තනිවුණු චීන පිරිමින් ව්‍යාජ මනාලියන්ට රැවටෙන හැටි

Wang with his ex-wife
ඡායාරූප ශීර්ෂ වැකිය, වැන්ග් ඔහුගේ හිටපු බිරිඳ සමඟ ඔවුන්ගේ විවාහ උත්සවයෙන් පසුව ගත් ඡායාරූපයකි
    • Author, ලෝරා බිකර්
    • Role, චීන වාර්තාකරු
    • වාර්තාකරණය, බීජිං සහ ගුයැන්ග්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

37 හැවිරිදි වැන්ග් ෂුවාං ආකර්ෂණීය මංගල දැන්වීම් දකින තෙක්, බිරිඳක් සොයා ගැනීමේ සිය බලාපොරොත්තුව අතහැර දමා තිබුණේය.

අනාගතයක් ඇති සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඔහුට වසර ගණනාවක් නාස්ති කිරීමට සිදු නොවන බවට ඔවුන් පොරොන්දු විය. ඔවුන් ඔහුව සංයමයෙන් යුතු ලෙන්ගතු කාන්තාවකට හඳුන්වා දීමට ඉදිරිපත් විය.

"ගුයිෂෝ ප්‍රදේශයේ ගැහැනු ළමයින් සකසුරුවමින් කටයුතු කරනවා කියලා විවාහ යෝජකයින් පැවසුවා,'' වැන්ග් පැවසුවේය. ''ඔවුන් මට කිව්වා එයාලා ගෙදර ගැන හොඳට බලා ගනී කියලා, ගෙදර වැඩ කරන්න හැකියාව තියෙනවා කියලා, ඒවගේම එයාලගේ පවුල් ඉතා දුප්පත් නිසා ඔබේ පවුලට එකතුවීමෙන් පසුව පදිංචියට ඇවිත් ඔබත් සමග ජීවිතය ගත කරයි කියලා.''

ඉන් අනතුරුව වැන්ග් තම ජීවන සහකාරිය සොයා ගැනීමේ අපේක්ෂාවෙන් නිරිතදිග ගුයිෂෝ පළාතේ ගුයැන්ග් නගරයට වෙත ගියේ ය.

තමා අපේක්ෂා කළ සියලු ගුණාංගවලින් යුත් කාන්තාවක් හමුවීමත් සමඟ, ඔහුට සිතුණේ තමාට සුදුසු සහකාරිය ලැබුණු බවයි. විවාහයට පෙර අවස්ථා කිහිපයකදී පමණක් ඔවුන් මුණගැසී තිබිණි.

අනතුරුව ඔහුගේ නව ජීවිතය ආරම්භ වූ සැනින් එය අවසානයට ද ළඟා විය.

"මගේ මුළු පවුලම අවුල් ජාලයකට ඇදලා දාලා තියෙන්නේ," ඔහුගේ හිස සොලවමින් ඔහු පවසයි.

ඔහුගේ බිරිඳ විසින් ඔහුට පැවසූ සියල්ල බොරුවක් බව අනාවරණය කර ගැනීමෙන් වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් ඔහු තවමත් සිය ජීවිතය ගොඩනගා ගැනීමට උත්සහ කරමින් සිටියි.

කැරෝකේ සංගීතය මෙහෙයවන්නියකව සිටි ඇය මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී දරුවන් තිදෙනෙකු සිටින කාන්තාවක වූ අතර ලිංගිකව සම්ප්‍රේෂණය වන දරුණු රෝගයකින් සහ ණය බරින් මිරිකී සිටි කාන්තාවක විය. ඇය ඇගේ වයස ගැන පවා බොරු කර තිබිණි.

ඔහු දික්කසාදය ලබා ගැනීමට සටන් කරමින් සිටින අතර, නැවත සිය පැරණි ජීවිතයට යාමටද ඔහුට නොහැකි වී තිබේ. අවම වශයෙන්, විවාහය සඳහා ගැහැනු ළමයින් කිහිප දෙනෙකු හඳුන්වා දී පැය කිහිපයක් ඇතුළත තමන් එම ආයතනයට ඔහු ගෙවූ බව කියන, තමන්ගේ ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල්වලින් කොටසක් හෝ නැවත ලබා ගන්නා තෙක් ඔහුට එසේ කිරීමට සිදු වේ.

''මගේ මව්පියන් මට දොස් කියනවා. මට නින්ද යන්නේ නෑ, කාංසාව තියෙනවා. මට රැකියාව ගැන අවධානය යොමු කර ගන්න විදිහක් නෑ.''

A bride with her in an updo looks over her shoulder.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි ස්ත්‍රී-පුරුෂ අසමතුලිතතාවය හේතුවෙන් චීන මනාලියන් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතී
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වැන්ග්ගේ කතාව, චීනය තුළ දිගු කලක සිට නිර්මාණය වෙමින් පවතින ජනගහන අර්බුදයක දරුණුතම ලක්ෂණයකි.

දශක ගණනාවක් පුරාවට චීනයේ කොමියුනිස්ට් පක්ෂය අඹුසැමියන්ට සිටිය හැක්කේ එක් දරුවෙකු පමණක් බව නියම කළේය. ඔවුන් 2016 ජනවාරි මාසයේදී එම ප්‍රතිපත්තිය ආපසු හැරවූ නමුත් ඒ වන විට "එක දරුවෙක්" ප්‍රතිපත්තිය, පිරිමි දරුවන්ට දැක්වූ වැඩි කැමැත්ත සමගින් එකතු වී කාන්තා ජනගහනයේ අඩුවීමක් සහ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවක් නිර්මාණය කර තිබිණි.

දැන් චීනයේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ජනගහනය මිලියන 30 ක් වැඩිපුර සිටිති - එය එක්සත් රාජධානියේ පිරිමි ජනගහනයට හෝ ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයට සාපේක්ෂව වැඩි අගයකි.

මෙම තත්ත්වය නිසා කුඩා නගරවල හෝ ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වන, වයස අවුරුදු 35 ඉක්මවූ වැන්ග් වැනි පිරිමින්ට ඉතිරි වී ඇත්තේ සීමිත අවස්ථාවන් කිහිපයකි. තමන්ට ඉහළ ඉල්ලුමක් ඇති බව දන්නා නිසා, මෙම ප්‍රදේශවල සිටින කාන්තාවන්ට තමන් කැමති සහකරු තෝරා ගැනීමට වැඩි ඉඩක් ලැබී ඇත.

"මගේ නගරයේ පිරිමින් සඳහා තිබෙන අවශ්‍යතා ගොඩක් වැඩියි. ඔබට මෝටර් රථයක්, නිවසක් තියෙන්න ඕනෙ වගේම ඔබේ පවුල ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නත් ඕනේ," ඔහු පවසයි.

බොහෝ පවුල් විශාල ලෙස 'මනාලියගේ මිල' ඉල්ලා සිටින අතර, මෙය මනාලයාගේ පවුලේ අය විසින් මනාලියට මුදල් ලබා දෙන පැරණි චීන සිරිත් විරිත් ක්‍රමයකි. කාන්තාවන්ට වඩා පිරිමින් බහුලව වෙසෙන චීනයේ ඇතැම් ප්‍රදේශවල, මෙය විශාල මූල්‍ය බරක් බවට පත්ව ඇත.

එබැවින්, සියල්ල එකම තැනකින් කරගත හැකි ඉක්මන් විසඳුමක් — එනම් 'හදිසි විවාහ' යෝජනා කරන ගුයිෂෝ ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල සේවා ආයතන වෙත මෙවැනි පිරිමින් ආකර්ෂණය වේ.

චීනයේ විවාහ යෝජක සේවා සපයන නියෝජිත ආයතන අලුත් දෙයක් නොවුණද, වයසට යත්ම සහකාරියක සොයා ගැනීමේ අවදානමට පත්ව සිටින පිරිමින්ව පහසුවෙන් ඉලක්ක කර ගැනීමට මෙම ආයතන බොහෝ විට කටයුතු කරන බව පෙනී යයි.

මෙම ක්ෂේත්‍රයේ "වේගවත් වර්ධනයක්" දක්නට ලැබෙන අතරම, එමගින් "නීතිවිරෝධී ක්‍රියා සහ අවුල් සහගත තත්ත්වයන්" නිර්මාණය වී ඇති බවට රාජ්‍ය මාධ්‍ය මෑතකදී වාර්තා කළේය.

A newly-wed couple pose for a photo with their marriage certificates in Yangzhou, Jiangsu Province of China.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ක්ෂණික විවාහ' වෙළඳපොළ කෙරෙහි චීන රජයේ අවධානය යොමුව ඇත

චීනය පුරා සිදුවන මෙවැනි වංචාවල පරිමාණය තීරණය කිරීම අපහසු වුවද, චීන බලධාරීන්ගේ අවධානය යොමු වන තරමටම එම තත්ත්වය වර්ධනය වී තිබේ. 2024 ජනවාරි සහ 2025 මාර්තු අතර කාලය තුළ, මෙම විවාහ යෝජක සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ අපරාධවලට අදාළව පුද්ගලයින් 1,546 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු මෙහෙයවා තිබිණි.

මෙම ගැටලුව සමාජය තුළ 'විශාල මහජන කනස්සල්ලක්' ඇති කිරීම නිසා, මේ මාසයේදී රාජ්‍ය ආයතන පහක් ඒකාබද්ධව මංගල සේවා කර්මාන්තයට එරෙහිව රට පුරා දැඩි නීතිමය පියවර ගැනීමක් ආරම්භ කළහ.

එක් සිද්ධියකදී, විවාහ යෝජක සේවා සපයන ආයතනයක් විසින් කැරොකේ සේවා ආයතනයක සේවය කරන තරුණියන් ඇමක් ලෙස යොදා ගනිමින්, වින්දිතයින් 128 දෙනෙකුගෙන් යුවාන් මිලියන 2.5කට (පවුම් 274,000 , ඩොලර් 371,000ක්) අධික මුදලක් වංචා කළ බව වාර්තා වේ.

"මම හිතන්නේ රජයට ක්ෂණික විවාහ ආශ්‍රිත වංචා ඉලක්ක කර ගනිමින් කර්මාන්තයට ආවේණික රෙගුලාසි හඳුන්වා දෙන්න පුළුවන්," බීජිං ජින්ෂි නීති සමාගමේ නැන්ජින් කාර්යාලයේ ෆෑන් බින්හේ බීබීසී පුවත් සේවයට පැවසීය.

ගුයැන්ග් නගරය ශීඝ්‍රයෙන් වර්ධනය වන මෙම 'හදිසි විවාහ' වෙළෙඳපොළ සමඟ සමීපව බැඳී තිබුණද, එය ආදරණීය හෝ රොමෑන්තික නගරයක් යැයි පැවසීමට තරම් කිසිදු සාක්ෂියක් නැත.

ප්‍රදේශයේ පලතුරු විකුණන වෙළෙන්දන්ගෙන් සහ නූඩ්ල්ස් සුප් මිලදී ගැනීමට පෝලිම් ගැසෙන සේවකයින්ගෙන් පිරුණු වෙළඳ සංකීර්ණයකට ඉහළින් පිහිටි එකිනෙකට බද්ධ වූ ගොඩනැගිලි අතර මෙම මංගල සේවා ආයතන පිහිටා ඇත.

කෙසේ වෙතත්, අදාළ සමාගම මනාලියන්ගේ පසුබිම පිළිබඳව සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කරන බව පැවසීම නිසා සහ තමන් කිසියම් වංචාවකට ගොදුරු වුවහොත් වන්දි ලබා ගැනීමට අයිතියක් ඇති බව පැවසීම නිසා, තමන්ට ඔවුන්ව විශ්වාස කළ හැකි බව වැන්ග් දැඩිව විශ්වාස කළේය.

එබැවින් ඔහු ගෙවීම් සිදු කළ අතර හඳුන්වාදීම් ආරම්භ විය.

Guiyang street
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශයේ පලතුරු විකුණන වෙළෙන්දන්ගෙන් සහ නූඩ්ල්ස් සුප් මිලදී ගැනීමට පෝලිම් ගැසෙන සේවකයින්ගෙන් පිරුණු වෙළඳ සංකීර්ණයකට ඉහළින් පිහිටි එකිනෙකට බද්ධ වූ ගොඩනැගිලි අතර මෙම මංගල සේවා ආයතන පිහිටා ඇත.

ඒජන්සි කාර්ය මණ්ඩලයේ දැඩි අධීක්ෂණය යටතේ දින කිහිපයක් පුරා විවිධ "බ්ලයින්ඩ් ඩේට්" කාමරවලදී ඔහු කාන්තාවන් හත් දෙනෙකු හමුවිය. ඔවුන් පැමිණියේ කොහේ සිටද, මීට පෙර විවාහ වී සිටියාද සහ දරුවන් සිටීද යන්න පිළිබඳව ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය.

ඔහුට මුණ ගැසුණු අටවන කාන්තාව වෙත ඔහුගේ සිත බැඳුණේය. ඔහු බලාපොරොත්තු වූයේ මීට පෙර විවාහ වී නැති, දරුවන් නොමැති සහ ඔහුට වඩා වයසින් අඩු කෙනෙකු හමුවීමටයි.

''ඇය හරිම චාම් විදිහට ඇඳුම් ඇඳලා සිටියා,'' ඔහු ආවර්ජනය කරයි. ''ඇය නිහඬ, අවංක කෙනෙක් වගේ පෙනුණා.'

ඔවුන් අවස්ථා හතරකදී හෝ පහකදී මුණගැසුණු අතර, සෑම හමුවීමක්ම මිනිත්තු අටක් හෝ දහයක් වැනි කාලයකට සීමා විය. පෞද්ගලික පණිවිඩ මගින් දුරකථන අංක හෝ කිසිදු තොරතුරක් හුවමාරු කර නොගන්නා ලෙසත්, එසේ කළහොත් දඩ මුදලක් ගෙවීමට සිදුවන බවටත් ඔවුන්ට දැඩි උපදෙස් ලැබී තිබූ බව ඔහු පවසයි.

දින දෙකකට හෝ තුනකට පසු, ඇය තමාට ගැලපෙනම තැනැත්තිය බව ඔහු තීරණය කළ අතර, ඇය වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ මනාලියක සඳහා වන මිලක් ගෙවීමට එකඟ විය. "මම යුවාන් 300,000කට වඩා වියදම් කළා," යනුවෙන් පවසන ඔහු, එය තහවුරු කිරීම සඳහා නිතර පරිශීලනය කළ නීතිමය ලේඛන ගොනුවක් ද අතැතිව සිටියේය.

''මගුල් ගෙදර භෝජන සංග්‍රහය සහ අනිත් සියලුම දේවල් එකතු කළොත්, මම යුවාන් 400,000 ක් 500,000 ක් දක්වා ප්‍රමාණයක් වියදම් කළා."

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම මංගල සේවා ආයතනය විසින් ආකර්ෂණීය ඡායාරූප පෙළක් මඟින් ලේඛනගත කර තිබූ අතර, චීන සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ සේවාවන් ප්‍රවර්ධනය කිරීමටද ඔවුන් එම ඡායාරූප භාවිතා කරයි.

වීඩියෝවේ යුවළ රතු පලසක් මත සිනාසෙමින් අත් අල්ලාගෙන සිටින අතර පසුබිමින් ආදරණීය හැඟීම් දනවන සංගීතයක් වාදනය වේ.

විවාහයෙන් මාස කිහිපයකට පසු, ණය එකතු කරන්නන් ඇය ඔවුන්ට ණය ගෙවීමට ඇති බවට චෝදනා කරමින් ඇමතුම් ලබාදීම ආරම්භ විය.

වැන්ග්ට මේ පිළිබඳ සැකයක් වැඩුණු අතර ඇය සඟවා ගෙන සිටින අනෙකුත් දේවල ද දැන ගැනීමට අවශ්‍ය විය. ඔහු ඇගේ දුරකථනය පරීක්ෂා කළ අතර ඇගේ පෙර ජීවිතය, උප්පැන්න සහතිකය සහ පෙර විවාහ ලේඛන පිළිබඳ විස්තර සොයා ගත්තේය.

ඔහු ඇයගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය ඔහුට දික්කසාදය ලබාදීමට ඉදිරිපත් වූ නමුත් මනාලියගේ මිලෙන් සතයක් හෝ ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කළාය.

තමාගේ විවාහයට සම්බන්ධ වූ නියෝජිත ආයතනය සොයා යාමට තමා උත්සාහ කළ නමුත් එම කාර්යාල වෙත යන විට ඔවුන් සියල්ල අස් කරගෙන අතුරුදහන් වී සිටි බවත් ඔහු පවසයි.

මෙවැනි බොහෝ ආයතන පිහිටා ඇති ප්‍රධාන දිස්ත්‍රික්කයට ඉදිරිපසින් පිහිටි ගුයැන්ග්හි කුලියට ගනු ලැබූ මහල් නිවාසයක ජීවත් වන වැන්ග් සිදුවිය හැකි වැරදි පිළිබඳව අනෙකුත් පිරිමින්ව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය වීඩියෝ නිර්මාණය කරමින් ඔහුගේ කාලය ගත කරයි.

ගුයියැන්ග් නගරයේ සිටින මංගල සේවා ආයතනවල සේවකයින් සමග කතා කිරීමට කැමැත්තක් දක්වන ආයතනයක් සොයා ගැනීම ඉතා අපහසුය. එක් ආයතනයක ප්‍රධානියෙකු ඔවුන්ගේ කාර්යාලයේදී අප සමඟ කතා කිරීමට එකඟ වූ නමුත්, පසුව ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු අපට එතැනින් පිටව යන ලෙස ඉල්ලා සිටියේය.

එහි ඇතුළත, විවාහ යෝජනාවක් සඳහා සූදානම් කර තිබූ, කෘත්‍රීම මල් පෙති විසිරී තිබූ රතු පලසක් තිබිණි. අප එහි පැමිණීමට පැය කිහිපයකට පෙර යුවළක් විවාහ වීමට පොරොන්දු වූ බව ඔහු අපට පැවසීය.

"චීනය තුළ හදිසි විවාහ සඳහා විශාල වෙළඳපොළක් තිබෙනවා. එය ඇත්තටම මතු වුණේ පසුගිය වසර දෙක තුන තුළ" ඔහු අපට පැවසීය.

නියෝජිත ආයතන පවසන්නේ මෙහි ජීවත් වන පවුල් එක් දරු ප්‍රතිපත්තියට දැඩි ලෙස අනුගත නොවූ බවයි, එයින් අදහස් කෙරෙන්නේ ප්‍රදේශයේ විශාල කාන්තාවන් ප්‍රමාණයක් සිටින බවයි. "පවුලක දියණියන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සිටියත්, ඔවුන් පුතෙකු ලබා ගැනීමට උත්සහ කරනවා," ඔවුන්ගෙන් එක් අයෙක් බීබීසී පුවත් සේවයට පැවසුවේය.

ඔවුන් පවසන්නේ ඔවුන් දැන් උත්සහ කරමින් සිටින්නේ හෙබෙයි පළාතේ වෙසෙන වැන්ග් වැනි සාපේක්ෂව හොඳ ආර්ථික මට්ටමක් තිබෙන අවට ප්‍රදේශවල කාන්තාවන් සුළු පිරිසක් පමණක් සිටින මධ්‍යම පළාත්වල පිරිමින් සඳහා මෙම කාන්තාවන් විවාහ කර දීමට බවයි.

"අපගේ සේවාදායකයින්ට ඔවුන් කැමති ඕනෑම අයෙකු තෝරා ගැනීමට නිදහස තියෙනවා. අපගේ ව්‍යාපාරයේ අරමුණ තමයි මිනිසුන්ට ඇත්තටම ඔවුන් සමග සිටීමට කැමති කෙනෙකු සොයා ගැනීමට උදව් කිරීම."

එක් වෙළඳ දැන්වීමක ඔවුන්ගේ සේවාදායකයින්ට "නිවැරදි හඳුන්වා දීමක් සහිත දින තුනක්, වසර තුනක පෙම් සබඳතාවකට වඩා සාර්ථක විය හැකියි" යනුවෙන් සහතික කරයි.

A sign reading "blind date room"
ඡායාරූප ශීර්ෂ වැකිය, වැන්ග්ට ඔහුගේ මනාලිය මුණගැසුණේ මෙවැනි කාමරයකදීය

වෑන්ග් දැන් ඔහුගේ කාලය වැය කරන්නේ මේ හා සමාන රැවටිලිකාරී ප්‍රචාරවලට හසු වූ අනෙකුත් පුද්ගලයින්ට උපකාර කිරීම සඳහාය.

ඔහුගේ කුලියට ගත් මහල් නිවාසය, ඔවුන් වංචා කළ ආයතනයේ හිමිකරුවන් සොයන හෝ විවාහයෙන් සති කිහිපයකට පසු පලා ගිය තම භාර්යාවන්ගෙන් තම පාඩු පියවා ගැනීමට උත්සාහ කරන පිරිමින්ගෙන් පිරී ඇත.

ජනේලය ආසන්නයේ නමා තැබිය හැකි ඇඳක් මත හිඳගෙන සිටින ජියැන්ග්සි පළාතේ පදිංචි 59 හැවිරිදි ෂු රුලින් රතු පැහැති ප්ලාස්ටික් ෂොපිං බෑගයකින් ඉතා පරිස්සමින් එකතු කරගත් සාක්ෂි පිටතට ගනී.

"ක්ෂණික විවාහ" නියොජිත ආයතනයක් හරහා ඔහුගේ පුතාට බිරිඳක් සෙවීමට උත්සහ කරමින් ඔහු යුවාන් 500,000 කට ආසන්න මුදලක් වැය කළේය.

ඔවුන් දෙදෙනාම එක්ව කිලෝමීටර 1000කට වඩා දුරින් පිහිටි ගුයැන්ග් වෙත ගිය අතර, "බ්ලයින්ඩ් ඩේට්" කාමරයකදී ඔහුගේ මනාලියව මුල් වරට හමුවී දින හතකට පසු ඔහුගේ පුතා ඇයව විවාහ කර ගත්තේය.

විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඇය තමන්ට iPhone එකක් මිලදී ගෙන දෙන ලෙසත්, ඇගේ ව්‍යාපාර කටයුතුවලට උදව් කිරීම සඳහා යුවාන් 20,000ක් පමණ මාරු කරන ලෙසත් ඉල්ලා සිටි බව ෂු පවසයි. මංගල ගවුමක් සහ ආභරණ සඳහා යුවාන් 120,000ක් ද ඇය ඉල්ලා සිටි බව ඔහු පවසයි.

"මට ඕන වුණේ ඇය ඇත්තටම අපිත් එක්ක පදිංචි වෙලා අපිත් එක්ක ජීවත් වෙන එක විතරයි," ඔහු අපට පැවසීය. "ඇය කිව්වා ඇයට නිවසක් ඕනේ කියලා, මම ඔවුන්ට එකක් අරන් දෙන්න එකඟ වුණා. ඒ හැමදේකටම එකඟ වුණා."

නමුත් ඔහු පවසන්නේ ඔවුන් සමඟ සති දෙකකටත් අඩු කාලයක් ජීවත් වීමෙන් පසු ඇය පලා ගිය බවයි. ඇයව පොලිසිය විසින් රඳවා ගෙන සිටින අතර, එම යුවළට දික්කසාද වීමට ද හැකියාව ලැබී ඇත.

මංගල සේවා සපයන සමාගමේ හිමිකරුවන් ද මෙම වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගත් බව ඔහු පවසන නමුත් අහිමි වූ මුදල්වලින් යම් ප්‍රමාණයක් හෝ නැවත ලබා ගැනීමට උත්සාහ කරමින් ඔහු තවමත් ගුයැන්ග් හි රැඳී සිටියි.

Xu Rulin
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පුතුට මනාලියක සොයා දීම සඳහා ෂු රුලින් විශාල මුදලක් වැය කළද, එම මනාලිය සති දෙකක් ඇතුළත පැන ගියාය

බීබීසී පුවත් සේවය වෙත අදහස් දැක්වූ එම නියෝජිත ආයතනයේ කළමනාකරු පිළිගත්තේ ඔවුන්ගේ සේවාදායකයින් පිළිබඳව නිල පසුබිම් පරීක්ෂාවක් සිදු නොකරන බවයි.

"මෙම කාන්තාවන්ව හඳුන්වා දෙන්නේ ඔවුන්ව හොඳින්ම දන්නා දේශීය මංගල සේවා සපයන්නන් තමයි. ඔවුන් බොහෝ විට එකම ගමක නිසා එම කාන්තාවන්ගේ පවුල් පසුබිම ගැන ඔවුන් දන්නවා. පිරිමි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින මංගල සේවා සපයන්නා ද සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයා ගැන හොඳින් දන්නවා."

ඔවුන්ගේ සේවා සඳහා කොපමණ මුදලක් අය කරන්නේද යන්න ඔවුන් හෙළි නොකළේ එම තොරතුරු "රහසිගත" ඒවා වන බැවිනි.

එක් පාර්ශවයක් විසින් හෝ ලබා දෙන තොරතුරු සත්‍ය නොවේ නම් සේවාදායකයාට ඔවුන්ගේ මුදල් නැවත ලබා ගැනීමට අයිතියක් ඇති බව ඔහු පැවසීය.

"මම කියන්නේ අපගේ සේවාදායකයින් මෙහිදී අපට පවසන දේවලින් 90%කට වඩා ඇත්ත කියලා," ඔහු ප්‍රකාශ කළේය.

"චීනයේ අපට මෙවැනි කියමනක් තිබෙනවා: ' මීයෙකුගේ අසූචි බිඳක් මුළු සුප් බඳුනම නරක් කරනවා.'. මේකත් හරියටම ඒ වගේ දෙයක්. අපි නිරන්තරයෙන් ප්‍රාදේශීය පොලිසිය සමඟ රැස්වීම්වලට සහභාගී වෙනවා. යම් මංගල සේවා ආයතනයක් විවාහ වංචාවකට සම්බන්ධ බව අනාවරණය වුවහොත්, එම ආයතනය නීතිමය වශයෙන් වගකිව යුතුයි"

The manager at the matchmaking agency
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ක්ෂේත්‍රයේ සිටින බහුතරයක් දෙනා අවංක පුද්ගලයන් බව මෙම මංගල තැරැව්කරු පවසයි

තමන් ඉතිරි කරගත් මුදල් අහිමි වූ අයට මෙය සැනසීමක් නොවේ.

"නියෝජිත ආයතනය මෙතරම් ඉහළ සේවා ගාස්තුවක් අය කරද්දී, ඇයගේ ගමේ සිටින ප්‍රාදේශීය මංගල සේවා සපයන්නා ඇගේ පසුබිම පරීක්ෂා කර තිබියදී සහ සමාගමෙන් මෙතරම් සහතික ලබා දී තිබියදී, ඒ කාන්තාවගේ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ," යනුවෙන් වැන්ග් පවසයි.

තමන්ට සිදු වූ පාඩුව ගැන ඔහු දැන් තරමක කලකිරීමකින් පසුවෙයි. එමෙන්ම මෙම වංචාවට හසු වීම ගැන ඔහු තමන්ටම දොස් පවරා ගනියි: "මේ වගේ ඉක්මන් විවාහවලට එකඟ වෙන්නේ ප්‍රශ්න තියෙන කාන්තාවන් විතරයි."

තමන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලමින් ඔහු ගුයැන්ග්හි පොලිස් කාර්යාල ඉදිරියේ දණින් වැටී ඇති අතර, මෙවැනි අපරාධ මර්දනය කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම සඳහා ඔහු බීජිං වෙත පවා ගොස් තිබේ.

මෙවැනි නඩු විභාග කිරීම ඉතා අපහසු බව මෙවැනි නඩු රාශියකට පෙනී සිට ඇති නීතිඥ ෆැන් බිංහේ පවසයි.

පළමු කරුණ නම්, මෙවැනි විවාහ වංචා ආවරණය වන විශේෂිත අපරාධ නීතියක් චීන නීතිය තුළ නොමැති බැවින් අපරාධ චෝදනා ගොනු කිරීමට නම්, තම සහකරුගේ හෝ සහකාරියගේ එකම අරමුණ වූයේ මුදල් ලබා ගැනීම පමණක් බව වින්දිතයා විසින් ඔප්පු කළ යුතුයි.

"මම කතා කරලා තියෙන ගොඩක් නඩුවලදී සැකකරුවන් බොහෝ විට තර්ක කරන්නේ ඔවුන් සැබවින්ම විවාහ වී හොඳ ජීවිතයක් ගත කිරීමට අදහස් කළ නමුත් ඔවුන් නොගැලපෙන බව වටහා ගත් නිසා ගැටුම් ඇති වූ බව සහ සම්බන්ධතාවය අවසන් කිරීමට තීරණය කළා කියන එකයි," ඔහු පවසයි.

"එවැනි අවස්ථාවලදී සීමාව ඇත්තේ කොතැනදැයි පැවසීම අපහසුයි. සබඳතා තුළ තිබෙන ගැටලු වැරදි බව ඔප්පු කිරීම අපහසුයි."

Wang Zhuang
ඡායාරූප ශීර්ෂ වැකිය, වැන්ග්ගේ මහල් නිවාසය වංචාවට හසු වූ පිරිමින්ගේ ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇත

ප්‍රමාණවත් මුදලක් උපයාගත් වහාම තම ව්‍යාපාර වසා දමා පලා යන ව්‍යාජ මංගල සේවා සැපයුම් ආයතනවලින් මුදල් නැවත ලබා ගැනීම ඊටත් වඩා දුෂ්කර කාර්යයකි.

වැන්ග් යම් මුදලක් ආපසු ලබා ගැනීමට සමත් වී තිබේ, නමුත් සියල්ලම නොවේ.

"මෙවැනි අත්දැකීමකට මුහුණ දුන්නට පස්සේ, මට තවදුරටත් විවාහයක් කරගන්න පුලුවන් ද කියලා මම දන්නේ නැහැ. මට කොහොමත් සහකාරියක් සොයා ගන්න එක දුෂ්කර වෙලා තිබුණේ. දැන් මම ලොකු මුදලක් වියදම් කරලත් ඉවරයි. ඒක නිසා මම තවදුරටත් ඒ ගැන හිතන්නේ නැහැ."

වැන්ග්ගේ ජීවිතය සහ මහල් නිවාසයේ වෙසෙන අනෙකුත් පිරිමින්ගේ ජීවිතය යන සියල්ල අවිනිශ්චිත තත්වයක ඇති බව පෙනෙන්නට තිබේ.

"දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගතවෙලා, ඒත් මට ඇගෙන් දික්කසාද වෙන්න පුළුවන් වෙන්නේ කවදාද කියන එක පවා මම තාමත් දන්නේ නැහැ." ඔහුගේ නීතිමය ලියකියවිලිවලින් වටවී සිටින ඔහු පවසයි.

''සාමාන්‍ය ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් විදිහට මේක කවදා විසඳෙයිද කියලා මම දන්නේ නැහැ. ඒකට අවසානයක් නැහැ."