මීගමුව බන්ධනාගාර ගැටුම: 'හීනටියන සුපුන්' ඇතුළු රැඳවියන් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මියයෑම, තුවාල ලැබීම සහ බන්ධනාගාර දේපළවලට බරපතල හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන් හතර දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය අද (ජුලි 27 වැනිදා) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව මෙම අපරාධයට අදාළව සැකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම්කර සිටින රැඳවියන් සිව් දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එම රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ බවට විමර්ශනවලදී අනාවරණය වන අනෙකුත් සියලු සැකකරුවන්ද හඳුනාගෙන ඔවුන් ද සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට නියෝග කළාය.

නඩුව යළි කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, මීගමුව බන්ධනාගාර ගැටුමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඝාතනය වීම, බරපතල මෙන්ම සුළු තුවාල ලැබීම සහ බන්ධනාගාර දේපළවලට බරපතල හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජුලි 27 වැනිදා මුල්වරට බන්ධනාගාර රඳවියන් සිව් දෙනකු සැකකරුවන් ලෙස කරන බවයි.

ඒ අනුව සුපුන් මධුසංක හෙවත් "හීනටියන සුපුන්" , ෂේන් ඩිලාන් සිල්වා , අෂාන් ප්‍රනාන්දු හෙවත් "කලු මල්ලි" , සහ සමීර සම්පත් හෙවත් "බබා" යන රැඳවියන් සිව් දෙනා සැකකරුවන් ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙම සැකකරුවන් සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මොවුන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට ද නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මීගමුව බන්ධනාගාර ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙකුත් සැකකරුවන්ද විමර්ශනවලදී හඳුනාගෙන ඔවුන් ද ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම ගැටුම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායම් රැසක් තවදුරටත් අංශ කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරමින් සිටින බවද සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන සියලු විමර්ශනවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ජුලි 23 නඩු වාරයේදී සිදුවුණේ කුමක් ද?

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් 28 දෙනෙකුගෙන් 17 දෙනෙකුගේ මරණවලට හේතුව වෙඩි වැදීම බවත් අනෙකුත් 11 දෙනාගේ මරණවලට හේතුව මොට ආයුධවලින් පහර දීම බවත් මරණකරුවන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු කර ඇතැයි, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පසුගිය ජුලි 23 වැනිදා ප්‍රකාශ කළා ය.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම අතරතුර අපරාධයක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා ගැටුමෙන් මියගිය සිරකරුවන් කවුරුන් ද යන්න අධිකරණය වර්ගීකරණය නොකරන්නේ 'සියලු දෙනාගේ ජීවිත අධිකරණයට එක හා සමානව වටින නිසා' බව ද පැවසුවා ය.

​පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පෙනී සිටි අතර ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන තම්බයියා, ජයරත්න රාජ්, සුබෝධ රත්නායක, ධනුෂ්ක ද සිල්වා, ශාන් ප්‍රභාකරන්, චානක රූපසිංහ යන සමග ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා පෙනී සිටියහ.

ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අරවින්ද හබක්කල සහ සේනක පෙරේරා සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුම අතරතුර අතර මියගිය පිරිස අතරින් 17 දෙනෙකු ම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත් 11 දෙදෙනෙකු මියගොස් ඇත්තේ මොට ආයුධවලින් පහර දීමෙන් බවට අධිකරණ වෛද්‍ය මණ්ඩලය පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු කර ඇති පසුබිමක, මීගමුව බන්ධනාගාරය තුළ බරපතළ අපරාධයක් සිදුව ඇති බව නීතිමය වශයෙන් පෙනී යන බවයි.

​ඒ අනුව, 'මෙම අපරාධ සිදුකළේ කවුද? සහ වෙඩි තැබීම් සඳහා නියෝග ලබා දුන් වගකිවයුත්තන් මෙම ඝාතනවලට සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන' බව ද නීතිඥවරු එදින අවධාරණය කළහ.

​ව්‍යවස්ථාදායකය සකසන ලද හා පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි 54 වන වගන්තිය නිසා සිරකරුවන් එකට තුනක් ලෙස පත්වී ඇති බව ඔවුහු කියා සිටියහ.

​54 වන වගන්තිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන් අකමැත්තෙන් හෝ බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරුන්ට සිදුවන බව ප්‍රකාශ කළ නීතිඥවරුන් විසින් 54 වන වගන්තිය නිසා මෙරට බන්ධනාගාර තුළ දැඩි පීඩනයක් හට ගෙන ඇති බවත්, එහි උච්චම අවස්ථාවට ළඟා වූ විට එම පීඩනය පුපුරා ගොස් මෙවැනි බරපතළ ඛේදජනක සිදුවීම් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද කියා සිටියහ.

නීතිඥ අරවින්ද හබක්කල තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සතෙකු වුව ද, කූඩු කර තබන්නේ නම්, එම සතුන්ට ආහාර සහ වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා දීම අනිවාර්ය බවයි.

​එවැනි පහසුකම් නොලද තැනක සතෙකු වුව ද කලහකාරී ලෙස හැසිරෙන බව අවධාරණය කළ නීතිඥවරයා මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ මරණවලට වගකිව යුතු බවට ඉදිරියේදී නම් කිරීමට නියමිත සැකකරුවන් ද බන්ධනාගාර නිලධාරීන් යටතේ ම රඳවා තැබීම යුක්තිසහගත නොවන බව අවධාරණය කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නඩු භාණ්ඩ ලෙස නම් කරන ලද ගිනිඅවි, ජීව උණ්ඩ, හිස් කොපු, පොලු මුගුරු, කළුගල් කැට, කොන්ක්‍රීට් කැබලි සහ පිහි, කඩු ඇතුළු තියුණු ආයුධ රැසක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.

එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ජූලි 16 නඩු වාරයේදී සිදුවුණේ කුමක් ද?

මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුම අතරතුර "කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පහර දී කඩා බිඳ දමා තිබියදී" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බන්ධනාගාරයේ සවිකර තිබූ CCTV යන්ත්‍රවලට අදාළ DVR යන්ත්‍ර විශේෂ විමර්ශනයක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික රසායනාගාරයට යැවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත එදින දැනුම් දුන්නේ ය.

ජූලි 14 නඩු වාරයේදී සිදුවුණේ කුමක් ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූලි 14 වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති බන්ධනාගාර සිරකරු බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම ඇති වී ඇති බව ය.

ඔහු එලෙස හැසිරී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බවට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

මීගමුව බන්ධනාගාර ගැටුමින් බන්ධනාගාර පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ඝාතනය වීම සහ බන්ධනාගාර දේපළවලට රු. කෝටි 12කට අධික හානි සිදුවීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද එදින අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගැටුම සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටි සියලු රැඳවියන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද එහිදී පැවසීය.

ගැටුම සිදුවන අවස්ථාවේ එහි රඳවා සිටි බොහෝ රැඳවියන් මේ වන විට දිවයින පුරා ඇති වෙනත් බන්ධනාගාරවල රඳවා ඇති බැවින් ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර සහ පහසුකම් සලසා දෙන ලෙසට වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය යැයි කියන දිවයිනේ ඕනෑ ම බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියන්ගෙන් මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර සහ පහසුකම් සලසා දෙන ලෙසයි.

මීගමුව බන්ධනාගාර ගැටුමට සම්බන්ධ බවට හඳුනා ගන්නා සිරකරු සැකකරුවන්ට මිනී මැරුම් චෝදනා යටතේ ගිනිඅවි ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත්, දණ්ඩ නීතී සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317 සහ 344 වගන්ති යටතට ගැනෙන වැරදි සම්බන්ධයෙන් ද නඩු පැවරීමටත් අපේක්ෂා කරන බවත් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතුරු වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ ය.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කෙරුණු සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කළේ, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව ය. ඒ, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.