මංගල T20 තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකාව වූ චේතනා විමුක්ති: රටට අත්හැරෙන්නට ගිය ක්‍රීඩිකාවක පැමිණි ගමන්මග

චේතනා විමුක්ති

ඡායාරූප මූලාශ්‍රය, Asian Cricket Council

Published
කියවීමේ කාලය: මිනිත්තු 6

මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන චේතනා විමුක්ති දැක්වූ දක්ෂතා පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

අගෝස්තු 29 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේදී චේතනා විමුක්ති දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 16කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූවා ය. එහිදී ඇය මනාව පන්දුව පාලනය කරමින් එක්සත් අරාබි කණ්ඩායමේ පිතිකාරියන්ට ප්‍රබල තර්ජනයක් වන අයුරින් පන්දු යවන ආකාරයක් දැක ගත හැකි විය.

තමන් සහභාගී වූ මංගල ජාත්‍යන්තර T20 තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ චේතනා විමුක්ති ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස ඉදිරියට ආ ගමන්මග පිළිබඳව බීබීසී සිංහල සිදුකළ සොයා බැලීමකි, මේ.

කුඩා කල සිට පැවති කැමැත්ත

2002 වසරේ ජනවාරි මස 10 වන දා උපත ලැබූ අලුත්ගෙදර චේතනා විමුක්ති කුඩා කාලයේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය ඇල්මක් දැක්වූ බව ඇයගේ මව වන ඊ.එම්. කුමාරිහාමි බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

"චේතනා හම්බ වුණේ නිවුන් දරු උපතක් හැටියට. එය යි එයාගේ මල්ලි යි දෙන්නා තමයි එකට හම්බ වුණේ. මේ දෙන්නට වැඩිමල් තව අයියා කෙනෙක් ඉන්නවා," බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් චේතනාගේ මව පැවසුවා ය.

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බුත්තල ආනපල්ලම, 5 කණුව ප්‍රදේශයේ චේතනාගේ නිවස පිහිටා තිබේ. චේතනාගේ මව්පියන්ට රබර් ඉඩමක් හිමි අතර ඔවුහු ඒ ආශ්‍රිත රැකියාවන්හි නිරත වෙති.

"දුව පොඩි කාලේ ඉඳල ම හරි ආසයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. එයා පැල්ලත නවෝද්‍යා පාසැලේ ඉගෙන ගන්න කාලේ ඉඳල ම ක්‍රිකට් සෙල්ලම් කරන්න දක්ෂ යි කියලා ඉස්කෝලේ හිටිය උපුල් සර් එහෙම කියනවා. දුව ගෙදර වැඩවලට උදව් කරනකොටත් කොස්ස අරන් ක්‍රිකට් ගහනවා වගේ සෙල්ලම් කර කරයි වැඩ කරන්නේ," චේතනාගේ මව පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති කැමැත්ත හේතුවෙන් චේතනා මොණරාගල දුටුගැමුණු ජාතික පාසලට ඇතුළු වී කලක් අධ්‍යාපනය හදාරා නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පැල්ලත නවෝද්‍යා පාසැලට පැමිණි බව ඇයගේ මව පැවසුවා ය.

"නවෝද්‍යා පාසලේ ක්‍රිකට් කාලයක් තිබුණේ නැති නිසා දුව දුටුගැමුණු ඉස්කෝලෙට ඇතුළු වුණා. ඉස්කෝලේ ක්‍රීඩා භාරව හිටිය උපුල් සර් තමයි දුවව එහෙ ඉස්කෝලෙට ගත්තේ. පස්සේ දුව උසස් පෙළ විභාගයට ඉගෙන ගන්න ඕන නිසා නවෝද්‍යා පාසලට ආවා," ඇය පැවසුවා ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවති ආසියානු කුසලාන තරගයේදී චේතනා විමුක්ති ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර T20 වරම් දිනා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ඡායාරූප ශීර්ෂ වැකිය, චේතනා විමුක්ති දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 16කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූවා ය
Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ක්‍රිකට් අත්හැරිය චේතනා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මොණරාගල වැනි දුෂ්කර දිස්ත්‍රික්කයක ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි චේතනා කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව අතහැර සිටි බව බීබීසී සිංහල සමග අදහස් දැක්වූ එවකට මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රිකට් පුහුණුකරු තරිඳු තෙඹුවන පැවසුවේ ය.

මේ වන විට ඌව පළාත් කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන තරිඳු, චේතනා විමුක්ති නැවත ක්‍රිකට් පිටියට කැඳවාගෙන ඒමට සහය දුන් පුහුණුකරුවන් පිරිසකගෙන් එක් අයෙකි.

"මම 2019 දී මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රිකට් පුහුණුකරු විදිහට යනකොට චේතනා ක්‍රිකට් සෙල්ලම් කරන එක නතර කරලා තිබ්බේ. එයා දුටුගැමුණු ඉස්කෝලේ වගේ ම නවෝද්‍යා ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලම් කරලා තිබ්බට ඒ වෙනකොට දිස්ත්‍රික් මට්ටමෙන් ලොකුවට කාන්තා ක්‍රිකට් එකක් තිබ්බේ නැහැ. අපි චේතනාගේ ලොකු පොටෙන්ෂල් එකක් දැක්කා. එයාට ක්‍රිකට් එකේ ඉස්සරහට ගමනක් තියෙන නිසා අපි තීරණය කළා එයාව ආපහු පුහුණුවීම්වලට ගෙන්න ගන්න. එයා එක්ක කතා කරලා ආපහු පුහුණුවීම්වලට ආව දවසේ ඉඳලා එයා ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම්වල යෙදුණා," ඔහු සිය මතකය අවදි කළේ ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ අප්සාරි තිලකරත්න ද චේතනා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගට ම තබා ගැනීමට සුවිශේෂි මෙහෙවරක් ඉටු කර තිබුණා ය.

"ගමේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළාට චේතනාට කිසි ම අදහසක් තිබ්බේ නැහැ ඉස්සරහට මොකක් ද කරන්න ඕන කියන එක ගැන. ඒ නිස යි එයා ක්‍රිකට් අතහරින තැනට ඇවිල්ලා හිටියේ. තරිඳු මට චේතනා ගැන කිව්ව ම අපි එයා එක්ක කතා කළා. එයාලට හරි මග පෙන්වීමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි එයාට කතා කරලා කිව්වා ඉස්සරහට මොකක් ද වෙන්න යන්නේ කියන එක වගේ ම එයාට යන්න තියෙන ගමන ගැන. අපිට ඒ නිසා පුළුවන් වුණා චේතනාව ඉස්සරහට අරන් එන්න," අප්සාරි තිලකරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවා ය.

තමන් සහභාගී වූ මංගල ජාත්‍යන්තර T20 තරගයේදීම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූ චේතනා විමුක්ති

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් සහභාගී වූ මංගල ජාත්‍යන්තර T20 තරගයේදී ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍රවූ චේතනා විමුක්ති

'අපි කළේ එයාව මෝටිවේට් කරන එක'

2019 වසරේදී ක්‍රිකට් පුහුණුව සඳහා නැවත පිවිසි චේතනා විමුක්ති මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායමටත් පසුව ඌව පළාත් කණ්ඩායමටත් ක්‍රීඩා කළ බව ඇයගේ පුහුණුකරුවෙකු වූ තරිඳු තෙඹුවන පැවසුවේ ය.

"චේතනා මුලින් ම ප්‍රැක්ටිස්වලට ආවට පස්සේ දිස්ත්‍රික් කණ්ඩායමට වගේ ම පළාත් කණ්ඩායමට සෙල්ලම් කළා. 2020 අවුරුද්දේ කොවිඩ් වසංගතයෙන් පස්සේ 2021-22 කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගාල්ලේ සංවිධානය කරලා තිබ්බ සිලෙක්ෂන් එකකට චේතනා සම්බන්ධ වුණා. එතැනදී තමයි එයා ජාතික තලයට ක්‍රීඩා කරන්න තේරීම් ලැබුවේ.

එයා ඊට පස්සේ පුහුණුවීම්වලට එහෙම කොළඹ ගිහින් ඒ වෙනුවෙන් ගොඩක් කැපවුණා. කොළඹ ගිහින් ඉන්නවා කියන එක ලේසි නැහැ නේ මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. එයා දැන ගත්තා එයාට යන්න තියෙන පාත් එක මොකක් ද කියලා. එයා ඒ වෙනුවෙන් කැපවුණා, මහන්සි වුණා," ඔහු පැවසුවේ ය.

මේ අතර, චේතනා විමුක්ති පිළිබඳව තවදුරදටත් අදහස් දැක්වූ අප්සාරි තිලකරත්න පැවසුවේ, ඇයට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු විට ඇය තම දක්ෂතා පෙන්නුම් කරනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් තිබූ බව ය.

"චේතනාගේ ලොකු පොටෙන්ෂල් එකක් පෙනුණා ක්‍රිකට් සෙල්ලම් කරනකොට. මම මොණරාගල ගියා ම චේතනාව වගේ ම අනිත් අයවත් හම්බ වෙනවා. අපි කළේ එයාලව මෝටිවේට් කරපු එක යි. අවස්ථාවක් ලැබුණ ම චේතනා වගේ ම අනිත් ක්‍රීඩිකාවනුත් හොඳට දස්කම් දක්වයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. චේතනා නැෂනල් ටීම් එකට පළවෙනි පාරට සිලෙක්ට් වුණා ම මට කෝල් කරලා ඒ ගැන කිව්වා. මට ඒ ගැන හරි සතුටුයි," ඇය සඳහන් කළා ය.

චේතනා විමුක්ති මොණරාගල දිස්ත්‍රික්ක කණ්ඩායමේ පුහුණුවීම් සිදුකරන අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 වසරේදී ක්‍රිකට් පුහුණුව සඳහා නැවත පිවිසි චේතනා විමුක්ති මොණරාගල දිස්ත්‍රික් කණ්ඩායමටත් පසුව ඌව පළාත් කණ්ඩායමටත් ක්‍රීඩා කළා ය

'මම ක්‍රිකට්වලට ආස නිසා එයා ක්‍රිකට් සෙල්ලම් කරනවා වෙන්න ඇති කියලා දුව කියනවා'

මේ අතර චේතනාගේ මව වන ඊ.එම්. කුමාරිහාමි කියා සිටියේ, තමන් ද ක්‍රිකට් ක්‍රීඩා තරග නැරඹීමට දැඩි ඇල්මක් දක්වන නිසා ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නට ඇති බවට දියණිය ඇතැම් විට පවසන බව ය.

"මම ඉස්සර ඉඳල ම ක්‍රිකට් ක්‍රීඩා කරනවා බලන්න ආස යි. දුව කියනවා එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පෙළඹෙන්න ඇත්තේ ඒ නිසා කියලා. මොක ද අපේ ලොකු පුතාවත් පොඩි පුතාවත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. මෙයා තමයි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. දුව පොඩි කාලේ ඉඳල ම හරි වෙනස්.

මම පොඩි කාලේ ඉඳල දුව ක්‍රිකට් සෙල්ලම් කරන්න යනකොට එයාගේ පස්සෙන් යනවා. දැන් එයා ලොකු ළමයෙක්. එයා වැඩිවියට පත්වුණාට පස්සේ තනියම ක්‍රිකට් පුහුණුවීම්වලට යන්න පටන් ගත්තා. එයා කොළඹ ගියෙත් එහෙමයි. මට දුව ගැන බයක් නැහැ. එයා දක්ෂ යි," ඇය පැවසුවා ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසට සම්මානයට පාත්‍රවීම ගැන තමන් අතිශයින් සතුටු වූ බව ඇය මෙහිදී කියා සිටියා ය.

"අපි දුව සෙල්ලම් කරන හැම තරගය ම බලනවා. එදත් අපි තරගය බැලුවා. එයා දක්වපු දක්ෂතාව ගැන හරි ම සතුටු යි."

චේතනා දක්වා ඇති දක්ෂතා මොනවා ද?

2025 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් පළමු වරට එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් චේතනා විමුක්ති මේ වන විට එක්දින තරග 06කට ක්‍රීඩා කර තිබේ.

එහිදී ඇය තරග 05 කදී කඩුලු 04ක් දවාගෙන ඇත. එක්දින පිටියේදී චේතනාගේ දක්ෂතම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ පසුගිය මාසයේදී පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේදී ලකුණු 36කට කඩුලු 03ක් දවා ගැනීම ය.

ඉකුත් සෙනසුරාදා (අගෝ:29) එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් ඇය එහිදී පන්දු වාර 04කදී ලකුණු 16කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූවා ය.