පිරිමි චරිත ලෙස යි නිරූපණය වෙන්නේ."
කැමීනෝස් ලතින් ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක වුවත්, ඇය තරුණ චරිතයකි: ආචාර්ය ෂෝ පෙන්වා දෙන පරිදි, "රොක්ස්ටාර් සමාගම ලුසියා ස්වයංක්‍රීයව ම විෂමලිංගික සබඳතාවක කොටසක් බවට පත් කර තිබෙනවා."
2020 වසරේ නිකුත් වූ අතිශය ජනප්‍රිය The Last of Us Part II වීඩියෝ ක්‍රීඩාවේ සමරිසි කාන්තා ප්‍රධාන චරිතයක් ඇතුළත් වන අතර, ඇගේ ප්‍රේම සම්බන්ධතාව එහි කතා පුවතේ වැදගත් කොටසක් ද වේ. එහෙත්, 2024 වසරේ ඇමෙරිකානු LGBTQ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින Glaad සංවිධානය සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ, ප්‍රධාන වීඩියෝ ක්‍රීඩා වේදිකාවල ඇති ක්‍රීඩා අතරින් LGBTQ චරිත ඇතුළත් වන්නේ 2%කටත් අඩු ප්‍රමාණයක බව ය.
'ප්‍රබල කතා පුවතක්'
බ්‍රසීලියානු වීඩියෝ ක්‍රීඩකයෙකු සහ ලේඛකයෙකු වන ඇන්ඩ්‍රේ ගෝඩිරෝ, වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගම් තම ප්‍රේක්ෂකයින්ගේ වෙනස්කම් තේරුම් ගත යුතු බවට දැඩි ලෙස අවධාරණය කරයි, නමුත් ඔහු "චෙක්ලිස්ට් එකක් අනුව ක්‍රීඩා සැලසුම් කිරීම" ගැන අනතුරු අඟවමින්, "සංස්කෘතික නිර්මාණ බිහි කිරීමේදී සියලු පාර්ශව නියෝජනය කිරීම ප්‍රධාන ගාමක බලවේගය විය නොහැකි" බව ද පවසයි.
"වඩාත් ම වැදගත් වන්නේ ශක්තිමත් කතා පුවතක් සහ ආකර්ෂණීය චරිත. එසේ නොවුණහොත්, ස්වාභාවිකව ගොඩනැගෙන නිර්මාණයක් වෙනුවට කලින් සකස් කළ වට්ටෝරුවකට අනුව නිර්මාණයක් බිහි කිරීමට ඔබට සිදුවෙනවා," යනුවෙන් ඔහු බීබීසී ලෝක සේවය වෙත පැවසීය.
කෙසේ වෙතත්, GTA ක්‍රීඩා මාලාවට කාන්තා ප්‍රධාන චරිතයක් එක් කිරීම මීට බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ බව ඔහුගේ අදහස යි.
"දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශවික හමුදා සටන් කරන ආකාරය පෙන්වන, සාමාන්‍යයෙන් පිරිමි චරිත මුල් කර ගත් පසුබිමක දිවෙන ක්‍රීඩාවක් ගැන අපි කතා කරන්නේ නැහැ," යනුවෙන් ගෝඩිරෝ පවසයි.
"GTA ක්‍රීඩා සිදුවන්නේ ඇමෙරිකාවේ සැබෑ නගරවලට සමාන පසුබිම් සහිත ලෝකවලයි. ඇත්ත ම කියනවා නම්, ලුසියා වැනි චරිතයක් මීට බොහෝ කලකට පෙර මෙම ක්‍රීඩා මාලාවට එක්විය යුතුව තිබුණා."