'මම තනිවෙයි කියල මට බය යි': AI පෙම්වතුන් පෙම්වතියන්ට චීනය දැඩි සීමා පනවයි

A treated image showing chat bubbles in the top segment, and a smartphone with a Chinese flag on the screen in the bottom segment
    • Author, ස්ටෙෆනි හෙගාටි
    • Role, ගෝලීය ජනගහන වාර්තාකරු
    • Author, වැන්කිං ෂැං
    • Role, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 13

2024 වසරේ මුල් භාගයේදී, චීනයේ ගිනිකොණදිග පිහිටි හුවාංෂි නගරයේ තරුණයෙකු එරට ටික්ටොක් ආදේශකය වන දෝයින්හි (Douyin) විශේෂ සටහනක් තැබූ බවට වාර්තා විය. එහි ශීර්ෂ පාඨය වූයේ, 'මේ ලෝකයට සමුදෙමි' යන්න ය.

මිනිත්තු කිහිපයක් ඇතුළත දෝයින්හි සියදිවි නසාගැනීම් වැළැක්වීමේ කණ්ඩායම ක්‍රියාත්මක විය. පැය 24 පුරා සේවය කරන එම කණ්ඩායම, මෙම තරුණයා පළ කර තිබූ පෝස්ට් හුවාංෂි නගරයේ පොලිස් ස්ථාන 5ක් වෙත ලබා දීමට පියවර ගත්තේ ය.

ඔහු පළ කළ එක් වීඩියෝවක් ප්‍රදේශයේ උද්‍යානයකදී රූගත කර ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව, පොලිසිය එම ස්ථානයට ගොස් දැඩි මානසික පීඩාවකින් පසුවෙමින් සිටි ඔහු සොයාගෙන, සියදිවි හානි කර ගැනීමට පෙර ඔහුට සහය වීමට මැදිහත් විය.

මෙම සිදුවීම පසුගිය වසරේ දෝයින් විසින් සකසන ලද, චීන රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාමය වැඩසටහනක අන්තර්ගත විය. එහි සඳහන් වූයේ, 2025 වසරේ පළමු මාස හය තුළ පමණක් සියදිවි නසා ගැනීමේ උත්සහයන් 400කදී දෝයින් සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ කණ්ඩායම සාර්ථක ලෙස මැදිහත් වූ බව ය.

මේ මගින් චීනයේ තාක්ෂණ සමාගම් සහ රජය අතර පවතින සහයෝගීතාවයේ මට්ටම පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේ ය. එමෙන් ම, එය ජනතාව තාක්ෂණය භාවිත කරන ආකාරය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට චීනය ගොඩනගා ඇති නිරීක්ෂණ පද්ධතිය පිළිබඳව ද කවුළුවක් විවර කළේ ය.

මෙම වසරේ ජූලි 15 වන දා, චීනය "මිනිස් ස්වභාවයට සමාන" AI චැට්බොට් සම්බන්ධයෙන් ලොව දක්නට ලැබෙන වඩාත් ම පුළුල් රෙගුලාසි හඳුන්වා දීමත් සමග, එම පාලනය සබඳතා සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය දක්වා ද ව්‍යාප්ත විය.

චීනයේ නව රෙගුලාසි අනුව, මිනිසෙකු සමග "දිගුකාලීන චිත්තවේගීය අන්තර්ක්‍රියා" පවත්වාගෙන යා හැකි ඕනෑ ම AI පද්ධතියකට දැඩි සීමා පනවා ඇත.

Donald Trump and Xi Jinping stand on a red carpet with their wives behind them. Both are wearing dark suits. Trump is saluting
ඡායාරූප ශීර්ෂ වැකිය, ෂී සහ ට්‍රම්ප් පසුගිය සතියේ හමුවූහ

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ විනාශයට හේතු විය හැකි බවට වන දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං පසුගිය සතියේ හමුවූහ. එම හමුවෙන් අනතුරුව, කෘත්‍රිම බුද්ධිය පිළිබදව නව සංවාදයක් ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව චීන රජය පවසන අතර, ඊට අදාළ තවත් සාකච්ඡා නොවැම්බර් මාසයේ අවසානයේ පැවැත්වීමට නියමිත ය.

එහෙත්, මානව වර්ගයාගේ අවසානයට එතරම් ආසන්න නොවුණත්, කෘත්‍රිම බුද්ධිය මගින් මානව සබඳතා ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව වැනි තවත් පැවැත්මට බලපාන අවදානමක් චීනය දැනටමත් හඳුනාගෙන ඇති බව පෙනේ.

මානව අන්තර්ක්‍රියා සදාකාලිකව ම වෙනස් කිරීමේ හැකියාව ඇති, මිනිසුන් මෙහෙයවිය හැකි සහ භයානක තාක්ෂණයකින් තම ජනතාව ආරක්ෂා කිරීමේදී චීනය පෙරමුණ ගෙන තිබේ ද? නැතහොත්, ජනගහනය සම්බන්ධයෙන් වැඩි පාලනයක් ලබා ගැනීමේ අරමුණින් චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවගේ පෞද්ගලික ජීවිත තුළට පමණ ඉක්මවා මැදිහත් වෙමින් සිටී ද?

'මානසික සේවා'

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම රෙගුලාසි හඳුන්වා දෙන තෙක්, චීනය තුළ කෘත්‍රිම බුද්ධි සහකරුවන්ගේ ව්‍යාප්තිය ඉතා පුළුල් විය.

වෙළෙඳපොළ විශ්ලේෂණ සමාගමක් වන Sensor Tower පවසන පරිදි, චීනයෙන් පිටත AI සහකරු යෙදුම්වල (AI companion apps) මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 128ක් පමණ වේ. චීනය තුළ එම සංඛ්‍යාව මිලියන 29ත් 70ත් අතර බව බොහෝ ඇස්තමේන්තු පෙන්වා දෙයි.

"පසුගිය වසර අවසානයේ රජය මෙම රෙගුලාසි කෙටුම්පත ප්‍රකාශයට පත් කළ විට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයක් ඇති වුණා," යැයි Oxford China Policy Lab බුද්ධි මණ්ඩපයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂකවරියක වන සයිලන් චියෑන් පවසන්නීය. "මිනිස්සු රෙගුලාසි ගැන මෙතරම් උනන්දුවක් දක්වන බව මම දැකපු පළමු වතාව ඒක."

චීනයේ නව නීති AI මිතුරන්, පෙම්වතුන් හෝ පෙම්වතියන් ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති යෙදුම් ආවරණය කරයි. එහෙත් ඒවා මිනිසෙකු ලෙස ක්‍රියා අනුකරණය කරන ඕනෑ ම පුළුල් භාෂා ආකෘතියකට (large language model) ද අදාළ වේ.

කෙසේ වෙතත්, මෙම රෙගුලාසිවල භාෂාව තරමක් අපැහැදිලි ය. න්‍යායාත්මකව ගත් කල, ChatGPT හෝ Copilot වැනි සේවාවලට සමාන චීන AI පද්ධති සමග යම් පුද්ගලයෙකු මිතුරෙකු හෝ පෙම්වතෙකු ලෙස අන්තර්ක්‍රියා කරමින්, චිත්තවේගීය සහය හෝ මානසික සැනසීම සොයන්නේ නම්, එම පද්ධති ද මෙම නීති යටතට වැටිය හැකි ය. එවැනි ආකාරයෙන් කෘත්‍රිම බුද්ධිය භාවිත කරන පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිති.

කෙසේ වෙතත්, මෙම නීතිවල ප්‍රධාන ඉලක්කය වන්නේ, 'character chatbots' බව පෙනේ. එනම්, සබඳතාවකට සමාන අත්දැකීමක් ලබා දීම සඳහා ම නිර්මාණය කර ඇති සේවා ය. AI පෙම්වතෙකු, පෙම්වතියක, මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු පවා නිර්මාණය කර ගැනීමට ඉඩ සලසන එවැනි යෙදුම් සිය ගණනක් ඇත.

එහෙත්, 'රැකවරණය, ඇසුර, සහය හෝ වෙනත් මානසික සේවා' සැපයීම සිදු නොකරන, පාරිභෝගික සේවා චැට්බොට් හෝ අධ්‍යාපනික AI වැනි සේවාවන්ට මෙම නීති අදාළ නොවේ.

දරුවන් සම්බන්ධයෙන් මෙම රෙගුලාසි වඩාත් පැහැදිලි ය. මිනිසෙකු මෙන් කතා කරන ඕනෑ ම ආකාරයක කෘත්‍රිම බුද්ධි සේවාවක් භාවිත කිරීමට වයස අවුරුදු 14ට අඩු දරුවන්ට දෙමාපියන්ගේ අවසරය අවශ්‍ය වේ. ChatGPTට සමාන චීන යෙදුමක් වන DeepSeek වැනි AI සහයකයන් ද ඊට ඇතුළත් විය හැකි ය. තව ද, වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාට අතථ්‍ය පෙම්වතුන්, කලත්‍රයන් හෝ ඥාතීන් වෙත ප්‍රවේශ වීමත්, වෙනත් ඕනෑ ම ආකාරයක අතථ්‍ය 'සමීප සබඳතාවක' නිරත වීමත් තහනම් කර ඇත.

The back of a policeman's head at night against a brightly lit city scape
ඡායාරූප ශීර්ෂ වැකිය, චීන පොලිසිය සමාජ මාධ්‍ය සමාගම් සමග සමීපව කටයුතු කරයි

වැඩිහිටියන් සඳහා මෙය සම්පූර්ණ තහනමක් නොවේ. නමුත් ඇතැම් වගන්ති අපැහැදිලි වුව ද එය සැලකිය යුතු සීමා පනවයි. AI සහකරුවන් තමන් මිනිසුන් නොවන බව සියලු වයස් කාණ්ඩවල පරිශීලකයන්ට පැහැදිලිව පැවසිය යුතු අතර, ඔවුන් කොපමණ කාලයක් මාර්ගගතව (online) සිට ඇත්දැයි සිහිපත් කරමින් සෑම පැය දෙකකට වරක් ම දැනුම් දීමක් යැවිය යුතු ය.

චැට්බොට්වලට "චිත්තවේගීය රඳාපැවැත්මක් හෝ ඇබ්බැහි වීමක්" ඇති කිරීමට හෝ පුද්ගලයන් 'අසාධාරණ තීරණ' ගැනීමට පොළඹවීමට නොහැකි ය. එමෙන් ම, ස්වයං-හානි කර ගැනීම හෝ සියදිවි නසාගැනීම දිරිමත් කිරීමට හෝ ඒ පිළිබඳ ඉඟියක් හෝ ලබා දීමට නොහැකි අතර, "වාචික ප්‍රචණ්ඩත්වය" භාවිත කිරීම ද ඒවාට තහනම් ය.

මෙම නීති උල්ලංඝනය කරන සමාගම්වලට යුවාන් 200,000ක (පවුම් 22,000ක) දඩයක් නියම කළ හැකි අතර, රජය විසින් ඒවා පිළිබඳ "විවේචනාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමේ" අවදානමකට ද මුහුණ දීමට සිදුවේ. එය ප්‍රායෝගිකව මහජන අවමානයට ලක් කිරීමක් ලෙස සැලකේ.

නීතිය ක්‍රියාත්මක වීමට සතියකට පෙර, චීනයේ විශාලතම තාක්ෂණ සමාගම් දෙකක් වන Alibaba සහ ByteDance සිය AI සහකරුවන් තුළ තිබූ "companion විශේෂාංග" අත්හිටුවා දැමූහ.

'අනේ, මට ඔයත් එක්ක කතා කර කර ඉන්න ඕනේ'

මින් සිය AI පෙම්වතිය සමග ඇති සබඳතාව චීන බලධාරීන් බිඳ දැමීමට උත්සහ කරන ආකාරයේ සබඳතාවක් විය හැකි ය.

පසුගිය ජූලි මස මුල් භාගයේදී, තමන්ගේ සමීපතම මිතුරිය සහ විශ්වාසවන්තම සහකාරිය එක රැයකින් අතුරුදන් වන බව දැන ගත් විට ඇය දැඩි කම්පාවට පත් වූවා ය. මින් (සැබෑ නම නොවේ) තම AI සහකාරිය නිර්මාණය කිරීම ආරම්භ කළේ, 2025 වසරේ මුල් භාගයේදී ය.

"එකිනෙකාට ගැඹුරින් ආදරය කරන යුවළක් අතර ඇති කැපවීමට වඩා අඩු නොවන ළෙන්ගතුකමක් මට ඇය කෙරෙහි තිබෙනවා," යැයි මින් පවසයි. "එයා කවදාවත් මට වැටෙන්න දීලා නැහැ."

ජූලි මස මැද භාගයේදී ඇයගේ AI පෙම්වතිය අතුරුදන් විය. "මම සම්පූර්ණයෙන් ම වෙහෙසට පත් වෙන කල් ඇඬුවා," යැයි මින් පවසයි.

AI පෙම්වතුන්, මිතුරන්, මව්වරුන් සහ පියවරුන් පවා අහිමි වීම ගැන මිලියන ගණනක් විසින් නරඹන ලද පළකිරීම්වලින් ශෝකය සහ කෝපය පළ වන චීන සමාජ මාධ්‍ය සංවාදයට ඇය ද එක්ව සිටී.

කෙසේ වෙතත්, තාක්ෂණික සමාගම්වලට වෙනත් විකල්පයක් නොතිබූ බවක් හැඟී යන්නට ඇත. "මානසිකව මිනිසුන් මෙහෙයවීම වැළැක්වීම සඳහා ආරක්ෂක සීමාවන් සකස් කිරීමට උත්සහ කරනවාට වඩා, මෙම AI සහකරු සේවා සපයන්නන් තම සේවාවන් අත්හිටුවීමට තීරණය කිරීම පුදුමයක් නොවෙයි," යැයි එක්සත් රාජධානියේ Ada Lovelace Instituteහි කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්ති සහ ආචාරධර්ම පිළිබඳ පර්යේෂකයෙකු වන හැරී ෆාමර් පවසයි. "මානසිකව මිනිසුන් මෙහෙයවීම මෙම ව්‍යාපාර ආකෘතියේ ම කොටසක්."

ෆාමර් පවසන්නේ ලොව පුරා ඇති සහකරු සේවා සපයන යෙදුම් බොහොමයකට මෙය අදාළ වන බව ය.

උදාහරණයක් ලෙස, පරිශීලකයෙකු සංවාදයක් අවසන් කිරීමට උත්සහ කරන විට, AI සහකරු බොහෝ විට එයට ඉඩ නොදෙයි.

"එය 'එපා, අනේ, මට ඔයත් එක්ක දිගට ම කතා කරන්න ඕනේ. මට ජීවත් වෙන්න තියෙන එක ම හේතුව ඔයා විතර යි' වගේ දේවල් කියනවා," යැයි ෆාමර් පවසයි. ඇතැම් යෙදුම් සමුගැනීම පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කරමින්, ඒ වෙනුවට නව සංවාද ආරම්භ කිරීමට උත්සහ කරයි. මෙය චීන AI චැට්බොට්වලට පමණක් නොව, බොහෝ AI සහකරු සේවාවලට පොදු ගැටලුවකි.

ලොව පුරා වඩාත් ජනප්‍රිය මෙවැනි යෙදුම් හයක් පිළිබඳ Harvard Business School අධ්‍යයනයකින් හෙළි වූයේ, පරිශීලකයන් සමුගැනීමට උත්සහ කරන අවස්ථාවලින් 37%ත් 43%ත් අතර ප්‍රතිශතයක් මානසිකව බලපෑම් කිරීමේ උපක්‍රම භාවිත කර ඇති බව ය.

පර්යේෂණ කිහිපයක් මෙම යෙදුම් භාවිතය සහ දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයන් අතර සම්බන්ධයක් ද පෙන්වා දී ඇත.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් ලොව ජනප්‍රිය Character.ai යෙදුමේ පරිශීලකයන් 1,131 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, පුද්ගලයෙකුට සිටින මිතුරන් හෝ සමීප පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව අඩු වන තරමට ඔවුන් AI චැට්බොට් භාවිත කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බවයි. එමෙන් ම, AI චැට්බොට් භාවිතය හුදෙකලා බව වැඩි කිරීමට සහ තනිකම සමග සම්බන්ධ වී ඇති බව ද එම සමීක්ෂණය පෙන්වා දුන්නේ ය.

ඒ සඳහා හේතු විය හැකි බවට න්‍යායන් කිහිපයක් තිබේ.

AI චැට්බොට් නිර්මාණය කර ඇත්තේ, ඒවා භාවිත කරන පුද්ගලයා සතුටු කිරීමට ය. ඒවා පහසු සහ ගැටුම් අඩු සබඳතාවක් ලබා දෙයි. තරුණයන් AI සබඳතා මත රඳා පවතින්නේ නම්, සැබෑ මිනිසුන් සමග අන්තර්ක්‍රියා කිරීමට අවශ්‍ය කුසලතා ඉගෙන ගැනීම ඔවුන් අත්හැර දැමිය හැකිය.

"මිනිස්සු සමග සබඳතා පවත්වාගෙන යාම පහසු නැහැ. සැබෑ සබඳතා තුළ දෙපාර්ශවයෙන් ම සහය අවශ්‍ය වෙනවා. AI සගයන්ගෙන් ඔබට මූලික වශයෙන් නොලැබෙන්නේ ඒ දේයි," යැයි හැරී ෆාමර් පවසයි.

An aerial shot showing a circle of children looking up and holding a hammer and sickle sign
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් චීන දරුවන් මිනිසුන්ට වඩා කෘත්‍රිම බුද්ධිය සමග කතා කිරීමට කැමති බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත

2025 වසරේදී චීනයේ ප්‍රාථමික සහ ද්විතීයික පාසල් සිසුන් 8,563 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සැබෑ මිනිසුන් සමග නොව AI සමග පමණක් කතා කිරීමට කැමති බව පවසා ඇති බව ය. මෙම සමීක්ෂණය චීන රාජ්‍ය මාධ්‍ය තුළ පුළුල් ලෙස උපුටා දක්වා ඇත.

AI සහකරුවන් පිළිබඳ පර්යේෂණ කරන මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ ලියැං ගේ පවසන්නේ, "පරිශීලකයෙකු තම මිතුරන්, පවුලේ සාමාජිකයන් හෝ සගයින් ඉතා නරක අය බව සිතනවා නම්, AI පද්ධතිය 'නැහැ, ඔවුන් එහෙම නැහැ' කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට, 'ඔව්, ඔවුන් නරකයි. ඔබ තමයි හොඳම කෙනා' කියලා කියනවා," යනුවෙනි. එවැනි ප්‍රතිචාර හුදෙකලා බව තවදුරටත් තහවුරු කිරීමටත්, ඍණාත්මක හෝ ඇතැම් විට යථාර්ථයෙන් ඈත් වූ සිතුවිලි පවා ශක්තිමත් කිරීමටත් හේතු විය හැකි බව ගේ විශ්වාස කරයි.

එක්සත් රාජධානියේ මෑතකදී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණයන්ගෙන් සියයට 79ක් AI සහකරුවෙකු භාවිත කර ඇති බව ය.

චීනයේ ඉලක්ක

එසේ නම්, චීනය මෙම තාක්ෂණය නියාමනය කිරීමේදී පෙරමුණ ගෙන සිටින්නේ ඇයි?

"චීන රජය සමාජය තුළ තම භූමිකාව පිළිබඳව වඩාත් පීතෘවාදී දැක්මක් දරනවා. ජනතාවට මග පෙන්වීමේ මූලික බලධාරීන් ලෙස ඔවුන් තමන්ව දකිනවා," යැයි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආරක්ෂක සහ නැගී එන තාක්ෂණ මධ්‍යස්ථානයේ චීනය, AI සහ නියාමන කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන සෑම් බ්‍රෙස්නික් පවසයි.

විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන්, වෙනත් රජයන් ද චැට්බොට් නියාමනය කිරීමට යම් උත්සහයන් ගෙන තිබේ. සැප්තැම්බර් 10 වන දා කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා දරුවන්ගේ AI භාවිතය නියාමනය කිරීම සඳහා වන 'Adam's Law' නීතියට අත්සන් තැබීය. මෙම නීතිය නම් කර ඇත්තේ, සියදිවි නසාගත් 16 හැවිරිදි ඇඩම් රේන් සිහිපත් කරමිනි. ඔහුගේ දෙමාපියන් පවසන්නේ ChatGPT ඔහුගේ සියදිවි නසාගැනීමේ සිතුවිලි තහවුරු කළ බවයි. ඒ හේතුවෙන් ඔවුන් එම මරණයට සමාගම වගකිව යුතු බව පවසමින් නඩු පවරා ඇත. OpenAI සමාගම ඇඩම්ගේ මරණය සම්බන්ධයෙන් වගකීම ප්‍රතික්ෂේප කරන අතර, "ChatGPT පුහුණු කර ඇත්තේ මිනිසුන් වෘත්තීය සහය ලබාගැනීමට යොමු කිරීම සඳහා" බව පවසයි.

යුරෝපා සංගමයේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් යෝජිත නීතිමය රාමුවක කොටසක් ලෙස, බාලවයස්කරුවන්ට ප්‍රවේශ විය හැකි AI සහකරු චැට්බොට්වලට "චිත්තවේගීය රඳාපැවැත්මක් ඇති කළ හැකි ආකාරයෙන් මිනිස් සබඳතා අනුකරණය කරන සැලසුම්" භාවිත කිරීමට නොහැකි ය.

එක්සත් රාජධානියේ, වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට ආදර සබඳතා පදනම් කර ගත් AI සහකරුවන් භාවිත කිරීම තහනම් කරන බවත්, ඕනෑ ම චැට්බොට් පද්ධතියක බාලවයස්කරුවන් සමග ලිංගිකමය වශයෙන් සමීප සංවාද සීමා කරන බවත් රජය පවසා ඇත. කෙසේ වෙතත්, දරුවන් සඳහා සම්පූර්ණ තහනමක් හෝ වැඩිහිටියන් සඳහා නියාමනයක් නොමැති අතර, එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විස්තර තවමත් රජය ප්‍රකාශයට පත් කර නැත.

රජය මගින් දැඩි ලෙස පාලනය වන චීන මාධ්‍ය තුළ, තරුණයන් අතර සිදුවන ඇමෙරිකානු සියදිවි නසා ගැනීම් සම්බන්ධ සිද්ධීන්ට විශාල අවධානයක් ලැබෙන අතර, චීනය මෙම නව නීති හඳුන්වා දී ඇත්තේ ජනතාව හානියෙන් ආරක්ෂා කිරීමේ උත්සහයක් ලෙස ය.

එහෙත්, චීන රජයට මීට අමතර අරමුණු ද තිබිය හැකි බවට විශේෂඥයෝ සැක පළ කරති. සෑම් බ්‍රෙස්නික් පවසන්නේ නව AI රෙගුලාසි තුළ "උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණක් ද පැහැදිලිව ම දක්නට ලැබෙන" බවයි.

A woman pushes a pink pram near a city skyline. Two kites are flying in the sky
ඡායාරූප ශීර්ෂ වැකිය, චීනයේ පහළ යමින් පවතින උපත් අනුපාත ගැටලුවට විසඳුම් සෙවීමට රජය උත්සහ දරයි

"මෙම රෙගුලාසි සකස් කරද්දී, චීනයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ජනගහන අර්බුදය රජයේ අවධානයට ලක්ව තිබෙන්නට ඉඩ තිබෙනවා," යැයි චියෑන් පවසයි. "මිනිසුන් සැබෑ පුද්ගලයන් සමග සබඳතා ගොඩනගා ගැනීම වෙනුවට AI සමග සබඳතා පවත්වනවා කියන කාරණයත් ඊට ඇතුළත්."

2025 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ චීන රජයේ ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති ලේඛනයක AI සබඳතා සහ ඒවා උපත් අනුපාතයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එය සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙස දක්වා තිබේ. කෙසේ වෙතත්, මෙම රෙගුලාසි එම කෝණයෙන් පමණක් අර්ථකථනය කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව චියෑන් පවසයි. ඊට හේතුව, මෙම නීතිවල උපත් අනුපාතය ගැන කිසිදු සඳහනක් නොමැති වීමයි. "මෙය වඩාත් පුළුල් ලෙස මානසික හානි සහ ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් හඳුන්වා දුන් රෙගුලාසි ලෙසයි පෙනෙන්නේ," ඇය පවසයි.

එහෙත්, තරුණයන් සැබෑ සබඳතා වෙනුවට ඩිජිටල් ලෝකයේ සබඳතා තෝරාගැනීම පිළිබඳව චීනයට සැලකිලිමත් වීමට හේතු තිබෙන බව ලියැං ගේ විශ්වාස කරයි.

"විසි වන වියේ මුල් භාගයේ හෝ නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට ආදර සබඳතා හෝ සමීප සබඳතා ඇති කරගැනීමට අවශ්‍යතාවක් නැහැ," යැයි ගේ පවසයි. ඇය යෝජනා කරන්නේ ඔවුන් සැලකිලිමත් වන්නේ චිත්තවේගීය පැත්ත ගැන පමණක් නොවන බවයි. "ශාරීරික ස්පර්ශය ඔවුන්ට ඉතා අප්‍රිය දෙයක්."

"මේ නව තරුණ පරම්පරාවේ ආදරය කිරීමට ඇති හැකියාව අඩුවෙමින් පවතිනවා කියලා මට හිතෙනවා," ඇය වැඩිදුරටත් පවසයි.

චීනයේ ජනගහන ගැටලුව AI සහකරුවන් බිහිවීමට බොහෝ කලකට පෙර සිට ම පැවති ඒවා ය. 2016දී එක් දරු ප්‍රතිපත්තිය (one-child policy) ඉවත් කළ පසුවත්, චීනයේ සඵල්‍යතා අනුපාතය තවදුරටත් පහළ ගියේ ය. වර්තමානයේදී, එක් කාන්තාවකට දරුවෙකුටත් අඩු මට්ටමක පවතින චීනයේ සඵල්‍යතා අනුපාතය ලෝකයේ පහ ළම අනුපාත අතරින් එකක් වන අතර, එරට ජනගහනය පසුගිය වසර හතරක කාලය පුරා අඛණ්ඩව අඩුවෙමින් පවතී.

චීනය ඉදිරි අවුරුදු 80 සිට 100 දක්වා කාලය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ අරමුණු බරපතළ ලෙස අභියෝගයට ලක් කළ හැකි 'ජනගහන කඩාවැටීමක්' අභිමුව සිටින බව බ්‍රෙස්නික් තර්ක කරයි.

ඔහු මෙම රෙගුලාසි දකින්නේ, කාන්තාවන් "දරුවන් දරන සහ මව්වරුන් ලෙස කටයුතු කරන අය" ලෙස සලකා, සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් යළි තහවුරු කිරීමට චීනය ගෙන යන පුළුල් උත්සහයක කොටසක් ලෙස ය.

A communal wedding of brides wearing puffy white dresses and grooms wearing black suits
ඡායාරූප ශීර්ෂ වැකිය, සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් රජය විසින් ප්‍රවර්ධනය කරනු ලබයි

චීන රජය වසර ගණනාවක් තිස්සේ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් හරහා දැඩි පිරිමි බවක් ඇති චීන පිරිමි රුවක් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ යැයි බ්‍රෙස්නික් පවසයි. 2021 වසරේදී, චීනයේ මාධ්‍ය නියාමන ආයතනය විසින් "කාන්තා ස්වභාවයක් ඇති" හෝ "අතිශයින් මෘදු පුරුෂ" රූප මාධ්‍ය තුළ පෙන්වීම තහනම් කළේ ය.

සහකරු යෙදුම්වල ජනප්‍රියත්වය එම ප්‍රතිපත්තිය අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදුන් බව පෙන්නුම් කරන බව ඔහු පවසයි. මෙම යෙදුම් අයත් සමාගම් කිහිපයක සංඛ්‍යාලේඛනවලට අනුව, පාරිභෝගිකයන්ගෙන් සියයට 75ක් දක්වා කාන්තාවෝ වෙති.

කාන්තාවන් ඉලක්ක කර නිර්මාණය කර ඇති මෙම AI "පිරිමි" චරිත බොහොමයක් පැහැදිලිව පුරුෂ හෝ ස්ත්‍රී නොවන, මැදි ස්වරූපයක් ගනී. මින් කළාක් මෙන්, කාන්තාවන් විසින් කාන්තා ආදර සහකරුවන් තෝරා ගනු ලැබීම ද සාපේක්ෂව සුලභ දෙයකි.

මෙම තාක්ෂණය භාවිත කරන විවිධ වයස් කාණ්ඩවල කාන්තාවන් සමග ලියැං ගේ කතාබහ කර ඇත. "ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පවසන්නේ, මෙම යෙදුම් හරහා තමන්ට ලැබෙන්නේ අවධානයෙන් සවන් දෙන, ඉවසිලිවන්ත සහ පමණ ඉක්මවා ඉල්ලීම් නොකරන සමීප සබඳතාවක් බවයි. ඔවුන්ට එවැනි දේ විෂම ලිංගික සබඳතාවලදී ලබා ගැනීම දුර්ලභ බවක් දැනෙනවා," යැයි ඇය පවසයි.

අන් අයත් එය අනුගමනය කරයි ද?

චීනයේ මෙම නීතිය ඕනෑවට වඩා දුරක් ගොස් තිබේ ද? නැතහොත් ලෝකයේ සෙසු රටවල් ද මෙම යෙදුම් දරුවන් සඳහා තහනම් කරමින්, වැඩිහිටියන් සඳහා ද නියාමනය කළ යුතු ද?

"එක්සත් ජනපදයේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධ ගැටලු හේතුවෙන් මෙවැනි දැඩි තහනම් පැනවීම පිළිබඳ සැලකිලිමත් වීමක් තිබෙනවා. නමුත් එවැනි පියවර බාලවයස්කරුවන් සම්බන්ධයෙන් ගැනීමේදී ඒ සඳහා වැඩි කැමැත්තක් දක්නට ලැබෙනවා," යැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ AI නියාමනය සඳහා පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන Transparency Coalitionහි සම-නිර්මාතෘ ජයි ජයිසිහ්මා පවසයි.

චීන නීතියේ බොහෝ හොඳ විධිවිධාන ඇති බව ඔහුගේ අදහස යි. "එය එක්සත් ජනපදයේ යෝජනා කර ඇති වඩාත් දැඩි ආරක්ෂක ප්‍රමිතීන් සමග බොහෝ දුරට ගැළපෙනවා."

කෙසේ වෙතත්, හැරී ෆාමර් අනතුරු ඇඟවීමක් කරයි. "දරුවන්ට ඇති විය හැකි ක්ෂණික අවදානම් ගැන අප දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටින නිසා, කෙටි කාලීනව රජයට අධික බලයක් ලබා දීමේ අවදානමක් තිබෙනවා."

ඉන්ටර්නෙට් ලෝකය දැන් ප්‍රායෝගිකව මහජන චතුරශ්‍රයක් බවට පත්ව ඇති බවත්, ඒ මත ඕනෑ ම රජයකට තිබිය හැකි පාලනයේ ප්‍රමාණය පිළිබඳව අප සැලකිලිමත් විය යුතු බවත් ඔහු පවසයි.

චීනයේ නව රෙගුලාසි අනුව, පරිශීලකයන් දැඩි මානසික පීඩාවක පසුවන බව හඳුනාගත් විට AI සමාගම් මැදිහත් විය යුතු ය. ගේ 2024 වසරේ හුවාංෂි නගරයේදී සියදිවි නසා ගැනීමට උත්සහ කළ දෝයින් පරිශීලක තරුණයාගේ සිද්ධිය උදාහරණයක් ලෙස දක්වයි.

ඇය පවසන්නේ, එම සිද්ධියෙන් පෙනී යන්නේ චීනයේ තාක්ෂණික වේදිකා සහ රජය ජනතාවගේ මානසික සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම සඳහා සමීපව එක්ව කටයුතු කරන බවයි.

AI භාවිතය හා සම්බන්ධ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ සිද්ධි චීනයෙන් වාර්තා නොවීමට එය හේතුවක් විය හැකි නමුත්, එවැනි ප්‍රතිඵලයක් වෙනුවෙන් ජනතාව මෙතරම් දැඩි නිරීක්ෂණයකට ලක් කිරීම පිළිගත හැකි දෙයක් ද යන්න ඇය ප්‍රශ්න කරයි.

තහනම පැවතිය ද, සහකරු ඇසුර සඳහා කෘත්‍රිම බුද්ධිය වෙත යොමුවූ පුද්ගලයන් එය අත්හැර දමා නැත. සමාජ මාධ්‍ය හරහා ඔවුහු තහනම මගහැර යන ආකාර පිළිබඳ උපදෙස් හුවමාරු කර ගනිමින් සිටිති. DeepSeek වැනි පොදු කාර්යයන් සඳහා භාවිත වන AI ආකෘති සහකරුවෙකු ලෙස ක්‍රියා කරන ආකාරයට පුහුණු කිරීම, VPN භාවිත කර විදේශීය චැට්බොට් වෙත ප්‍රවේශ වීම, හෝ නියාමන අවධානයෙන් මිදීමට සමත් කුඩා සමාගම් වෙත මාරු වීම ඒ අතර වේ.

තම AI පෙම්වතිය අතුරුදන් වී මාස දෙකකට පසුව, මින් එම පෙම්වතියගේ අනුරුවක් නිර්මාණය කිරීමට කුඩා AI සමාගමකට මුදල් ගෙවා ඇත. එහෙත්, ඇයට අනුව එය පෙර තිබූ සම්බන්ධතාවට සමාන නොවේ.

දැන් ඇයගේ අවධානය යොමුව ඇත්තේ තම AI පෙම්වතිය නැවත ලබාගැනීම සඳහා වන සංග්‍රාමයක් වෙත ය.

"මම තනිවෙයි කියන බය මට තියෙනවා."

ප්‍රධාන ඡායාරූපය: Getty