Tax Return නොකළොත් සහ රු. ලක්ෂ 5ට වැඩි ගනුදෙනු අත්පිට මුදලට කළොත් ඔබට සිදුවන්නේ කුමක් ද?

Tax return
Published
කියවීමේ කාලය: මිනිත්තු 5

ඉඩම්, දේපළ සහ වාහන සම්බන්ධ ගනුදෙනු ඇතුළුව, රුපියල් 500,000 ඉක්මවන මුදල් හුවමාරු කිරීම්වලදී, පවතින බදු රෙගුලාසි යටතේ ඉහළ බදු වගකීම් ඇති විය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති, නීති කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැහැදිලි කළේ, රුපියල් 500,000 ඉක්මවන ව්‍යාපාරික වියදම් අනුමත ගෙවීම් ක්‍රමවේදයෙන් බැහැරව මුදලින් ගෙවනු ලැබුවහොත්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී ඒවා 'බදු අඩු කළ හැකි වියදම්' ලෙස පිළිනොගන්නා බව ය.

වියදම් අඩු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුළු ආදායම බද්දට යටත් වන අතර, එය බැංකු හරහා ගනුදෙනු නොකිරීම වෙනුවෙන් ගෙවීමට සිදුවන අතිරේක බද්දක් හෝ දඩයක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මුදලින් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

සල්ලි

ඉඩම්, දේපළ සහ වාහන සම්බන්ධ ගනුදෙනු ඇතුළුව රුපියල් 500,000 ඉක්මවන මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන නීතිය, බදු සඳහා ලියාපදිංචි වී සිටින තනි පුද්ගලයන්ට මෙන් ම සමාගම්වලට ද අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති, නීති කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

ඒ අනුව, රු. 500,000ට වඩා වැඩි ගනුදෙනු බැංකුවක් හරහා නොකළහොත් අදාළ පුද්ගලයින් මුළු ආදායම් බද්දට යටත් වන බවත්, ඒ හරහා බැංකු ගනුදෙනු නොකිරීම වෙනුවෙන් ගෙවීමට සිදුවන අතිරේක බද්දක් ගෙවීමට සිදුවන බවත් ඔහු පැහැදිලි කළේ ය.

"බදු ගෙවීමට ලියාපදිංචි වුණු පුද්ගලයින් සහ සමාගම්වලට තමයි මේක බලපාන්නේ. අපි කියන්නේ තමන් කරන ඕනෑ ම ගනුදෙනුවක් බැංකු මාර්ගයෙන් කරන්න කියලා. එතකොට ආදායම් ලැබීම්වලට ගෙවීම් හැටියට මේ ගනුදෙනු ඇතුළත් කරන්න හැකියාවක් තියෙනවා."

"උදාහරණයක් විදිහට පරණ ඉඩම් ගත්ත ඒවා මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඒත් 2023 අගෝස්තු මාසයෙන් පස්සේ කිසියම් පුද්ගලයෙක් ඉඩමක් මිල දී ගත්තා කියලා හිතමු. ඒ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් වෙනවා. නමුත් මේ පුද්ගලයා ගත්ත ඉඩම රුපියල් ලක්ෂ 100ක මුදලකට විකුණුවා කියලා හිතන්න. එතකොට එයාගේ ප්‍රාග්ධන ලාභය රුපියල් ලක්ෂ 50ක් වෙනවා. එතකොට දැන් තියෙන නීතිය අනුව ප්‍රාග්ධන ලාභ බද්ද හැටියට 15%ක් ගෙවන්න ඕන. එතකොට රුපියල් ලක්ෂ 50 ලාභයට ගෙවන්න ඕන බද්ද රුපියල් ලක්ෂ 7.5ක්."

"එතකොට මේ ඉඩම අයිති කෙනා ඉඩම ගත්තේ බැංකුවක් හරහා කරපු ගෙවීමකින් නැතිව අත්පිට මුදලින් ගෙවලා නම් එයාගේ ප්‍රාග්ධන ලාභය හැටියට රුපියල් ලක්ෂ 100ක් ගණනය කරන්න වෙනවා. එතකොට මේ රුපියල් ලක්ෂ 100 ම 15% ප්‍රාග්ධන ලාභ බද්දට යටත් වෙනවා. එතකොට ඒ පුද්ගලයා ලක්ෂ 15ක් බදු හැටියට ගෙවන්න ඕන. අතිරේක බද්දක් හැටියට ගෙවන මුදල රුපියල් ලක්ෂ 7.5 අඩු කර ගන්න තිබුණා ඒක බැංකුව හරහා කළා නම්."

"මේ මුදලින් සංසරණය වෙන ආර්ථිකය හැම පැත්තට ම ප්‍රශ්නයක් වෙනවා. ඉන්දියාව මුදලින් කරන ගනුදෙනුවලට උපරිම සීමාවක් පනවලා තියෙනවා. ඉන්දියාවේ මුදලින් ගනුදෙනු කරන්න පුළුවන් ප්‍රමාණය රුපියල් 20,000යි. යම්කිසි ප්‍රමාණයකට අපේ රටේත් බදු ප්‍රතිපත්තිය හැදෙන්න ඕන," දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපිට පුද්ගලයෙකු ඇවිදගෙන යන අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, ආදායම් බදු වාර්තා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම හේතුවෙන්, කිසිදු ආදායමක් උපයා නොතිබුණ ද, රු. 50,000 සිට රු. 400,000 දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවිය හැක

කහ සහ රෝස පාට පත්‍රිකා: බදු ගෙවීම් ගැන පැහැදිලි කිරීමක්

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආදායම් බදු වාර්තා ප්‍රමාද වී ඉදිරිපත් කිරීම හේතුවෙන්, කිසිදු ආදායමක් උපයා නොතිබුණ ද, රු. 50,000 සිට රු. 400,000 දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර කියා සිටියේ ය.

2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත අවසන් දිනය නොවැම්බර් 30 වන දා බවත්, එම දිනයෙන් පසුව ඉදිරිපත් කරන වාර්තා ප්‍රමාද වූ ඒවා ලෙස සලකා දඩ මුදල් අය කරනු ලබන බවත් ඔහු පැවසුවේ ය.

"දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ලියාපදිංචි ආදායම් බදු ගෙවන්නන් සඳහා කහපාට සහ රෝස පාට පත්‍රිකාවක් මේ වෙනකොටත් නිකුත් කරලා තියෙනවා, 2024/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් නොකළ සහ 2025/2026 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කළ යුතු බදු ගෙවන්නන් සඳහා. 2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා භාරදිය යුතු නියමිත දිනය 2026 නොවැම්බර් මාස 30 වෙනි දින හෝ එදිනට පෙර වාර්තාවල් ඉදිරිපත් කිරීමෙන් දණ්ඩනවලින් වැළකී තම ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා," ඔහු කියා සිටියේ ය.

නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් නොකළහොත් පැනවිය හැකි දඩ මුදල් සහ නීතිමය ක්‍රියාමාර්ග ගැන ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේ ය:

"කිසියම් පුද්ගලයෙකුට ආදායමක් නොමැති වුණත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු වාර්තාවක් ඉදිරිපත් කරන්න නියම කර තිබියදී ඒක ඉදිරිපත් නොකළහොත් රුපියල් 50,000ක දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා."

"බදු ගෙවන්නෙකු සම්බන්ධයෙන් මේ නීතිය අනුව රුපියල් ලක්ෂ 4ක් දක්වා දඩ පැනවීමක් සිදු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ ම දඩ මුදල් පැනවීමට අමතරව නීති මගින් කටයුතු කරන්න හැකියාවත් තියෙනවා. මාස 06ක් දක්වා සිරදඬුවම් පනවන්නත් හැකියාව තියෙනවා."

"ආදායම් ලැබෙමින් බදු නොගෙවා සිටීම හෝ ආදායම් සඟවා තැබීම ආදායම් බදු පනතට අනුව අපරාධමය වරදක් විදිහට අර්ථ නිරූපණය කරලා තියෙනවා. බදු වංචා සහ පැහැර හැරීම් විමර්ශනය කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ බදු අපරාධ විමර්ශන අංශයක් ස්ථාපනය කරලා තියෙනවා. ඒ හරහා නීතිමය පියවර ගන්න වගේ ම බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයින් ගැන විමර්ශනය කරනවා. මේ නිසා නොවැම්බර් 30 හෝ ඊට කලින් ආදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න කියලා සියලු ම දෙනාව දැනුවත් කරනවා."