ඉන්දියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය: 'වැඩි ම ලකුණු', 'අඩු ම ලකුණු' වාර්තා රැසක් මැද යළිත් ගැටෙන අසල්වැසියෝ

ඡායාරූප මූලාශ්‍රය, X/Roshan Mahanama
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඉන්දියා - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 15 වන දා ආරම්භ වීමට නියමිත ය.
අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට අයත් මෙම තරගාවලිය තරග 2කින් සමන්විත වේ.
තරගාවලිය ආරම්භයට පෙර ප්‍රවීණ ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙරට දඟ පන්දු යැවීමේ බලඇණිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රටාව සහ තණතීරු තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු සිය youtube නාලිකාව ඔස්සේ අදහස් දක්වා තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන් ම තරග ජයග්‍රහණය සඳහා සහ ප්‍රතිවාදීන්ට පීඩනය එල්ල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ම දඟපන්දු මත යැපෙන බව ("Sri Lanka always depend on spin") අශ්වින් සඳහන් කර තිබේ.
රංගන හේරත් ශ්‍රී ලංකාව කණ්ඩායමට ඇතුළත්ව සිටියේ නම් මෙම තරගයේදී ඔහුගෙන් ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල වන බව අශ්වින් එහිදී සඳහන් කරයි.
කෙසේ නමුත්, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස් වැනි ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා ද ඔහු හෑල්ලුවට ලක් නොකරයි.
අශ්වින් පවසන්නේ, එම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට ශක්තිමත්ව මුහුණ දීමට ඉන්දීය කණ්ඩායම සූදානම් විය යුතු බව ය.
ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව සහ පරිසර තත්ත්වයන් (සුළඟේ බලපෑම, පන්දුව වෙනස් කෝණවලින් හැරෙන ආකාරය) විශේෂිත එකක් බවත්, එහි උපරිම ප්‍රතිඵල නෙළා ගත හැක්කේ දඟ පන්දු යවන්නන්ට බවත් අශ්වින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා තණතීරුවල දඟ පන්දුවට ලැබෙන අධික සහයෝගය නිසා ඉන්දීය කණ්ඩායම ද විශේෂිත දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් (රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව් සහ මානව් සුතාර්) යුත් ප්‍රබල දඟ පන්දු බලඇණියක් සමගින් තරගයට අවතීර්ණ විය යුතු බවට ඔහු යෝජනා කර තිබේ.
ඉන්දියා - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය 1982 වසර දක්වා විහිදී යයි.
මෙම කණ්ඩායම් දෙක අතර මේ දක්වා ටෙස්ට් තරග 46ක් පවත්වා ඇති අතර, ඉන් තරග 22ක් ම ජයගෙන ඇත්තේ ඉන්දියාව ය.
ශ්‍රී ලංකාව තරග 7ක් ජයගෙන ඇති අතර අනෙක් තරග 17 ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.
දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ සාර්ථක ම පිතිකරු වන්නේ, ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ය.
ඔහු තරග 25කදී ලකුණු 1995ක් රැස් කර ඇති අතර, ඊට ශතක 9ක් ඇතුළත් වේ.
දෙරට අතර ටෙස්ට් තරගවලදී තෙන්ඩුල්කාර්ගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය දැක්වෙන්නේ 60.45ක් ලෙස ය.
ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග අංශයේ වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරු වන්නේ මහේල ජයවර්ධන ය.
ඔහු තරග 18කදී ශතක 7ක් ද සමගින් ලකුණු 1822ක් රැස් කර ඇති අතර 67.48ක් ලෙස ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය දැක්වේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගයක තනි ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වන්නේ, සනත් ජයසූරිය යි.
ඒ, 1997 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති වාර්තාගත ක්‍රිකට් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 340ක් රැස් කරමිනි.
දෙරට අතර පැවති ටෙස්ට් තරගවලදී වැඩි ම දක්ෂතා දැක්වූ පන්දු යවන්නා ලෙස ඉදිරියෙන් ම සිටින්නේ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය. ඒ, තරග 22කදී කඩුලු 105ක් දවා ගනිමිනි.
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඉහළ ම දක්ෂතා ප්‍රදර්ශනය කළ ඉන්දීය පන්දු යවන්නන් ලෙස අනිල් කුම්බ්ලේ සහ රවිචන්ද්‍රන් අශ්වින් සමතැන් ගනිති. ඒ, තරග 18කදී කඩුලු 74 බැගින් දවා ගනිමිනි.
මුත්තයියා මුරලිදරන්, 2001 වසරේදී මහනුවරදී පැවති තරගයේදී ලකුණු 54කට කඩුලු 8ක් දවා ගැනීම, ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයක ඉනිමක හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ටෙස්ට් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව
ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කළ කණ්ඩායම ලෙස ඉදිරියෙන් ම සිටින්නේ ශ්‍රී ලංකාව ය. එම දක්ෂතාව දැක්වූයේ ද, ඉන්දියාවට එරෙහිව ය.
ඒ, 1997 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කඩුලු 6කට ලකුණු 952ක් රැස් කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස බිඳ දැමුවේ එංගලන්තය 1938 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 903ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව ය.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 537ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ය.
සචින් තෙන්ඩුල්කාර් රැස් කළ ලකුණු 143, නව්ජොට් සිං සිධු රැස් කළ ලකුණු 111 සහ මොහොමඩ් අසාරුදීන් රැස් කළ ලකුණු 126 එම ඉනිමට ඇතුළත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සනත් ජයසූරිය ලකුණු 340ක්, රොෂාන් මහානාම ලකුණු 225ක් මෙන් ම අරවින්ද ද සිල්වා ලකුණු 126ක් රැස් කළහ.
සනත් ජයසූරියගේ එම ඉනිම වාර්තා අතරට එක් වූයේ, ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලෙස ය.
මෙම තරගයේ 3 වන සහ 4 වන දින දෙකේදී ජයසූරිය සහ මහානාම නොදැවී පන්දුවට පහර දුන්හ.
එමෙන් ම, සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම දෙවන කඩුල්ලට රැස් කළ ලකුණු 576ක සබඳතාව ද වාර්තා අතරට එක් විය.
ඒ, ටෙස්ට් තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙස ය.
පසුව මෙම වාර්තාව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ලකුණු 624ක් රැස් කරමින් 2006 වසරේදී බිඳ දැමූහ.
1997 වසරේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති වාර්තාගත තරගය මහේල ජයවර්ධනගේ මංගල ටෙස්ට් තරගය ද වේ.
ඔහු එම තරගයේදී අර්ධ ශතකයක් රැස් කළේ ය.
අඩු ම ලකුණු
ඉන්දු - ශ්‍රී ලංකා දෙරට අතර ටෙස්ට් තරගාවලි ඉතිහාසයේ ඉනිමක අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාව ය.
1992 වසරේදී චන්දිගාර්හිදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 82කට දැවී ගියේ ය.
දෙරට අතර පන්දු යැවීමේ දක්ෂතා අනුව සමස්තයක් ලෙස ඉදිරියෙන් සිටින්නේ, ඉන්දීය ක්‍රීඩකයින් ය.
රංගන හේරත් තරග 11කදී කඩුලු 42ක් දවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා වැඩි වශයෙන් දැක ගැනීමට අවස්ථාවක් නොලැබිණි.
2015 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී රංගන හේරත් ලකුණු 48ට කඩුලු 7ක් දවාගෙන තිබේ.
දෙරට අතර තරගයකදී හොඳ ම පන්දු යැවීම සටහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ය.
ඒ, 2008 වසරේදී කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගයේදී ලකුණු 110ට කඩුලු 11ක් දවා ගනිමිනි.
පසුගිය වසර 10ක කාලය තුළ මෙම කණ්ඩායම් 2 අතර ටෙස්ට් තරග 8ක් පවත්වා තිබේ.
ඉන් තරග 6ක් ම ජයගෙන තිබෙන්නේ ඉන්දියාව ය. අනෙක් තරග 2 ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.
නිමා වූ දශකයක කාලය තුළ දෙපිල අතර පැවති ටෙස්ට් තරගවලදී දඟ පන්දු යැවීමේ අංශයෙන් වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙන්නේ ඉන්දීය පන්දු යවන්නන් ය.
රවිචන්ද්‍රන් අශ්වින් එහි ඉදිරියෙන් ම සිටින්නේ, තරග 2කදී කඩුලු 17ක් දවා ගනිමිනි.
කුල්දීප් යාදව් කඩුලු 4ක් දවාගෙන තිබේ.
මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඉකුත් වසර 10ක කාලය තුළ පැවති ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවලදී දවා ගත් සමස්ත කඩුලුවලින් 65%කට වඩා දවාගෙන තිබෙන්නේ දඟ පන්දු යවන්නන් වීම ය.
එහිදී රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත් වී තිබේ.
කෙසේ නමුත් රංගන හේරත් ටෙස්ට් තරග බිමට සමුදීමෙන් අනතුරුව ඔහුගෙන් ඇති වූ අවකාශය සපුරාලීමට ප්‍රමාණවත් විකල්ප ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව තිබේ ද? යන්න විශ්ලේෂකයින් නගන පැනයකි.
මෑතකාලීන දක්ෂතා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රවීන් ජයවික්‍රම 2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැණවූ තරග තහනමකට ලක්වූ අතර 2022 වසරෙන් අනතුරුව ඔහු කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත.
2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කළ දඟ පන්දු යවන්නන් අතර ඉදිරියෙන් ම සිටින්නේ ප්‍රභාත් ජයසූරිය ය.
34 හැවිරිදි ඔහු තරග 23කදී කඩුලු 125ක් දවාගෙන තිබේ. වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු බලඇණියේ ප්‍රධාන ම අවිය ද ඔහු ය.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නෙකු ලෙස තරග 16කදී කඩුලු 71ක් දවාගෙන තිබේ.
ප්‍රභාත් ජයසූරියට සහයක් ලබා දිය හැකි ඔහුට පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමි වී නොමැත.
ටෙස්ට් තරග 17කදී කඩුලු 71ක් දවාගෙන ඇති වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගී වී තිබෙන්නේ, 2022 වසරේදී ය.
වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පිට දඟ පන්දු යවන්නෙකු වන අතර, ඔහු තරග 67කදී කඩුලු 43ක් දවාගෙන තිබේ.
ඉකුත් දශක ඒක කාලය තුළ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පරීක්ෂා කරන බලන විට වැඩි ම දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිතිකරුවන්නේ දිනේෂ් චන්දිමාල් ය.
2017 ඉන්දීය සංචාරයේදී දිල්ලියේදී ලබා ගත් ලකුණු 164 ඇතුළුව ඔහු ශතක 2ක් රැස් කර තිබේ.
2022 ඉන්දීය සංචාරයේදී ද චන්දිමාල් දක්ෂතා දක්වා ඇත.
බැංගලෝර්හිදී පැවති දිවා/රාත්‍රි ටෙස්ට් තරගයේදී සූරියකුමාර් යාදව්, අශ්වින් සහ ජඩේජා ඇතුළත් ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය හමුවේ ඔහු දක්ෂ ලෙස පිත්ත හැසිරවීය.
ඉකුත් දශකයක කාලයේදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ද ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගවලදී පිත්තෙන් දස්කම් දක්වා ඇති නමුත්, මේ වන විට ඔවුන් දෙදෙනා ම ටෙස්ට් පිටියට සමු දී තිබේ.
ඔවුන් දෙදෙනාට අමතරව ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග බිමේ දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතර වත්මන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙති.
ධනංජය ද සිල්වා 2017 දිල්ලි ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහිව තරගය සම තත්ත්වයෙන් අවසන් කර ගැනීම සඳහා තරගයේ සිව් වන ඉනිමේදී ආබාධයක් සහිතව නොදැවී ලබා ගත් ලකුණු 119 එහිදී ප්‍රශංසනීය වේ.
නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට එරෙහිව පසුපෙළ පිතිකරුවෙකු ලෙස අවස්ථා කිහිපයකදී ම සටන්කාමී අර්ධ ශතක ලබා ගනිමින් ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට සහය වී ඇත.
2017 කොල්කටා සහ 2022 මොහාලි ටෙස්ට් තරග මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
මෙවර තරගාවලියේ පළමු තරගය ලබන 15 වන සෙනසුරාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.
2 වන තරගය ලබන 23 වන දා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වේ.































