ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පල්ලේගම හේමරතන හිමි අධිකරණයට ඇතුළු වුයේ විශේෂ දොරටුවකින් දැයි සොයන්න වහා ම පරීක්ෂණයක් සිදු කරන්නැයි' මහේස්ත්‍රාත්ගෙන් නියෝග
බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරුවරුන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවන සහ පිට ව යන දොරටුවෙන් අධිකරණ භූමියට පැමිණි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාළ විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරිට නියෝග කළේය.
සැකකාර හිමි නමට එරෙහිව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව අද (අගෝ: 21) යළි කැදවු අවස්ථාවේ නීතීඥ චානක අබේවික්‍රම අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට මුල් පැමිණිල්ල සිදුකළ බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක අබේවික්‍රම අධිකරණයෙන් විමසා සිටියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට සාමාන්‍ය ජනතාව පොලිසිය විසින් සෝදිසි කිරීම් කොට ඇතුළු කර ගන්නා ප්‍රධාන දොරටුව මගහැර සැකකාර හිමියන් විශේෂ දොරටුවකින් හොර රහසේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ කෙසේද යන්නයි.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අධිකරණ භූමියට ඇතුළු වී තිබෙන්නේ අධිකරණ විනිසුරුවරුන් ඇතුළුවන සහ පිට ව යන විශේෂ දොරටුවෙන් බව ද ප්‍රකාශ කළ නීතීඥවරයා එම විශේෂ දොරටුවෙන් අධිකරණ භූමියට උන්වහන්සේ රැගෙන විත් ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයකින් බව ද අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙවැනි විශේෂිත වරප්‍රසාද සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ලබාදී ඇත්තේ උන්වහන්සේ අධිකරණ විනිසුරුවරයෙකු නිසා දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා මෙය බරපතළ තත්ත්වයක් බව ද කියා සිටියේය.
සැකකාර හිමිනම කිසිදු සෝදිසි කිරීමකින් තොරව විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු කිරීම පිළිබදව වගකීම පොලිසිය භාර ගත යුතු බව ද අවධාරණය කළ නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන බව ද නීතීඥවරයා අවධාරණය කළේය.
නීතීඥවරයාගේ කරුණු දැක්වීම සැළකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිය විනිසුරු අසුනේ සිට ම අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ධර්මසිරිට නියෝග කළේ, ඒ මොහොතේම විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
එම නියෝගයට අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විවෘත අධිකරණයේ පෙනී සිටි අතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුට නියෝග කළේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අද (අගෝ : 21) උන්වහන්සේට එරෙහිව පවතින නඩුවට පෙනී සිටිම සඳහා අනුරාධපුර අධිකරණ භූමියට විශේෂ දොරටුවකින් ඇතුළු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සහ ඒ හිමියන් අද දින අධිකරණයට පැමිණියේ කෙසේද යන්න පිළිබදව විමර්ශනය කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
නීතිපති උපදෙස් සදහා නඩුව කල්තබයි
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම සිද්ධියේ විමර්ශන කටයුතු පිළිබදව සාකච්ඡාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවති බවයි.
ඊට මෙම සිද්ධියට අදාළ විමර්ශන නිලධාරීන් සහභාගි වූ බවත් අධිකරණයට පැවසු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නීතිපති උපදෙස් සඳහා දිනයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.
ඒ අනුව, මෙම නඩුකරය නීතිපති උපදෙස් සදහා 2027 වසරේ ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද පළමු සැකකරු වන පල්ලේගම හිමියන්ට සහ දෙවන සැකකාරිය වන වින්දිත දැරියගේ මවට නියෝග කළේය.
එසේම වින්දිත දැරිය සම්බන්ධයෙන් පවත්වා ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට මෙහිදී සිතාසි නිකුත් කෙරිණ.
සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2) (ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දුෂණයක් සිදුකිරීමේ චෝදනාවක් යටතේය.
මේ අතර බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ 2006 අංක 16 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ) (1) (අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙදාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට ඉහත වැරදි සිදුකිරීම සඳහා ආධාර අනුබල ලබාදීම යටතේය.
බාල වයස්කාර දැරියක දුෂණය කළ බවට අධිකරණය හමුවේ චෝදනා එල්ලවී සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමියන් දැනට සිටින්නේ අධිකරණය මගින් පැන වු දැඩි ඇප කොන්දේසි මතය. උන්වහන්සේට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අද (අගෝ: 21) නිට්ටඹුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන, එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක වසුන්දරා කරුණාරත්න, අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු මෙහෙයුම් නිලධාරී උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටියහ.
සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, මහේෂ් කොටුවැල්ල, මදාරා විජේසිංහ, කාලිංග රවීන්ද්‍ර, ධනුෂ්ක දහම්පත් සමග ජනාධිපති නීතීඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න ඇතුළු විසි දෙනෙකුට අධික නීතීඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.
අද (අගෝ: 21) මෙම නඩුව කැදවු අවස්ථාවේ පළමු සැකකරු වන පල්ලේගම හේමරතන හිමි සහ දෙවන සැකකාරිය වන වින්දිත දැරියගේ මවද අධිකරණය හමුවේ පෙනී සිටියහ.